එජාපයේ ස්ථාවරය කුමක්ද - කේ.ඩබ්ලිව්. ජනරංජන

උතුරට දේශපාලන විසඳුමක් පිළිබඳ රජයේ ස්ථාවරය හා ඒ සඳහා වන යෝජනාවලිය වහා රට හමුවට ඉදිරිපත් කළ යුතු බවත් ඉන්පසුව තම පක්ෂය සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත්කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා දිවයින (ජනවාරි 23)පුවත්පතට පවසා තිබිණි.

‘මේ වනතෙක්  ආණ්ඩුව උතුරට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව සිය ස්ථාවරය ප‍්‍රකාශ නොකොට කල් මැරීමේ ප‍්‍රතිපත්තියක නියැළෙමින් සැබෑ ප‍්‍රශ්නයෙන් පැනයෑමට උත්සාහ ගනිමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය. උතුරට විශ්වසනීය දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව එජාපය පිළිගන්නා නමුත් එය රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල හා සියලූ ජනකොටස්වලට පිළිගත හැකි එකක් විය යුතු  බව ඒ මහතා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම උගත් පාඩම් කොමිෂන් වාර්තාවට අනුව ක‍්‍රියාකරන බව පුන පුනා ප‍්‍රකාශ කළද දැන් එම වාර්තාව ප‍්‍රකාශයට පත්කොට තිබියදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමක් ඉන්දීය විදේශ ඇමතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ දාහතන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ්බෙන් යන විසඳුමක් ලබාදෙන බව ප‍්‍රකාශ කිරීමක් ගැටලූ සහගත බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. ඒ ප‍්‍රවෘත්තියේ ඉතිරි කොටසයි.

සිය ප‍්‍රකාශයෙන් එජාප මහලේකම්වරයා අවධාරණය කරන කාරණා කිහිපයක් මෙසේය. 1. පළමුව ආණ්ඩුව සිය යෝජනා ඉදිරිපත් කළ යුතුය. 2. එජාපය ස්ථාවරය ප‍්‍රකාශ කරන්නේ ඉන් පසුවය. 3. විසඳුම ආණ්්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුය. 4. එය සියලූ ජනකොටස්වලට පිළිගත හැකි විය යුතුය.

මහලේකම්වරයා කියන්නේ ඇත්තය. ආණ්ඩුව පළමුව සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත්කළ යුතුය. යුද්ධයේ ජයග‍්‍රාහකයා ආණ්ඩුව නිසාය. දෙමළ ජනතාවගේ ‘ඉල්ලීම්’ හා ඔවුන් ඉල්ලූ ‘ආකාරය’ වැරදිය’යි කියා යුද්ධයෙන් ඔවුන් පරාජය කළ ආණ්ඩුව, යුද්ධය අවසන්වීමෙන් පසු අවුරුදු තුනකට ආසන්න වන මේ මොහොතේවත් තමන්ගේ විසඳුම කුමක්දැ’යි කියා සිටිය යුතුය. බෝලය ඇත්තේ ආණ්ඩුව පැත්තේය. (එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එල්ල වන්නේද මේ තර්කයමය. තමන්ට විරුද්ධව ඡුන්දය ඉල්ලා පරාජය වූ අය එකතුකරගෙන පක්ෂය ඉදිරියට ගෙනයෑම ජයග‍්‍රාහී නායකයාගේ වගකීමයි)එහෙත් ආණ්ඩුව කරන්නේ ඒ වගකීම ඉටුකිරීම නොවේ. ඒ වෙනුවට, පාර්ලිමේන්තු කාරක සභා, 13 ප්ලස් විසඳුම් වැනි කෝඳුරු තෙල් හත්පට්ටයක් අවශ්‍ය වන නොකැරෙන බෙහෙත් ගැන කියමින් භයානක ලෙස කල්මැරීමය. වාර්ගික ගැටලූවට විසඳුම් සෙවීමට අලූතෙන්ම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීම වනාහි නිරර්ථක කල්මැරීමකට කදිම උපාය මාර්ගයකි. එය, ආණ්ඩුවේම සියලූ ලොකු කුඩා පක්ෂ සිය විවිධාකාර ස්ථාවරයන් එකම කැඳහැලියක බහා පරණ තර්ක එළියට දමා නිරර්ථක වාද විවාද කරගන්නා, කවර වූ හෝ අවසන් එකඟත්වයකට එළැඹීම දුෂ්කර කරන මාවතකි. අඩුම ගණනේ මීට පෙර සර්වපාක්ෂික නියෝජිත සමුළුව විසින් සම්පාදනය කරන ලද දේශපාලන විසඳුමක් සඳහා වූ යෝජනා අඩංගු වාර්තාව වත් නොසලකා අලූතෙන් කැරෙන විවාදයක් යනු යළිත් ප‍්‍රශ්නයේ මුලටම යෑමකි. එය ජනාධිපතිවරයාද දනියි. සන්ධානයේ අනෙක් පක්ෂද හොඳින් දනිති. එසේ දනිමින්ම තේරීම් කාරක සභාවකට යෑම වුවමනාවෙන්ම ප‍්‍රශ්න එකතැන පල්කිරීමේ මහින්ද චින්තනයේම කොටසකි.

අනෙක් අතට ජනාධිපතිවරයා 13ට වැඩි විසඳුමක් ගැන කියයි. බැලූ බැල්මට ආරම්භයක් වශයෙන් 13ට වැඩි විසඳුමක් වුවද යහපත්ය. වචනාර්ථයෙන් වුවත් එවැනි විසඳුමකට විරුද්ධ වන්නට අපට අවශ්‍ය නැත. ජනාධිපතිවරයා එවැනි විසඳුමකටවත් යන්නේ නම්, අප සිටිනු ඇත්තේ ඒ විසඳුම පාර්ශ්වයේ මිස ඊට කෙණෙහිලිකම් කරන ආණ්ඩුවේ හා ඉන් පිටත අන්තවාදී ජාතිකවාදීන්ගේ පාර්ශ්වයේ නොවේ.

එහෙත්, 13ට වැඩි යෝජනාව ගැන වැදගත් ප‍්‍රශ්න දෙකක් පැනනගියි. පළමුවැනි ප‍්‍රශ්නය වන්නෙ 13ප්ලස් කුමක්ද යන්නය. දැනට ආණ්ඩුව පැත්තෙන් ප‍්‍රකාශවන ආකාරයට 13ට වැඩි යනු හුදෙක් සෙනෙට් සභාවක් හෙවත් පාර්ලිමේන්තුවට අමතරව දෙවැනි ව්‍යවස්ථාදය සභාවක් ඇතිකිරීමකි. ජාතික ගැටලූවට විසඳුමක් ලෙස සෙනෙට් සභාවක් ඇතිකිරීමේ යෝජනාව මේ කරළියට එන්නේ ප‍්‍රථම වතාවට නොවේ. මීට පෙරද ඒ ගැන අදහස ඉදිරියට පැමිණ එය තේරුමක් නැති දෙයක් බවට විවිධ කරුණු දැක්වීම්වලින් පසු යට ගියේය. සංක්ෂිප්තව කිවහොත්, වර්තමාන ව්‍යවස්ථාදායකයවන පාර්ලිමේන්තුවට පිටින් තවත් ව්‍යවස්ථාදයාක සභාවක් හෙවත් සෙනෙට් සභාවක් එල්ලීම යනු පරිධියට බලය බෙදීමක් නොව නැවත වරක් කේන්ද්‍රය වෙතම ඒකරාශී කිරීමකි. වාර්ගික ගැටලූවට විසඳුමක් ලෙස අවශ්‍ය ඇත්තේ, විශ්වාසදායක ලෙස පරිධියට බලය බෙදීමකි. දෙමළ ජාතික සන්ධානය, ආණ්ඩුව සමඟ වූ සිය ද්විපාර්ශ්චික සාකච්ඡුාවලදී කියන්නේද, නැවත උදුරානොගන්නා බවට සහතික වන ඵලදායක බලය බෙදීමක් කරන ලෙසය. එවැනි බලයක් ලැබූ පරිධියේ පාලන ඒකකවලින් මධ්‍යයේ නියෝජනයක් ඇතිකිරීමට දෙවැනි ව්‍යවස්ථායකයන් පිහිටුවීම නරක දෙයක් නොවේ. එහෙත් සෙනෙට් සභාවක් මගින් පරිදියේ බලය මාධ්‍යයේ නියෝජනය කරන්නට පෙර පරිධියට බලය බෙදිය යුතු සෙනෙට් සභාවක් අර්ථවත් වන්නේ, එසේ නිසි ලෙස ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලය ලැබූ ආයතනවලින් එන සැබෑ නියෝජනයක් ඒ තුළ අන්තර්ගත වන්නේ නම් පමණකි. ඒ සඳහා සැබෑ වුවමනාවක්වත් වැඩපිළිවෙලක්වත් නැති ආණ්ඩුව හුදෙක් සෙනෙට් සභාවක් ඇතිකිරීමෙන් කරන්නේ පාර්ලිමේන්තුව වැනිම තවත් සුදු අලියකු නිර්මාණය කිරීමත්. මහජන මුදලින් නඩත්තුවන තවත් පුස් ප‍්‍රභූන් පරම්පරාවක් ඇතිකිරීමත් පමණකි.

දෙවැනි ප‍්‍රශ්නය වන්නේ 13වත් නොදී 13ට වැඩිදෙයක් දෙන්නේ කෙසේද යන්නයි. 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත සියලූ බලතලවත් පළාත් සභා සඳහා ලබා නොදෙන්නේමුයි කියන  ආණ්ඩුවක් 13ට වැඩි තත්ත්වයක් ගැන කතාකිරීම යනු භයානක රැවටීමක් මිස අන් කුමක්ද? පළාත් සභා විෂය ලැයිස්තුවට අයත් පොලිස් හා ඉඩම් බලතලවත් ලබාදී සංකේතාත්මකව දෙමළ ජනතාවගේ ස්වයංපාලන අයිතිවාසිකමට හා ජනවර්ගයක් ලෙස ඔවුන් ඒ වෙනුවෙන් කළ පරිත්‍යාගන්ට ගරුනොකරන ආණ්ඩුවකට 13ට වැඩි විසඳුමක් ගැන කතාකරන්නට ඇති අයිතිය කුමක්ද? අනෙක් අතට, පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දුන් පමණින් ඒවාට පවරා ඇති බලය සම්පූර්ණ නොවේ. මුළු පළාත් සභා ව්‍යූහයම සකසා ඇත්තේ, ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේ මුවාවෙන් පළාත් සභාවල විමධ්‍යගත බලය තමන්වෙත පැහැරගැනීමට මධ්‍යයේ ආණ්ඩුවට සියලූ අයිතිවාසිකම් පැවරෙන පරිද්දෙනි. නිසි බලය බෙදීමක් සඳහා ඒ තත්ත්වයන් වෙනස් කළ යුතුවාසේම සමගාමී ලැයිස්තුව වැනි බලය බෙදීම සංකීර්ණ, ව්‍යාකූල ගැටලූවක් බවට පත්කොට තිබෙන සමහර බාධකද ඉවත්කළ යුතුව තිබේ. එලෙස 13වැනි සංශෝධනයයේ අවශ්‍යතාවන් එකක්වත් නිසි ලෙස සම්පූර්ණ නොකරන ආණ්ඩුව, 13ට වැඩි විසඳුමක් ඉදිරියට ගෙන ඒම වූ කලි මනස්කාන්ත ඇස්බැන්දුමකි.

ප‍්‍රශ්නය එතෙකින් අවසන් නොවේ. එජාප මහලේකම්වරයා වැඩිදුරටත් කියන්නේ ආණ්ඩුව දෙන විසඳුම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතු බවත්, සියලූ ජනකොටස්වලට පිළිගතහැකි විය යුතු බවත්ය. මේ ආණ්ඩක‍්‍රම ව්‍යවාස්ථාව තුළ ඊට අනුකූල විසඳුමක් ලෙස මහලේකම්වරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද? මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ යා හැකි උපරිම දුර වන්නේ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාව අනුව) ය රටක් තුළ, 13වැනි සංශෝධනයේ අන්තර්ගත බලය බෙදීමක් පමණකි. අනාගත ලංකාවේ වියයුත්තේ, ඒකීය රටක්ද? එක්සත් රටක්ද? වාර්ගික ගැටලූවට විසඳුමක් සඳහා අප යා යුත්තේ 13වැනි සංශෝධනයේ සීමාවට පමණද? ඉන් එහාට යායුතුද අනෙක් අතට මහලේකම්වරයා කියන්නේ, විසඳුම සියලූ ජනතාවට පිළිගත හැකි එකක් විය යුතු බවය. මේ ‘සියලූ ජනතාව’ යනු කවරෙක්ද? සිංහල මහජාතිය හා අනෙක් සුළු ජාතීහුය. රටේ සුළු ජාතිකයන්ට බලය හා අයිතිවාසිකම් ලබාදෙන පූර්ණ දේශපාලන විසඳුමකට මහජාතිය වන සිංහලයන්ගේ අනුමැතිය එකපැහැර ලැබේයැ’යි විශ්වාස කරන්නේද? මේ කෙටි ප‍්‍රශ්න ඇසූවේ ලංකාවේ බලය බෙදීම කෙතරම් ධෛර්යයෙන් හා කැපවීමෙන් එළැඹිය යුතු දුෂ්කර ව්‍යායාමයක්වනු ඇත්දැ’යි සංඥා කිරීමට පමණක් නොවේ. ආණ්ඩුව සිය ස්ථාවරය පළමුව ප‍්‍රකාශයට පත්කළ යුතුයැයිද ඊට පසු තම ස්ථාවය ප‍්‍රකාශයට පත්කරන්නේයැයිද කියන එක්සත් ජාතික පක්ෂයට එසේ දෙවනුව ප‍්‍රකාශයට පත්කරන්නට තරම් ස්ථාවරයක් නැති බව පැහැදිලිව කියන්නටය. කෙටියෙන් කියතොත්, මහලේකම්වරයාගේ ප‍්‍රාර්ථනය පරිදි, මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන, සියලූ ජනතාවට පිළිගත හැකි, වාර්ගික ගැටලූවත් පිළිතුරක් ලැබෙන සාදා නිම කළ විසඳුමක් නැත. ඒකීය රාජ්‍ය ව්‍යූහයක් තුළ මේ ගැටලූවට විසඳුම් නැත. ඒ නිසාම එය මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිටතය. එවැනි විසඳුමක්, සියලූ ජාතීන්, විශේෂයෙන් සිංහල මහජාතිය එකඑල්ලේ පිළිගන්නේ නැත. පිළිත්තත් එය අහසින් පාත් නොවෙයි. එවැන්නක් සාක්ෂාත් කරගැනීම සඳහා විශාල ගෙදරවැඩ ප‍්‍රමාණයක් තිබේ. ඒ ගෙදරවැඩවලින් අතිශ්‍ය බහුතරයක් කළ යුතුවන්නේ විපක්ෂය විසිනි. කනගාටුදායක ඇත්තනම්, මේ කිසිවක් ගැන රටේ ප‍්‍රධාන විපක්ෂය ලෙස හඳුන්වාගන්නට කැමති එක්සත් ජාතික පක්ෂයට කිසිම සංයුක්ත අදහසක් නැති බවය. ඒ සඳහා වූ කවර හෝ සාකච්ඡුාවක් එක්සත් ජාතික පක්ෂය තුළ නැත.

රටේ බලවත්ම ප‍්‍රශ්නය වන වාර්ගික ගැටලූව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇත්තේ කිසිම දේශපාලන විසඳුමක් නොදී මුළුමනින්ම කල් මැරීමේත්. සිංහල - බෞද්ධ වාර්ගිකත්වය මත හැකිතාක් කලක් සිය බලය පවත්වාගැනීමේත්, ඉන්පසු සිය පෙළපතෙහි බලාධිකාරය සහතික කොට නික්ම යෑමෙත් ප‍්‍රයෝගික දර්ශනයක් පමණකි. ඒ අරමුණ උදෙසා, සියලූ ආර්ථික මර්මස්ථානවල රාජපක්ෂ පෙළපතෙහි පුරුක් මැනැවින් ස්ථානගතකොට තිබෙන අතර. ඔවුන්ද ඇතුලූ ආණ්ඩුවේ අවශේෂ ලොකු කුඩා සියල්ලන්ටම සිතූ සිතූ ලෙස අල්ලස්, කොමිස් හා අයුතු ලාභ ලැබීමේ හා දූෂණවල යෙදීමේ අයිතිවාසිකම තහවුරු කොට දී තිබේ. අඩි දහයක් දොළහක් පළල ගම්සභා පාර කාපට් කිරීමේ සිට අඩි සිය ගණනක අන්තර පළාත් මහාමාර්ග කාපට්කිරීම දක්වා කොන්ත‍්‍රාත් භාරදී ඇත්තේ ඒ ගජමිතුරන්ටය. ඉතින්, ඒ ආණ්ඩුවේ ඉතිරි සියල්ලන්ටම ඇත්තේ ලද ඇසිල්ලෙහි, දොගොඩ තලා යන ඒ මහා දූෂණ ගංගාවෙන් දෝතක් හෝ කිහිපයක් හෝ ගෙන සිය හත්මුතු පරම්පරාවම සුඛිත මුදිතකරගැනීමේ අභිලාසයක් පමණකි. ජනවාර්ගික ප‍්‍රශ්නය 13, 13ට වැඩි 13ට අඩු සෙනෙට් සභා ඒ මහත්වරුන්ගේ න්‍යාය පත‍්‍රයේ නැත.

අවාසනාවන්ත ලෙස, විසඳුමක් ඉදිරිපත් කරන්නටයැ’යි ආණ්ඩුවට අභියෝග කරන එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ද එවැනි චරිත ලක්ෂණමය. වෙනසකට ඇත්තේ, ආණ්ඩුවේ මහත්වරුන් අතර ‘සියල්ලන්ටම බෙදාගැනීමේ පොරයක්’ කි‍්‍රියාත්මක වන විට එජාපයේ මහත්වරුන් අතර ‘එකිනෙකාගේ කකුලෙන් ඇදීමේ පොරයක්’ ක‍්‍රියාත්මක වීමය. ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට ආණ්ඩුව යෝජනා කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි නොවන බව එජාපය දැනට ඉඟිකර තිබේ. ඒ තීරණය සාධාරණ එකක් වන නමුත්, එනයින්ම කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකොට කරබාගෙන සිටින්නට ඉඩප‍්‍රස්ථාවක් එම පක්ෂයට නොලැබෙයි. අඩු ගණනේ තමන්ගේ යෝජනාවලියක් මහජනතාවට ඉදිරිපත් කරන්නට වගකීමක් එජාපයට තිබේ. 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විවාදයට බඳුන්වී තිබෙන පොලිස් හා ඉඩම් බලතල ගැන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්ද? දෙමළ ජාතික සන්ධානය හා අණ්ඩුව අතර ද්විපාර්ශ්චික සාකච්ඡාවල ඉදිරිය හා එහිදී ඉදිරිපත්වී ඇති යෝජනා ගැන එක්සත් ජාතික පක්ෂයේ අදහස කුමක්ද? ආණ්ඩුව වක‍්‍රාකාරව කියන සෙනෙට් සභාවක දේශපාලනමය වැදගත්කම ගැන එක්සත් ජාතික පක්ෂයේ විග‍්‍රහය කුමක්ද? අඩුම ගණනේ, පසුගිය නොවැම්බර් 16වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ටද එක පිටපත බැගින් ලැබුණා වූ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ ධනාත්මක හා ඍණාත්මක ලක්ෂණ ගැන එජාපයේ පැහැදිලි කිරීම කුමක්ද? එහි නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතුයැ’යි එජාපය සිතන්නේද?

මේ කිසිවක් ගැන එජාපයේ නිලමතයක් අපි පසුගිය කාලයේ නොදිටිමු. තමන්ට මේ දේවල් ගැන විග‍්‍රහයක් නොමැතිව ආණ්ඩුවට අභියෝග කිරීම සාධාරණයැයි එජාපය සිතන්නේද? නැතිනම්. ආණ්ඩුවට ගල්ගසන කාලයක් එළැඹෙන විට ඒ ගල්ම නැවතත් අහුලා එජාපයටත් ගැසියයුතු තත්ත්වයට පත්වන තුරු එජාපය නිදා සිටින්නේද?

රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

Posted by Ravaya on 1:14 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

1 comments for "එජාපයේ ස්ථාවරය කුමක්ද - කේ.ඩබ්ලිව්. ජනරංජන"

  1. රාවය නිව්ස් කතෘ තුමනි. හෑකිනම් කුහක කම නෑති නම්, ඉලග ජනදිපති අපෙක්ශකය තොරන තිරුවෙ සිහල කොටසෙ සජිත් ප්‍රෙමඩසගෙ නම අතුලත් කරන්න. එතකට ඔබට සිහල ජනතව මහින්ඩ රජපක්ශ මහතට පසු වෑඩිපුරම කෑමති සිහල නයකයා කවුදෑයි බලා ගත හෑක.

    ඔබගෙ කුහක කමට සජිත් ප්‍රෙමදාස මහතගෙ නම ඉන්ග්‍රිසි තිරුවෙ පලකර ඈත හකිනම් මෙය නිවෑරදි කරන්න.

Leave a reply