ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න ! - නාලක ගුණවර්ධන


ඔබේ ජංගම දුරකථන අක‍්‍රීය / නිහඬ කරන්න!’ මෙය චිත‍්‍රපට හා රංග ශාලා හැමතැනකම කැරෙන සාධාරණ ඉල්ලීමක්. අපේ රටේ තවත් සමහර තැන්වලට ඇතුළුවන දොරටුවේ මෙබඳු අවවාදයක් ප‍්‍රදර්ශනය කළ යුතුයැ’යි මා සිතනවා. ‘ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න.’!

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ‍්‍රී ලංකා දූපතේ බුද්ධිමත් ජීවින් සිටිනවා ද යන්න සැකසහිතයි. මේතරම් සාක්ෂරතාව ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වු රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමුවන්නේ ඇයි?

ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න සූරීන් (1944-2011) මෑතදී වියෝවන තුරු නිතර මතු කළ ප‍්‍රශ්නයක් වූයේත් එයයි. මේ තේමාවට අප යළි පිවිසෙන්නේ එය ලක් සමාජයේ බහුලව දැකියහැකි, එහෙත් විවෘතව සාකච්ඡා නොකැරෙන පැතිකඩක් නිසායි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යැ’යි හැඟීමක් ඇතැම් දෙනා තුළ තිබෙනවා. ඇත්තට ම හේතුවාදීන් කරන්නේ ආගමික දේශනා හා ඇදහීම්වලට ද හේතුවාදී ක‍්‍රමවේදය යොදා ගනිමින් ඒවා විචාරශීලී ලෙස සාකච්ඡා කිරීමයි. එබඳු අවස්ථාවල අදානග‍්‍රාහය (Dogma) මත එල්බ ගෙන, අන්ධ භක්තියෙන් ආගම්වල ඉගැන්වීම් අදහන අය අභියෝගයට ලක්වනවා. නමුත් අන් හැම ශාස්ත‍්‍රයක් මෙන් ම ආගම් ද විචාරශීලී සාකච්ඡාවකට විවෘත වියයුතු බව හේතුවාදීන්ගේ තර්ක යයි.

හේතුවාදී සංගමයේ ආරම්භක ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොචූර් නිතර උපුටා දැක් වූ උද්ධෘතයක් වූයේ බුදුන්වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායයන්ට, කටකථාවලට, ගුරුකුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

සරල උදාහරණයක් ගනිමු. ආවේශ වු කනප්පු මඟින් හොරු ඇල්ලීම තවමත් විටින් විට අපේ රටේ වාර්තා වෙනවා. 2010 ද් ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති හරහා ධර්මපාල සේනාරත්න මේ වැඬේ මුළුමනින් ම ප‍්‍රතික්‍ෂේප කළා. අප‍්‍රාණික ලී බඩුවකට විඥානයක් හෝ තනිව චලනය වීමේ කිසිදු හැකියාවක් හෝ නැති බවත්, මෙබඳු අවස්ථාවල එයට චලනය වන දිශාව, වේගය ආදී සියල්ල තීරණය කරන්නේ කනප්පුවට අත තබා ගෙන සිටින අය බවත්  ඔහු කියා සිටියා.

‘කනප්පුවට හොරු අල්ලන්න හෝ තනියම චලනය වන්නට බැහැ. මේ කථාව ඇත්ත නම් අපේ රටේ පොලිස් අපරාධ පරීක්ෂණවලට කනප්පු යොදා ගන්න පුළුවන්නෙ ඔහු තර්ක කළා. ‘එහෙම කනප්පුවක් තනිව ම ගමන් කරලා පෙන්නුවොත් මම රුපියල් ලක්ෂයක් දෙනවා!’ ඔහු ප‍්‍රසිද්ධ අභියෝගයක්  ද කළා.

මෙය අපට සිහිපත් කළේ 1960 දශකයේ කොචූර් නිකුත් කළ අභියෝගයයි. ප‍්‍රයෝගයයි. ප‍්‍රයෝගවලින් තොරව (Fraud - proof) විවෘත ස්ථානයක දී මහජනයා ඉදිරියේ විශ්වාස කටයුතු (Foolproof) විධියට  ඕනෑම අද්භූත සංසිද්ධියක් සිදු කළ හැකි නම් (සහ එය ගවේෂණයට ඉඩදෙන්නේ නම්) එවකට මුදලින් රුපියල් ලක්ෂයක් දෙන බවට ඔහු 1963 දී නිකුත් කළ අභියෝගය 1978 ඔහු මිය යන තුරු ම කිසිවකු භාර ගත්තේ නැහැ.!

කොචූර් හා කලෝ ෆොන්සේකා වැනි පුරෝගාමී හේතුවාදීන්ගේ විද්‍යාත්මක පදනම ධර්මපාල නීතිමය විග‍්‍රහයක් ද එකතු කළා. ‘ ඕනෑම කෙනෙකුට තනිව  ඕනෑම විශ්වාසයක එල්බ ගෙන සිටීමේ නිදහස තිබෙනවා. එහෙත් බොරු පොරොන්දු හා මුලා කිරීම් පදනම් කර ගෙන අනෙක් අය රවටා මුදල් අය කිරීමට ඉඩක් නැහැ. එය නීති විරෝධීයි. එය ප්‍රෝඩාව නැතහොත් වංචාව හැටියට සලකා සිවිල් හා අපරාධ නීති යටතේ ක‍්‍රියා කළ හැකියි.’

එහෙත් විශ්වාස හා ඇදහිලි මත පදනම් වූ වංචනික ක‍්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබාදෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තිරයේ පහළිනුත් ප‍්‍රසිද්ධියේ පළකරනවා. ඊටත් එහා යන ප‍්‍රබල ගුරුකම්, අණවිණ හා කොඩිවිනද තිබෙනවා. මේවායේ සේවය ලබාගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටිකදෙනයි.

මහජන උන්නතිය සඳහා කැපවීමේ සදාචාරාත්මක වගකීමක් තිබෙන මාධ්‍ය ආයතන හිමිකරුවන්, පරිපාලනයන් හා කතුවරුන් ද තමන්ට විශාල වශයෙන් දැන්වීම ආදායම් උපදවා දෙන මේ පොරොන්දු හා මවාපෑම් ගැන ප‍්‍රශ්න කිරීමෙන් වළකිනවා. ඉඳහිට විචාරශීලි මාධ්‍යවේදියෙකු නැතහොත් බුද්ධිමතකු මේ ඇදහිලි හා විශ්වාස ගැන ගවේෂණාත්මකව යමක් ලිව්වොත් එය පළ කරවා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දෙනවා. ‘හේතුවාදී විමර්ශන නමැති කාලීන සංවාද රැුගත් ටෙලිවිෂන් වැඩසටහන් මාලාවක් මීට දෙවසරකට පෙර ඇරඹුණත් එය මාස කිහිපයක් තුළ නතර වුණා. එබන්දක් කරගෙන යෑමේදී මතුවන ප‍්‍රතිරෝධයට අමතරව අද සමාජයේ මෙබඳු මාතෘකා ගැන මැදහත්ව හා විචාරශීලීව කථා කරන්නට නිර්භය බුද්ධිමතුන් සොයා ගැනීමත් ප‍්‍රශ්නයක් වෙලා.

පොදු උන්නතිය හා රටේ සමප්ත රැුකගැනීම පිණිස තම විශේෂඥ දැනුම පසුබිම් කරගෙන කාලීන මාතෘකා ගැන ප‍්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව අදහස් දක්වන විද්වතුන් (Public Intellectuals) අපට සිටින්නේ සීමිත සංඛ්‍යාවක්, බහුතරයක් උගතුන් නිහඬව පසෙකට වී බලා සිටිනවා. ටික දෙනෙක් පෞද්ගලිකව විවේචන කළත් ප‍්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. සමහරු වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ තමන්ගේ දැනුම ඉහළම ඉල්ලූමට අලෙවි කරනවා.

ධර්මපාලගේ වඩාත් නිර්දය විවේචනය එල්ල වූයේ ජන සමාජයේ අන්ධ විශ්වාස හා ඇදහිලි තවත් තීව‍්‍ර කරමින් ඒවායෙන් බඩ වඩා ගන්නා විද්වතුන් වෙතටයි. විද්‍යා විෂය ක්ෂේත‍්‍රයන්හි ඉහළට උගෙන, නිසි මාර්ගයේ ගොස් ආචාර්ය උපාධි ලබාගත් (සම්මාන උපාධි නොවේ!) සමහර විද්‍යාඥයන්, පසුකලෙක තම උගත්කමට අදාළ නොවූ අද්භූත ක්ෂේත‍්‍රවල නියැලෙන සැටි අප දන්නවා.

වායුගෝලීය භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, තාරකා විද්‍යාව හෝ භූ විද්‍යාව ප‍්‍රගුණ කළ විද්‍යාඥයෝ තම ක්ෂේත‍්‍රයට අමතරව මෝහනය, පුනර්භවය, ජ්‍යෙතිෂය ගැන විශේෂඥයන් ලෙස ප‍්‍රතිරූප තනා ගන්නවා. (ඔවුන් එම ක්ෂේත‍්‍ර විචාරශීලිව ගවේෂණය කරනවා වෙනුවට ඒවායේ පවතින අධිපතිවාදයෙන් ප‍්‍රයෝජන ලබනවා) අධිපතිවාදයට හා අන්ධ විශ්වාසවලට ඉඩක් නොමැති විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ එක් පයක් තබාගෙන, අද්භූතවාද පෙරටු කර ගත් ඇදහිලිවල අනෙක් පය තබා ගෙන දෙබිඩි චරිත නිරූපනය කරන මේ ‘බුද්ධිමතුන් ගැන ධර්මපාල කථා කළේ කලකිරීමෙන්.

‘මේවැනි විද්‍යා උගතුන් අන්ධ භක්තිය හා අවිචාරශීලි ඇදහිලිවලට ප‍්‍රසිද්ධියේ ආවඩන විට සාමාන්‍ය මහජනයා නොමග යනවා. විද්‍යාත්මක චින්තනය වඩාත් අවශ්‍ය අද වැනි කාලයක, කියන  ඕනෑ දෙයක් ගෙඩි පිටින් පිළිගෙන ඇදහීමේ භයානක පුරුද්දට ජන සමාජය යොමු වනවා!’ ඔහු අනතුරු ඇඟවූවා.

ශ‍්‍රී ලංකා හේතුවාදී ව්‍යාපාරය හා එහි නොනිමි සමාජ වගකීම් සමුදාය ගැන මා 2012 ජනවාරි 13 වනදා groundview.org මාධ්‍ය වේබ් අඩවියට ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියුවා (http:tiny.cc/Awake) දින කිහිපයක් ඇතුළත එයට පාඨක ප‍්‍රතිචාර 70කට වඩා ලැබුණත් ඒවාගෙන් බහුතරයක් සනාථ කරන්නේත් එම ලිපියෙන් හා මෙම කොලමින් මා මතු කරන තර්කයයි. එනම් විචාරශීලි ලෙස යමක් විග‍්‍රහ කිරීමට හා බුද්ධිගෝචරව සිතා බැලීමට හැකියාව නැති පිරිස අපේ සාමජයේ සීමිත බවයි.

මගේ ලිපියට ලැබී ඇති එක් පාඨක ප‍්‍රතිචාරයක් ලියන විද්‍යාඥ ආචාර්ය යූ. පෙතියාගොඩ කියන්නේ ඉරිදාට පළවන සිංහල පුවත්පත් බහුතරයක් පාඨක බුද්ධියට නිගාකරන, හරසුන් අන්තර්ගතයන් කැටි කර ගත් කඩදාසි ගොනු බවට පත්ව ඇති බවයි. ‘ජ්‍යෙතිෂවේදීන්, වාජිකරණ හා ගබ්සා කිරීමේ සේවාවන් ආදිය සඳහා වන අනෙක්විධ දැන්වීම්. සම්බාහන සේවා ගැන කෙළවරක් නැවත ලියන විශේෂාංග හා කලාව ගැන මොලො හසරක් නොදත්තවුන් ලියන කලා විචාර ආදිය පසෙකට දැමූ විට කියවන්නට ඉතිරිවන්නේ ඉතා ස්වල්පයක් පමණයි.’ යයි ඔහු කියනවා.

ආචාර්ය පෙතියාගොඩගේ තක්සේරුව සමඟ මා එකඟ වන නමුත් ඉරිදා පත්තර මේ තත්ත්වයට පත්වීමට දායක වූ සාමාජයීය සාධක ඇති බව ද පිළිගත යුතුයි විවෘත ආර්ථික ක‍්‍රමයක් තුළ නීති විරෝධී නොවන භාණ්ඩ හා සේව ප‍්‍රචාරණය කිරීමට මුදල් ගෙවා මාධ්‍ය දැන්වීම් පළකිරීමට නිදහස තිබෙනවා.

පැහැබර හෙට දවසක් උදාරක දෙන බවට ශාන්ති කර්ම, පුද පූජා සේවා සපයන ජ්‍යෙතිෂවේදීන් හා එබඳුම පින්බර අනාගතයක් ගැන පොරොන්දු දෙන දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. එහෙත් දේශපාලකයන්ගේ මැතිවරණ පොරොන්දු දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන අපේ බොහෝ දෙනා ජ්‍යොතිෂ හා දෛවඥ සේවාවන් ගැන විචාරශීලිව විමසන්නේ නැහැ. මේ ඇයි?

මාධ්‍ය ඔස්සේ අපට ලැබන තොරතුරු හා මතවාදයන් තොරා බේරා ගැනීමේ හැකියාවට මාධ්‍ය සාක්ෂරතාව කියනවා. (Media Literacy) අද අකුරු සාක්‍ෂරතාවටත් වඩා වැදගත්වන්නේ මේ හැකියාවයි. එය නිසි පමණට නොතිබීම නිසා මාධ්‍ය හරහා දැවැන්ත ප‍්‍රතිරූප තනා ගැනීමට දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට මෙවන් ම වංචනිකයන්ට ද හැකිවී තිබෙනවා. අදහාගත නොහැකි තරම් ඉහළ පොලී අනුපාතයයන් දෙන බවට පෙරොන්දුවෙමින් ජනයාගෙන් කෝටි ගණන් මුදල් තැන්පතු ලබාගත් සක්විති වැනි චරිත පුවත්පත් හා ටෙලිවිෂන් මාධ්‍ය සූක්ෂම ලෙස යොදා ගත්තා.

මෙබඳු සමාජයක විචාරශීලිව කොයි දේ ගැනත් සිතීමට අනුබල දීම හා ප‍්‍රශ්න කිරීමේ හැකියාව වැඩි කිරීම පොදු උන්න්නතිය අගයන සැවොම කළයුතු දෙයක්.

රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

සබැදිලිපි
- මාමයිට් බෝතලයෙන් ඇරඹුණු දිවි සුරකින විප්ලවය
- නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයෙන් අභියෝග රැසක්

Posted by Ravaya on 12:56 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

3 comments for "ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න ! - නාලක ගුණවර්ධන"

  1. ඇතටම මේක බොහොම හොඳ කාලීන මාතෘකාවක්. අද ගොඩක් මාධ්‍ය පාටකයා ගැන කිසිම තැකීමක් නොකර තමාට ලැබෙන ආර්ථික වාසිතකා ඕනෙම හරසුන් දෙයක් ඉදිරිපත් කරන තත්වයක තම ඉන්නේ. අනික අපේ සමාජය දැන් කිසිස්ම විචාරක බුද්ධියකින් තොරව හැමදේම වලද ගන්න තැනට ඇවිත් ඉන්නේ. සරලව කිව්වොත් "ලේසියෙන්ම අන්දන්න පුළුවන්." හුඟක් යට ආගම දහම මතක් වෙන්නේ තමන්ට දුකක් කරදරයක් ඇති උනාම. ඒ වෙලාවට තමාට සෙතක් ලැබෙනවා යයි කියන හැමදේම කිසිම විචාරයකින් තොරව වැළඳ ගන්නවා. මේක දැන් ලකාවේ කෙරෙන හොඳ ජාවාරමක්. විශේෂයෙන් දේවල පන්සල් අදහන අය විශේෂයි. ලොකුවට දේව රුප ටිකක් පිළිම ටික හදාගෙන පතර ටිකක් අල්ලගෙන් හොඳ අර්ටිකල් ටිකක් දාල, ටි වී චැනල් දෙක තුනක් අල්ල ගෙන හොඳ ප්‍රචාරයකුත් දීල හොඳට බිස්නස් එක කර ගෙන යනවා. මේක හරිම කණගාටු තත්වයක්. අපේ මිනිස්සුන සමහර වෙලාවට ඇස්දෙකට පෙනී පෙනීම මුලාවේ වැටෙනවා. අනික මේවගේ දේවල් ගැන මහජනයා දැනුවත් කිරීමට වත් කිසිම කෙනෙක් උනන්දු නොවෙන තත්වයක් තියෙන්නෙ. එහෙම අවසථාවක මේවගේ මාතෘකාවක් කතා කිරීම ගැන ඔබව උදේකම අගය කල යුත්තක්. අපේ මිනිස්සුන් ගේ ඇස දෙක වැසි ඇති අඳුරු තිර පට ඉවත් කිරීම සඳහා මේ වගේ ලිපි තවදුරත් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. එයට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය ඔබට නොඅඩුව ලැබේවායි ප්‍රර්ථනා කරමි.

  2. රාවය නිව්ස් කතෘ තුමනි. හෑකිනම් කුහක කම නෑති නම්, ඉලග ජනදිපති අපෙක්ශකය තොරන තිරුවෙ සිහල කොටසෙ සජිත් ප්‍රෙමඩසගෙ නම අතුලත් කරන්න. එතකට ඔබට සිහල ජනතව මහින්ඩ රජපක්ශ මහතට පසු වෑඩිපුරම කෑමති සිහල නයකයා කවුදෑයි බලා ගත හෑක.

    ඔබගෙ කුහක කමට සජිත් ප්‍රෙමදාස මහතගෙ නම ඉන්ග්‍රිසි තිරුවෙ පලකර ඈත හකිනම් මෙය නිවෑරදි කරන්න.

  3. මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

Leave a reply