මාධ්‍යට අදහස් පළ කළ ගුරුවරියගේ වැඩ තහනම්

තමන්ට සිදු කරන ලද ලිඛිත හිංසනයක් විදුහල්පතිවරයා විසින් යටපත් කිරීම පිළිබඳ මාධ්‍යයට තොරතුරු අනාවරණය කළායැ’යි කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය 1වැනිදා කටයුතු කර ඇත.

මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් කරන ලැදැ’යි කියන වංචා හා දූෂණ රැසක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව හෙළිකිරීමෙන් වැළකී සිටින බවත් එවන් තත්ත්වයක් යටතේ චූදිත විදුහල්පතිවරයාට විරුද්ධව ක‍්‍රියාමාර්ගයක් නොගෙන ඔහු විසින් පරීක්ෂණ යටපත් කිරීමෙන් තමන්ට සිදුවූහානිය පිළිබඳ මාධ්‍යයට ප‍්‍රකාශයක් කළ බව පවසමින් වැඩතහනමට ලක්කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කළේය.

වැඩ තහනමට ලක්වු ගුරුවරියට සිදු වූ හිංසනය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නඩුවක්ද ගොනු කොට ඇති බවත් සියලූම වගකිවයුතු ස්ථානවලට දැනුම් දුන්ද කිසිදු ක‍්‍රියාමාර්ගයක් ඒ සම්බන්ධයෙන් නොගනෙ නිසා මාධ්‍යයට මේ බව හෙළිකිරීමට ඇය තීරණය කොට තිබූබවත් ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කළේය.

මේ පිළිබඳ අදහස් පළකළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා ප‍්‍රකාශ කළේ මෙම තීරණය ආයතන සංග‍්‍රහය වැරදි ලෙස යොදා ගනිමින් අධ්‍යාපන ලේකම්වරයා ගත් නොමනා තීරණයක් බවයි.

ආයතන සංග‍්‍රහය යටතේ රජයේ සේවකයකුට මාධ්‍යයට අදහස් පළ කළ නොහැක්කේ තම ආයතනයට, තම වෘත්තියට, රජයට හා රජයේ සේවයට විරුද්ධව පමණක් බවත් තමන්ට සිදුවූ අසාධාරණයකට පාලනාධිකාරිය කටයුතු නොකරන අවස්ථාවක මාධ්‍යයට අදහස් පළකිරීම වැරදි සහගත බව ආයතන සංග‍්‍රහයේ අන්තර්ගත නොවන බව ඔහු ප‍්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ මීට වසර 50කට 60කට පෙර සාදසන ලද ආයතන සංග‍්‍රහය මේවනවිට යල් පැනගොස් අති බවත්, අද වන විට පවතින දියුණු හා කාර්යක්ෂම රාජ්‍ය සේවයටත් මානව හිම්කම්වලටත් ආයතන සංග‍්‍රහයෙන් බලපෑමක් වන බවත් එය යාවත්කාලීන විය යුතු බවත්ය.

රාවය

Posted by Ravaya on 3:19 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මාධ්‍යට අදහස් පළ කළ ගුරුවරියගේ වැඩ තහනම්"

Leave a reply