මනිලාල් නඩුව පරාදයි

ශ‍්‍රී ලංකා පාපන්දු සංගමයේ හිමිකරුවා වන වර්නන් මනිලාල් ප‍්‍රනාන්දු මහතා මෙරට පාපන්දුවට පැමිණ තිස් වසරකට වැඩිය. එහෙත් මෙරට පාපන්දුව ඔහුගේ පාලනය හරහා අභාවයට ගියා මිසක සංවර්ධනයක් නම් නොලැබීය. එහෙත් ඔහු සංවර්ධනය විය. කළුතරින් පැමිණ ලෝකයා තුළ ජනප‍්‍රිය වන්නට ඔහුට හැකිවිය. ඒ පාපන්දුවට පින්සිදු වන්නටය. ඔහු අද මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි. ඒද පාපන්දුවට පින්සිදුවන්නටය. ඔහු අද කෝටිපතියෙකි. ඒ ද පාපන්දුවේ බලමහිමයෙනි. පාපන්දු ක‍්‍රීඩාව බල්ලාට යද්දී මනිලාල් මතු වූයේ කෙසේද? පාපන්දු ක‍්‍රීඩකයා හිගමනට වැටෙද්දී මනිලාල් ලෝකය දිනුයේ කෙසේද? මේ සරල සූත‍්‍රය අපට රහසක් නොවීය.

අපි පාපන්දුව ගැන එදත්, අදත්, හෙටත් ලියන්නෙමු. ඒ මනිලාල් සමඟ තරහකට නොව විනාශ වන පාපන්දුව වෙනුවෙනි. එය මාධ්‍යයේ වගකීමකි. යුතුකමකි.

මෙකී වගකීම, යුතුකම දත්පිරිස් මනිලාල් ගැන පාපන්දුව ගැන විවේචනයකට එළැඹී කල මනිලාල් කළේ ඔවුන් නඩු මගට ඇද දමා බංකොළොත් කිරීමය. එය ඔහුට දීර්ඝකාලීනව වැජඹෙන්නට තැනූ උපක‍්‍රමයකි. මෙයට හසුවූවෝ නෙවිල් අබේගුණවර්ධනය. අදටත් භාවිත වන මෙරට පාපන්දු ව්‍යවස්ථාව පවා ඔහු හැදුවකි. අනෙක් පුද්ගලයා අකාලයේ මියපරලොව  හැරි එඞ්වඞ් වික‍්‍රමසූරියය. එඞ්වඞ් පාපන්දුවට බෙහෙවින් ආලය කළ දක්ෂ පාපන්දු ක‍්‍රීඩකයෙකි. විචාරකයෙකි. මනිල්ලාට ඔහු තරම් හිසරදයක් වූ අයකු නොවූ තරම්ය. අප ගෙන යන පාපන්දු සටනේ අභීත පෙරගමන්කරුවාද ඔහුය. එහෙත් ඔහුට ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවූයේය.

දිනක් ගෝල් පහරක් සේ වේගයෙන් ආ වාහනයක් ගංගාරාමයේදී ඔහු යට කොට පලා ගියේය. එඞ්වඞ් පොළොව යට සැඟව ගිය කල එයට පණදෙන්නට අප මෙන්ම තවත් පුරුකක් විය. ඒ ‘ඬේලි මිරර්’ පුවත්පතට ‘ස්පෝර්ට්ස් නෝට්ස්’ යන තීරු ලිපිය ලියූ විජිත ප‍්‍රනාන්දුය. ඔහු මෙරට ක‍්‍රීඩාවේ අභිවෘද්ධිය තකානිර්භයව පෑන මෙහෙයවූවෙකි. ඒ නිසාම තෙවරක්ම හොඳම ක‍්‍රීඩා මාධ්‍යවේදියා සම්මානය ද ඔහුට හිමිවිය. ඔහුගේ විවේචනයට පාපන්දු ක‍්‍රීඩාව නොව මෙරට ප‍්‍රබල ක‍්‍රීඩා සියල්ලම ගැබ්විය. ඉංග‍්‍රීසි සමාජය තුළ එල්ල වන විජිතගේ බෝම්බ වැනි විචාර මනිලාල් පමණක් නොව මෙරට ක‍්‍රීඩාවේ බොහොමයකගේ නිරුවත හෙළිදරව් කළේය. එයට පිළියම් ලෙස මනිලාල් සුපුරුදු නඩු මගට බැස්සේය. එහි එකම අරමුණ ඔහුගේ ලිවීමට තිත තැබීමය. කුමන හෝ හේතු මත විජිතගේ ලිවීමද ඇනහිටි බැවින් මනිලාල්ගේ මුල් බලාරොත්තුව ඉටුවිය. එහෙත් නඩු දිගටම ඇදුණේය. 2002 තරම් ඈතක සිට නඩුව ඇදුණේය එහි ප‍්‍රතිඵලය නව වසරේ ජනවාරි අගඑළි විය. ප‍්‍රතිඵලය මනිලාල් පාරාදය. නඩුව ගාස්තුවට යටත් කර නිෂ්ප‍්‍රභ විය. විත්තිකරුවන්ට නඩු ගාස්තු ගෙවීමටද තීන්දු විය. මේ පිළිබඳ අපෙන් තොරතුරු විමසන පාපන්දු සංගමයේ ඇතැම් හු නඩුවට සිදුවූයේ කුමක්ද අසති. එයට හේතුව මනිලාල් පාපන්දු සංගමය දැනුවත් කර ඇත්තේ නඩුව කල්ගිය බවටය. එහෙත් ඇත්ත නම් මනිලාල් පරාදය. එකී තීන්දුව මාධ්‍ය මෙන්ම මාධ්‍යකරුවාද ලද ජයග‍්‍රහණයකි. එකී තීන්දුව මාධ්‍යයට ලබාදෙන ශක්තියද අපමණය. ඒ ගැන ඉදිරියට ලියමි. දැනට කිවයුත්තේ ඇත්ත ජයගන්නා බවය. සත්‍ය ප‍්‍රකාශ කරන්නට පෙරද සත්‍යයම බවය. මනිලාල් පරාදවීම වඩා වැදගත්වන්නේ එය මෙරට පාපන්දුවේ මළගම ඔහුගෙන් උදාවූ බවට අප කාලාන්තරයක් තිස්සේ නගන තර්කය තවදුරටත් වලංගු බැවිනි. උසාවිය එයට නැංගුරමක් දමා ඇත. (වැඩි විස්තර පසුවට)

ටිරන් කුමාර බංගගමආරච්චි - රාවය

Posted by Ravaya on 4:14 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මනිලාල් නඩුව පරාදයි"

Leave a reply