රදගුරු සමුළුව විකල්ප කිව යුතුයි - තිස්ස කරලියද්ද

ගබ්සාව නීතිගත කිරීම පිළිබඳව කතෝලික රදගුරු - සමුළුව විරෝධය පළකිරීමෙන් පමණක් නොනැවතී සිදුවන විනාශය වළකා ගැනීමට විකල්ප ඉදිරිපත් කළ යුතු බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසයි.

ගබ්සාවෙන් ජීවිත විනාශයක් සිදුවේයැ’යි ප‍්‍රශ්න කරන්නන්ට හරක්, ඌරන් දස වදදී මරා දැමීම නොපෙනේන්නේ මන්දැ’යි කරලියද්ද මහතා ප‍්‍රශ්න කරයි.

මව්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ගබ්සාවට දැනට රටවල් 150ක් අවසර දී ඇති අතර තවත් රටවල් 57ක් ස්ත‍්‍රී දූෂණය, ව්‍යභිචාරය සහ විපරිත කළල ඇති වූ අවස්ථාවලදී මාස 03ක් ඇතුළත ගබ්සා කිරීමට නීතියෙන් අවසර දී ඇත. මීට බෞද්ධ රටවල්ද ඇතුළත් බව අමාත්‍යවරයා පවසයි. මෙහිදී සිදුවන්නේ ගබ්සාවට ඇති සියලූ නීති ලිහිල් කිරීම නොව අවුරුදු 18ට අඩු දරුවන් දුෂණයට ලක්වූ අවස්ථාවකදී, ලේ ඥාතින් අතර සිදුවන ලිංගික සම්බන්ධයකදී (ව්‍යභිචාරය) සහ විකෘති කළල ඇතිවූ අවස්ථාවකදී මාස 03ක් ඇතුළත කළලය විනාශ කිරීමට අවසර ලබාදීමයි. එයද මවට හෝ වෙනත් පුද්ගලයකුගේ අවශ්‍යතාව මත නොව විශේෂඥ වෛද්‍යවරයකු සහ අධිකරණය මැදිහත්වීමෙන් පමණක් සිදුකළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

තවමත් සාකච්ඡුා මට්ටමේ පසුවන මෙම කාරණය විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය එක්ව කමිටුවක් පත්කර ඇත. මීට පෙර 1995 වර්ෂයේදීද යම් යම් සීමා ඔස්සේ ගබ්සාව නීතිගත කිරීමට ගත් උත්සාහයක් සමහර කතෝලික හා මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ විරෝධතා නිසා ව්‍යර්ථ විය. කෙසේ වෙතත් පසුගිය වසරේ මුල් මාස 11 තුළ ස්ත‍්‍රී දූෂණ 1635ක් වාරත් වී ඇති අතර ඉන් 89ක්ම බාලවයස්කාර දැරියන්ට සිදුවූ අපරාධ බව පොලිස් මූලස්ථනා සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.

ලංකාවේ ගබ්සාව පිළිබඳ දැඩි නීතිරීතිවලට දීර්ඝ ඉතිහාසයක් පැවතුණද දිනකට නීති විරෝධී ගබ්සා දහස් ගණනක් සිදුවන බව විවිධ පර්යේෂණ වාර්තා එළිදක්වා ඇත.

- රාවය

Posted by Ravaya on 3:15 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "රදගුරු සමුළුව විකල්ප කිව යුතුයි - තිස්ස කරලියද්ද"

Leave a reply