අලූත් බෝතලයේ පරණ වතුර - කේ.ඩබ්ලිව්. ජනරංජන


මේ ප‍්‍රශ්නය සඳහා විසඳුම ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වචන වෙනස් කිරීම තුළ නොවෙයි. සමාජ ක‍්‍රමයම සමානාත්මතාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වන සේ වෙනස් කිරීම තුළ දැන් කරන්නේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය වරප‍්‍රසාද ලක් පිරිස්වල දේශපාලන බල ක‍්‍රීඩාවන් වෙනුවෙන් භාවිත කිරීම. 13 ප්ලස් යෝජනා පසුපස තිබෙන්නේ ඒ වංචාව. එය ප‍්‍රශ්නයට විසඳුම නොවෙයි. එමගින් ප‍්‍රශ්නය විසඳෙන බව අපි විශ්වාස කරන්නේ නැහැ. ‘බැලූ බැල්මට එසේ යැ’යි සිතෙන මුත්, මේ ජනවාර්ගික ප‍්‍රශ්නයට පිළිබඳව වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ නායකයකුගේ අදහසක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ විවේචනාත්මකව කැඞී ගිය ජනඅරගල කණ්ඩායමේ පුබුදු ජයගොඩ මහතාගේ අදහසයි. පසුගිය ජනවාරි 29වැනි ඉරිදා ලංකාදීප පුවත්පතට දී තිබූ සම්මුඛ සාකච්ඡාවකදී, ජනඅරගල ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් වන ඔහු එසේ කියා තිබුණි. එහිදී, ඔහු තවදුරටත් මෙසේ කියයි. ‘උතුර හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවට විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා. අතුරුදහන් වූවන් ගැන තොරතුරු මෙතෙක් හෙළිකර නැහැ. අත්අඩංගුවේ පසුවන්නන්ට සාධාරණය ඉටුකර නැහැ. අවතැන්වුවන්ට මුලික පහසුකම්වත් නැහැ. දෙමළ ජනතාවගේ සංස්කෘතක දේශපාලන අයිතීන් කප්පාදුකර තිබෙනවා. මේ දැවෙන ප‍්‍රශ්න ගැන වචනයක්වත් කතානොකරන අය ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන කියනවා. ඔහුගේ මේ පිළිතුර, ‘උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලෙස 13වැනි සංශෝධනයට එහා ගිය විසඳුමක් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?’ යන ප‍්‍රශ්නයට ලැබුණකි.

ඇත්ත වශයෙන් ජනඅරගල දේශපාලන ලේකම්වරයා පුනරුච්චාරණය කරන්නේ. වාර්ගික අර්බුදයට විසඳුම ලෙස පසුගිය කාලය මුළුල්ලේම ජනතා විමුක්ති පෙරමුණේත්, භාවිත කළ, නැවත වටයකින් අලූත් අදහසක් සේ පැනනගිමින් පවතින ‘සමානාත්මතා සමාජය බිහිවන තුරු වාර්ගික ගැටලූවට විරාමයක්’ යන අදහසමය. මෙහි පසුගිය කාලය’ යන්නෙන් කළ සඳහනට, පසුගිය යුද්ධය බැලූ බැලූ අතින් සාධාරණීකරණය කරමින්, ඊට මතවාදීමය පිටුබලය සපයමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුද පිළිවෙත ඉදිරියට ගෙනයන්නට ජනතා විමුක්ති පෙරමුණ (එකල ඒ තුළ සිටි අද ජනඅරගල කණ්ඩායමද ඇතුලූව) සහාය වූ කාලයද ඇතුළත්ය. ඒ කාලයේ, දෙමළ අයිතිවාසිකම් මූලික කරගත් සන්නද්ධ ව්‍යාපාරයද ඒ ආශ‍්‍රිත සංවිධාන හා පුද්ගලයන් ගැන ද ජවිපෙ සිතුවේ, තමන් සමානාත්මතා සමාජය බිහිකරන්නට වැඩකරමින් සිටින විට එය කඩාකප්පල් කරන්නට ආ බෙදුම්වාදීන් පිරිසක් ලෙසය. එනිසා ජවිපෙට එකලද දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකිරීම වූ කලි (අන්ත සිංහල ජාතිවාදීන්ට මෙන්ම) දේශද්‍රෝහීකමකි. මානව හිමිකම් ගැන කතාකිරීමට වූ කලි බටහිරට රට පාවාදීමකි. නීතියේ ආධිපත්‍යය කඩාවැටීම දෙසට ඇඟිලි දිගුකිරීම වූ කලි මහා කුමන්ත‍්‍රණයකි. ජවිපෙ පවත්වාගෙන ගිය ‘ලංකා’ පුවත්පතෙන් බොහෝ දුරට කැරුණේ වැනසිය යුත්තේ කවුදැ’යි ආණ්ඩුවට තේරුම්ගතහැකි වන පරිදි පුද්ගලයන්ට දේශද්‍රෝහී හා ත‍්‍රස්තවාදී ලේබල් ඇලවීමයි. ඒ කාලයේ ‘ලංකා’ට ජේ.එස්. තිස්සනායගම්, රෝහිත භාෂණ අබේවර්ධන වැන්නන් ත‍්‍රස්තවාදීන්ය. (පසු කාලයක ලංකා පුවත්පත, රෝහිත භාෂණගේ පියා මළ විට, භාෂණ මානව හිතවාදී මහා කවියකු කොට හඳුන්වා කවි ලියා බැනර් ගැසුවේය.) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලූ මාධ්‍ය සංවිධාන ඩොලර්වලට රට පාවාදෙන්නන්ගේ සංවිධානය අතුරුදන් වූ හා ඝාතනය කළ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොළඹ පිකටිං කිරීම යනු රණවිරුවන්ගේ ධෛර්යය බිඳීමට ඇටවූ උගුල්ය. අද සිටින ජනඅරගල කණ්ඩායමද එදා සිටියේ මේ මතවදාය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ තුළය. අද මෙන් ජවිපෙට එරෙහිව මතවාදීමය වශයෙන් විසම්මුතික අදහස් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නට, ජවිපෙන් මතවාදීමය ලෙස වෙන්ව සිටින්නෙට එදා ඔවුනට වුවමනාවක් තිබුණේ නැත. ඒ අර්ථයෙන් චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේත්, රාජපක්ෂ ආණ්ඩුව කාලයේත් දෙමළ ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක කළ සකල විධ මර්දනයන්ගේ සමවිත්තිකරුවකු වන්නේ ජවිපෙය. හරියටම කියනවා නම්, ජනඅරගල ලේකම්වරයා අද කියන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවීම, අතුරුදන් කිරීම, අත්අඩංගුවේ තැබීම, මූලික පහසුකම්වත් නොසැපයීම කියන දෙමළ ජනවර්ගය කෙරෙහි පටවන ලද්දා වූ මර්දනයන්ට ආශිර්වාද කළ එක් පෙරමුණක් නම් ජවිපෙයි.

ජවිපෙහි මතවාදී ආධිපත්‍යයෙන් කැඞීගියායැ’යි කියන ජනඅරගල කණ්ඩායමේද වර්තාමන අදහස ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජවිපෙ දැරූ අදහසට වෙනස් බවක් පෙනෙන්ට නැත. ‘සමාජවාදය එනතුරු වාර්ගික ප‍්‍රශ්න වෙනම විසඳීම අවශ්‍ය නැත. සමානාත්මතා සමාජයකදී ප‍්‍රශ්නය  ඉබේම විසඳෙන්නේය.’

සමානාත්මතා සමාජයක් තුළ ජනවාර්ගික ගැටලූව විසඳීම ආකර්ෂණීය ලෙස පෙනෙන නමුත් මිථ්‍යාවකි. ඊට එක් නම් හේතුවක් නම්, අප දන්නා කාලයක එවවැනි සමානාත්මතා සමාජයක් නොඑනු ඇති නිසාය. කවදා හෝ දිනෙක එවැනි සමාජයක් ගොඩනැගෙන තුරු ඉවසන්නටයැ’යි දෙමළ ජනතාවට කීම ඔවුන්ගේ දුක්ගැනවිලි නිර්දය සේ නොසලකා හැරීමකි. ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නය වූ කලි, අපට කැමති විසඳුමක් දෙන තුරු තවත් දශකයක් හෝ දෙකක්වත් කල්ඇදිය හැකි ගැටලූවක් නොවේ. සමහර විට ඒ කාලය තවත් සන්නද්ධ කැරැුල්ලක් ආරම්භවන කාලය වියහැකිය. ඇත්ත වශයෙන්ම නම්, දැනටමත් අප එවැනි අනාගත කැරැල්ලකට අමුද්‍රව්‍ය විය හැකි නොසලකා හැරීම, වෙනස්කොට සැලකීම, ගැරහීම, අවඥාවට ලක්කිරීම, මහජාතියේ ආධිපත්‍යය පැටවීම යනාදිය යහමින් කරමින් සිටිමු.

ලංකාවේ දැනටමත් පවතින්නේ නීතිය ඉදිරියේ රටේ සියල්ලන්ම සමාන වන පාලන ක‍්‍රමයකි. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12වැනි ව්‍යවස්ථාව කියන්නේ ‘නීතිය පසිඳලීම හා ක‍්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාණ වියයුතුබව’ය. ‘කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රීපුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බව’ය. නීතිය එසේ නියම කළත් කවර වූ හෝ සමාජයක් එපමණින් සමානාත්මතා සමාජයක් බවට පත් නොවෙයි. සියලූ වර්ග භේද නැතිවී සමසමාජයක් බිහිනොවෙයි. ඒනිසා, එවැනි පසුබිමක වූවද සමාජයේ විශේෂ කණ්ඩායම් හෝ ස්ථරයනට විශේෂ සැලකිලි දක්වා ඔවුන් වෙනම ඒ තත්ත්වයට ඔසොවා තැබිය යුතුය. ඒ තත්ත්වයට පිළිගන්නා අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ, 12(4). කාන්තාවන්ගේ, ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප‍්‍රගතිය සඳහා නීතියෙන් හෝ අනුනීතිවලින් හෝ විධායක ක‍්‍රියාමාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැස්වීමට ඉහත ප‍්‍රතිපාදනය බාධාවක් නොවන බවය. එනම්, සාරය ලෙස ගත්කල නීතිය ඉදිරියේ සමාන සැලකිල්ලට සමගාමීව, විශේෂ දුක්ගැනවිලි සහිත කොටස්වලට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව නීතිමය පිළිගනියි.

ලංකවේ දෙමළ ජනවාර්ගය සිටින්නේ එසේ විශේෂ සැලකිල්ලක් දක්වා නගා සිටුවිය යුතු තත්ත්වයකය. ඔවුහු අඩසියවසකටත් වැඩි කාලයක් තිස්සේ සිය අයිතිවාසිකම් ගැන සවිඥානක වූවා පමණක් නොව, ඒවා ඉල්ලා කළ සටනට ජීවිතයෙන් හා දේපළවලින් විශාල වන්දියක් ගෙවූහ. ඔවුන් තෝරාගත් මාර්ගය ගැන විසම්මුතිය තර්ක තිබිය හැකි නමුත් ඔවුන් අද ගිලී සිටින ඛේදවාචකය නම් යථාර්ථයකි. අප විසඳුම් සෙවිය යුත්තේ මේ කිසිවක් සිදුනොවුණාවූ, සුපිරිසිදු අතීතයක සිට නොව මේ සියලූ අයිතිවාසිකම් සටන් හා ඒවායේ ප‍්‍රතිඵල යථාර්ථයක් වන වර්තමානයක සිටය. එනිසා, සමානාත්මතා සමාජයකදී මේ ගැටලූ විසඳෙන තෙක් බලා නොසිට කළහැකි දෙයින් පටන්ගන්නට අපට සිදුවෙයි. දැනටමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම කොටසක් වන 13වැනි සංශෝධනයෙන් ඒ කාර්යය පටන්ගත හැකිය. එනම්, 13වැනි සංශෝධනය එහි නියම අර්ථයෙන් ක‍්‍රියාත්මක කිරීම ඇරඹීමයි. 13වන සංශෝධනය අපට බලහත්කාරයෙන් ඉන්දියාව විසින් පටවන ලද්දක්යැ’යි ද, එය මුළුමනින්ම ඉවත විසිකොට අලූතෙන් සියල්ල ඇරඹිය යුතුයැ’යි ද හෙළ උරුමය වැනි ආණ්ඩුවේ සමහර පෙරමුණු අදහස් පළකොට තිබේ. අපට බලහත්කාරයෙන් පටවන ලද සියල්ල ප‍්‍රතික්‍ෂේප කරන්නේ නම්, අප 13වැනි සංශෝධනයට පෙර රටේ මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියද, තේ වගාවද, පාසල් හා නීතිය, අධිකරණ පද්ධතියද විසිකළ යුතුය. එහෙත් බි‍්‍රතාන්‍යයන් කවර බලහත්කාරකමින් අප මත පැටවූවත්, දැන් අපි ඒවා අපේම වාගේ සාදරයෙන් පාවිච්චි කරමු. ඒ, ඒවායේ අවශ්‍යතාවත් වැදගත්කමත් නිසාය. එබැවින්, 13වැනි සංශෝධනය සම්බන්ධයෙන්ද වැදගත් වන්නේ, එය දුන්නේ ඉන්දියාවෙන්ද බලහත්කාරයෙන්ද යන්න නොව, එහි අවශ්‍යතාව කුමක්ද කියාය.

13වැනි සංශෝධනය කිසිසේත් නියමාකාර බල බෙදීමක් නොව්. එයින් කරන්නේ පළාත් සහ මුළුමනින්ම මධ්‍යම රජයේ කඩු තුඩ මත සිටුවන ලද ප‍්‍රමාණවත් නොවන බලය බෙදාහැරීමකි. රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයට කල්පවත්නා විසඳුමකට ඇත්ත වශයෙන්ම 13වැනි සංශෝධනය ප‍්‍රමාණවත් නොවන්නේය. එසේ වුවද, තිබෙන යථාර්තය අනුව එය ‘පටන්ගත හැකි’ තැනකි. ඒ අනුව 13වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කරනවාද නැද්ද යන්න, කවුරු කවුරුත් ජනවාර්ගික ගැටලූවට දේශපාලන විසඳුමක් දෙන්නට කැමැත්තක් දක්වන්නේද යන්නට කරන ලිට්මස් පරීක්ෂාවකි. දැනට පෙනෙන පරිදි, පොලිස් හා ඉඩම් බලතලදී 13වැනි සංශෝධනය තිබෙන අර්ථයෙන්වත් ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට වුවමනාවක් නැත. එක්සත් ජාතික පක්ෂයට ඒ ගැන අදහසක්වත් නැත. ජවිපෙත් , ජනඅරගල කණ්ඩායමත් සහයෝගයෙන් ඉන්නේ, මතවාදී වශයෙන් ආණ්ඩුවේම පිළිකන්නේය.

ජනඅරගල ලේකම්වරයා කියන පරිදි අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ගැන තොරතුරු නොලැබීම, අවතැන්වූවන් හා නැවත පදිංචිකළවුන්ට පහසුකම් නොදීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවීම, අතුරුදන් කිරීම් තවමත් සිදුවීම, දෙමළ ජනතාවගේ සංස්කෘතික දේශපාලන අයිතීන් කප්පාදු කිරීම අද දිනයේ දෙමළ ජනතාව මුහුණ දෙන බිහිසුණු යථාර්ථයේ එක් එක් මුහුණුවර බව ඇත්ත ය. එහෙත්, ඒවා ගැන (තමන් හැර) කිසිවකු කතාකරන්නේ නැතැ’යිද, ඒ වෙනුවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිසංස්කරණ ගැන කතාකරන්නේයැ’යිද කරන චෝදනාව වුවමනාවෙන්ම ඇත්ත මගහැරීමකි. දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි ගැන ජනඅරගල කණ්ඩායමත්, ඔවුන්ගේ සහායක අපි ශ‍්‍රී ලාංකිකයෝ සංවිධානයත් කරන කියන දේ ගරුකටයුතු මැදිහත්වීමක් බවට සැකයක් නැත. එය මේ මොහොතේ අත්‍යවශ්‍ය මෙන්ම අභියෝගාත්මක දායකත්වයකි. එහෙත් සියල්ල කරන්නේ අප පමණක්යැ’යි දක්වන අත්තුක්කංසනය හා පරවම්භනය වූ කලී කල් ඉකුත්වූ හා හාස්‍ය ජනක එකකි. අඩු ගණනේ, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමරන්තිරන් මන්ත‍්‍රීවරයා වාර දෙකකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ උතුරු නැගෙනහිර යථාර්ථය දැන්වෙන අතිශය දීර්ඝ හා විස්තරාත්මක තත්ත්වය වාර්තා දෙක (එවා මුළුමනින්ම රාවයේ පළවිය) ගැන දන්නවුනට ජනඅරගල මතය හාස්‍යය දනවයි. අවාසනාවකට ලංකාවේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයවත් ඒ වාර්තා ගැන විවාදයක් ඉල්ලා සිටියේ නැත. පාර්ලිමේන්තුව තුළදීවත් ඉන් පිටතදීවත් ඒ ගැන කතා කළේ නැත. අඩුගණනේ ජන අරගල කණ්ඩායමේ අජිත් කුමාර මන්ත‍්‍රීවරයාවත් ඒ ගැන ඉල්ලීමක් කරනු අසන්නට නොලැබිණි. ඊට අමතරව, ජනඅරගල කණ්ඩායමත් රාජපක්ෂ ආණ්ඩුවේ ජනඝාතක යුද්ධය මතවාදීව සුජාත කරන කාලයේ, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටි හා දැනටත් නොවෙනස්ව ඒ ස්ථාවරයෙහි ම සිටින විවිධ ක්‍ෂේත‍්‍රවල වැඩකරන සුළුතරයක් මේ රටේ සිටින බව දේශපාලනික වශයෙන් අමතක නොකළ යුත්තේය.

ඉතින්, ඇත්තටම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන්නේ නම්, පටන්ගන්නට  ඕනෑ තරම් තැන් තිබේ. 13වැනි සංශෝධනය නිසි ලෙස ක‍්‍රියාත්මක කළත්, රට කැඩෙන්නේ නැත. වෙනම රාජ්‍යයක් බිහිවන්නේ නැත. ඒ ගැන මවා පා තිබෙන සියලූම අවතාර රාජපක්ෂ ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ වුවමනාවට කළ දේය. 13වැනි සංශෝධනය පරෙස්සමෙන් කියවූවිට එවැනි තත්ත්වයක් ඇති නොවන බව පැහැදිලිව පෙනෙයි. ජනඅරගලයද ඇරඹිය යුත්තේ, සැබෑවීම කවදා දැ‘යි නොදන්නා සිහිනයක මිනිසුන් අතරමං කිරීමෙන් නොව, පවතින යථාර්ථයෙනි. ඒ සඳහා 13වැනි සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටීම වුවත් සෑහෙයි.

කේ.ඩබ්ලිව්. ජනරංජන
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

සබැදි ලිපි
- එජාපයේ ස්ථාවරය කුමක්ද - කේ.ඩබ්ලිව්. ජනරංජන
- 13 ප්ලස් යළිත් - කේ.ඩබ්ලිව් ජනරංජන
- පාතාලය නැසීමේ පාතාල චින්තනය - කේ. ඩබ්ලිව්. ජනරංජන
- වගකියන්නේ කවුද? - කේ. ඩබ්ලිව්. ජනරංජන

Posted by Ravaya on 6:58 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අලූත් බෝතලයේ පරණ වතුර - කේ.ඩබ්ලිව්. ජනරංජන"

Leave a reply