යකා බැඳගෙන වැඩගැනීම හෙවත් ආර්ථිකයට හමුදාව යෙදවීම - තිසරණී ගුණසේකර

හමුදාව හැමදේටම යෙදවීම ඒකාධිපතියන්වීමට සිටින අය රක්ෂණය වීම සඳහා යොදන උපායක් (ක‍්‍රිස්ටීන් කැරිල් 24.01.2012)
සමහර තැන්වල තාප්ප බැඳෙන්නේ නැත. සමහර තාප්ප කැඩෙන්නේත් නැත.

ශ‍්‍රී ලංකාවේ කැරෙන තදබල වරදක් නම් අනවශ්‍ය තැන්වල තාප්ප බැඳීම හා තිබිය යුතු තාප්ප කඩා දැමීමයි. අපගේ පාසල් පද්ධතිය ශ‍්‍රී ලාංකිකයන් බිහිකිරීම අසමත්ව ඇත. බොහෝ පාසල්වල වාර්ගික හෝ ආගමික ස්වරූපයක් ඇත. ඒවායේ අපගේ ආදිකාලීන අනන්‍යතාවන්ගේ අංග ගැබ් වී ඇත. එමෙන්ම බොහෝ දරුවන්ට ඔවුන්ගේ මුල් විය ගෙවීමට වී ඇත්තේ වාර්ගික හා ආගමික වෙනස් වූවන් සමඟ මුසු නොවීය. ඉන් ඇතිවන නොදන්නාකම් හා අගතිගාමි අදහස් වැඩිහිටි වියටද රැුගෙන යනු ලැබේ.

එස්.ඩබ්ලිව්.ආර්.ඞී.. බණ්ඩාරනායක බලයට ඇති කෑදරකම නිසා රාජ්‍යය බහුතර ජාතියේ බූදලයක් බවට පත් කළේය. ඔහුගේ වැන්දඹුව රාජ්‍ය හා බහුතරයේ ආගම එකක් බවට පත් කළේය. 56දී සිංහල පමණක් පනතේ භයානක බව පෙන්වා දුන් තැනැත්තාම 1972 අනාගමික නොවන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමෙන් පෙන්නුම් කළේ එක් කලක ප‍්‍රතිපත්තිගරුකව සිටි ලාංකික වාමාංශය පිරිහී ගිය ප‍්‍රමාණයයි. භාෂාමය පක්ෂපාතීත්වය  ඉවත් කරගැනීමට යුද්ධයක් හා ඉන්දියානු ආක‍්‍රමණ තර්ජනයක් කිරීමට සිදුවිය. රාජ්‍යය හා ආගම අතර බැඳීම නම් ඊටත් වඩා තදබල ව්‍යසනයක් ගෙන එනු ඇත.

පරම්පරාව බලයේ තබාගැනීමට වලිකන රාජපක්ෂලා ප‍්‍රජාතන්ත‍්‍ර වාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය තවත් සීමා මායිමක් බිඳමින් සිටිති. ඒ සන්නද්ධ හමුදාවන් සිවිල් අවකාශ කරා ගෙනවුත් ලාංකික ජීවිතයේ හැම අංශයක්ම මිලිටරිකරණයට යටත් කිරීමය.

සමාජයේ හැම අඩියක්ම යකඩ සපත්තුවට යටවෙමින් තිබේ. යුද්ධයකදී මුලින්ම හානි සිදුවන්නේ මානව හිමිකම් හා නීතියේ පාලනයටය. ස්ථාවර සාමයක් සඳහා ඒවා නැවත ඇති කිරීම අත්‍යවශ්‍යමය.

තුවක්කුවේ බලයට හුරුවී නීතිය අතට ගෙන කටයුතු කළ හමුදාවට සාමකාමී කාලයේ වාතාවරණය හුරු කිරීමට සහායක්දීම අවශ්‍ය වේ. එමෙන්ම පශ්චාත් යුද ආතති වැනි මානසික ව්‍යාකූලතාවලින් මිදීමට ඔවුන්ට උපකාර කළ මනාය. ඉරාක හා ඇෆ්ඝනිස්ථාන යුද්ධවලට යොදා ගත් එක්සත් ජනපද හමුදා භටයන්ට සිදුවූ මානසික ආබාධ ගැන හැදෑරීමක් ?න්ඞ් කෝපරේෂන් විසින් කර ඇත.

‘මේ මානසික තත්ත්වයන් ශරීරික තුවාල මෙන් ඇසට පෙනෙන්නේ නැත. මේ මානසික තුවාල බොහොමයක් හඳුනා නොගෙන තිබුණත්, ඒවා ඔවුන්ගේ චර්යාවන් සිතුවිලි හා මානසික මට්ටම්වලට බලපායි.’ (යුද්ධයේ අදෘශ්‍යමාන තුවාල) මේවාට විද්‍යාත්මක අයුරින් සහන සැලසීම සෞඛ්‍ය සම්පන්න ක‍්‍රියාකාරී හමුදාවක් ඇතිකර ගැනීමට අවශ්‍ය බව වාර්තාව සඳහන් කර සිටී.

යුද්ධයෙන් පසුව අතිවිශාල හමුදාවක් පවත්වා ගැනීම විශාල ආර්ථික බරක් වනවාට අමතරව සමාජ, දේශපාලනික අවදානමක්ද වේ. මූල්‍යමය ප‍්‍රතිලාභ, විශ‍්‍රාම වැටුප් සහ රැකියා පුහුණුවක් සමඟ ස්වෙච්ඡා විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමයක් ඇති කිරීම යෝග්‍යවේ. බොහොමයක් තරුණයන් හමුදාවට බැඳුණේ දුප්පත්කම හා විරැකියාව නිසා බැවින් හොඳ ප‍්‍රතිලාභ සහිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ලබාදුනහොත් බොහෝ දෙනෙකු එය ලබාගනු ඇත. යුද්ධය නිසා ඇති වූ අදෘශ්‍යමාන තුවාලවලට ප‍්‍රතිකාර කිරීමත් මහහැරී ඇති තවත් අවශ්‍යතාවක් වේ.

ස්ත‍්‍රී ¥ෂණ, ජ්‍යෙෂ්ඨයන්ට, සගයන්ට හා පවුලේ අයට පහරදීම් වැනි හිංසාකාරී ක‍්‍රියාවලට හමුදා භටයන් සම්බන්ධවීම මේ අදෘශ්‍යමාන තුවාල ඇති කරන භයානක තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීමකි. මානසිකව ප‍්‍රතිශෝධන නොලැබූ හමුදා භටයයෝ සමාජය හා ගැටුම් ඇති කරගනිති. විශාල වශයෙන් සිංහල බෞද්ධයන් ලෙස ඒකවාර්ගික හා ආගමික වන හමුදාව වාර්ගික හා ආගමික ලෙස බහුවාදී වූ සමාජයේ ගැටුම් ඇතිකර ගැනීම් විශේෂයෙන් ඇතිවෙමින් පවතින තත්ත්වයකි.

චිකිලීක්ස් කේබලයන්ට අනුව බැසිල් හා ගෝඨාභය එතරම්ම සුහඳව නොසිටි නමුත් බැසිල් තමන්ගේ කටයුතු කරගැනීමට ගෝඨාභයගෙන් අවශ්‍ය දේ ලබාගනී. (කලම්බු ටෙලිග‍්‍රාෆ් 7.1.2012)

රාජපක්ෂලාට වෙන වෙනම හා තරගකාරී බලව්‍යාපෘති ඇත. හමුදාවේ කාර්යභාරය සිවිල් කටයුතු දක්වාද විහිදවීමෙන් ගෝඨාභය රාජපක්ෂ අනෙකුත් බලකාමී ඥාතීන් තමා අබිබවා යෑම වළකා ගැනීමට තැත්ත කරයි. ඒ අතර මිලිටරිකරණය ව්‍යාප්ත කිරීම සමස්ත රාජපක්ෂ ව්‍යාපෘති සඳහාම වැදගත් වේ. ඡන්දදායකයන් ගැන හෝ ශ‍්‍රීලනිපය ගැන විශ්වාස තැබිය නොහැකි බව රාජපක්ෂලා දනිති. තමන්ගේ වර්තමාන ජනප‍්‍රියත්වය හීනවී ගිය පසුවද තමන් බලයේ රැඳී සිටීමට හැකිවන ආයතනයක් තිබිය යුත්තේය. ඒ සඳහා පාලක පවුල සහයෝගය හා අවසාන ආරක්ෂකයා ලෙස සිටීම බලාපොරොත්තුවන්නේ හමුදාවෙනි. ඒ සඳහා අනෙකුත් ඒකාධිපතීන් කරන්නාක් මෙන් හමුදාවට තමන්ගේම ආර්ථික හා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීමට අවසරදී තිබේ. කුමන පිරිවැයක් යටතේ හෝ හමුදාවෙන් සංවර්ධනය හා ඉදිකිරීම් සඳහා වෙනම සමාගමක් පිහිටුවීම මේ අරමුණු වෙනුවෙනි. මින් රජයේ අරමුදල් ඉතිරි වන බව පැවසුවත් සාමකාමී කාලයකට අනවශ්‍ය පරිදි අතිවිශාල හමුදාවක් නඩත්තු කිරීමට වන වියදම ගැන සලකන්නේ නැත.

යටතල පහසුකම් ව්‍යාපෘති සඳහා හමුදාව යොදාගැනීම නිසා රජයේ වැඩකටයුතුවලින් ජනතාවට ලැබිය යුතු රැකියා අවස්ථා හා ආදයම් ඉපදවීම් නොලැබී යයි. උතුරේ ජනයා වැඩිදෙනකු රැකියා නොමැතිව සිටියදී ඉදිකිරීමේ ව්‍යාපෘතිවලට හමුදාව යෙදවීමෙන් අසරණ ජනතාවගේ රැකියා ලැබීමේ අයිතියට තදබල ලෙස පහර වදී. මින් ප‍්‍රාදේශික ජනයා තුළ ඇතිවන අසහනය හා විකර්ෂණය සාමය හා ස්ථාවරභාවයට හානිදායක වනු ඇත.

මිලිටරිකරණය වු සමාජයක් විවේචනශීලී සිතුවිලි හෝ විකර්ෂණයන්ට තැනක් දෙන්නේ නැත. තරුණයකු ලෙස චිලි හමුදාවට බැඳුනු වික්ටර් හාරා මෙසේ පවසා ඇත. යෞවනයකු ලෙස හමුදාවට බැඳුණුවිට  නිලධාරීන්ගේ සපත්තු ඔප දැමීම ඔවුන්ගේ ගේ, දොර පිරිසිදු කිරීම වරප‍්‍රසාදයක් කොට සිතුවෙමි. එහි අදහස මා ඉතා කීකරු විනයගරුක සෙබළෙකුවීමයැ’යි අදහස් කළෙමි. ඒත් වැඩිහිටි වියට පත් මට අද හිතෙන්නේ ඉන් හමුදා සෙබළුන් පදම් කිරීමත් නිලධාරීන්ගේ ඉහළ මට්ටම පිළිගැන්වීමත් සිදුවන බවය. (කවුන්ටර්පන්ච් 28.08.2008)

මෙබඳු හැඩගැසීම් හා කීකරුවීම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොගැළපෙන අතර ඒකාධිපතීන්ට අත්‍යවශ්‍ය දෙයකි. ශ‍්‍රී ලංකාවට ඇත්තේ ස්වේච්ඡා හමුදාවක් බැවින් රාජපක්ෂලා විශ්වවිද්‍යාල ප‍්‍රවේශීන්ටද හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුව ලබාදෙමින් ලංකා සමාජය තුළ පූර්ණ ඒකාධිපති ආකල්ප සකස් කිරීමට කටයුතු කරති.

මානුෂික මෙහෙයුම් මිථ්‍යාව සාධාරණීකරණය කරන්නේ යුද ජයග‍්‍රහණය සඳහා කැරෙන සියලූ කටයුතු සාධාරණ බැවිනි. ඇත්තේ විශිෂ්ට හමුදාවක් බැවින් වැරදි කි‍්‍රයාවීමට ඉඩක් නැති කතාවද මේ මිථ්‍යාවේම කොටසකි. ආර්ථිකය හා පරිපාලනය සාධාරණී කරණය කිරීමට පූර්ණ කාර්යක්ෂමතාව, වංචා නොකිරීමේ නිරපේක්ෂ තත්ත්වය හා අසීමිත හැකියාවක් දක්වා මේ මිථ්‍යා මතය වර්ධනය කැරේ.

මින් හැඟවෙන අනික් කාරණය සිවිල් නිලධාරීන් අකාර්යක්ෂම හා ¥ෂිත බවය. ඔවුහු හමුදා නිලධාරීන් මෙන් නොවටිති. නිල ඇඳුම්ලාගත් පුද්ගලයා ඉහළින් සැලකීම හමුදා පාලනයකට සුදුසු මානසිකත්වයක් ගොඩනැගීමකි. පන්සලක බිත්ති සෑදීමට බෞද්ධ භික්ෂුවක් විසින් යකෙකු ගෙන්නා ගැනීමක් පිළිබඳව ජනකතාවක් ඇත. ඒ වැඩය නිම කළ යකා භික්ෂුවගෙන් තවත් වැඩ ඉල්ලා භික්ෂුව පසුපස එලවා ඇත. ‘යකා බැඳගත්තා වගේ’ යන සිංහල ප‍්‍රස්ථා පිරුළ ඇති වූයේ මේ ඇසුරෙනි.

හමුදාව සිවිල් වැඩවලට යොදාගැනීම හා ඔවුන්ගේ වුවමනා ඉටුකර ගැනීමට ඉඩදීම භයානක දෙයකි. තමාගේද කාර්යභාරය පිළිබඳවන හමුදාවේ අදහස වෙනස් වුවහොත් එය ස්වෛරී ධන හිමි පන්තියක් බවට පත්වනු ඇත. එවිට කලක් තමන්ගේ හාම්පුතුන් සිටි අයටත් එරෙහිව තම වුවමනාකම් වෙනුවෙන් ඔවුන් කටයුතු කිරීම වළක්වන්නේ කවුරුන්ද?

පරිවර්තනය - හේමන්ත රණවීර
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

සබැදි ලිපි
- ජනතා අයතීන්ට පහරදීම උතුරටත් දකුණටත් තර්ජනයක්
- සිංහල උත්තමවාදය ජයග‍්‍රාහීව ආපසු පැමිණ ඇත
- හොඳ සිහියට එන්නට කාලය පැමිණ තිබේ

Posted by Ravaya on 6:43 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "යකා බැඳගෙන වැඩගැනීම හෙවත් ආර්ථිකයට හමුදාව යෙදවීම - තිසරණී ගුණසේකර"

Leave a reply