ටයිසන් ප්ලස් - විමලනාත් වීරරත්න

ලෝක හෙවිවේට් බොක්සිං සූරාය අරලියගහ මන්දිරයට එනවිට ජනාධිපතිතුමා හිටියේ ගෘහ අභ්‍යන්තරයේ සාකච්ඡාවකය. ඉවැන්ඩර් හොලීෆීල්ඞ් හදිසියේ විසිට් එකකට එනවා යැයි කී බවක් ජනාධිපතිතුමාට නිච්චි නැතුව තිබුණි. ජනාධිපතිතුමා ටික්ක ප‍්‍රමාදවන බව රිසෙප්ෂන් එකෙන් දැනගත් මෑන් තම හෙවි වේට් එක ඉස්සරහ පුටුවක පත බාවා දිනපතා පත්තර ටික පෙරළන්න ගත්තේය. මිනිහා, තර්ටින් ප්ලස්, බන්ධනාගාර කේස් එකේ පසු විපරම, කැලණි කප්පම්, එල්.එල්.ආරි.සී. වාර්තාව, යූ.එන්.පී, ජේ.වී.පී. ජනඅරගල, ටී.එන්.ඒ ආදී මෙකී නොකී සේරම එක හුස්මට කියෙව්වේය. පාසල් වෑන් රථ ධාවනයේ සිට පිං ළිඳේ නාන්න යාම දක්වාම දේවල්වල මේ රටේ ඇති ප‍්‍රශ්න කන්දරාව දුටු හොලිෆීල්ඞ් ඊළඟ නිමේෂයේ හිත හිතා සිටියේ මේ වගේ රටක් පාලනය කරන්න මාරම වැඞ්ඩෙක් නැතිව බැහැ කියාය. ඔහොම ඉන්න අතරේ චච් චච්  හඬකින් වෙල්කම් මිස්ටර් හොලිෆීල්ඞ් හව් ආ යූ කියනු ඇසී වට පිට බැලූ බොක්සිං සූරයාට දැක්නට ලැබුණේ ජනාධිපති මන්දිරයේ ගිරවා ඒ කිට්ටුව පාතක සිට තමන්ට කතා කරන අන්දමය. ෆයින්, තැන්ක් යූ කී සූරයාට ගිරවා කීවේ ප‍්‍රසිඩන්ට්, මීඩියා ඔස්තාද්ලා කට්ටියක් එක්ක හැලපේනියා ඔතෑනියා කකා ඩිස්කස් කරනවා කියාය. කනවා කී දේ ගැනයි, ඔස්තාද් කතාවයි හරියටම නොතේරුණු බොක්සිං සූරයාට ගිරවා ඊළඟ මොහොත් හැලප කියන වචනය කියා දුන්නේය. හැලප කතා මාධ්‍ය ප‍්‍රධනීන් එක්ක ජනාධිපතිතුමා සාකච්ඡුාවක් කරන බව තේරුම්ගත් හොලිෆීල්ඞ් ඊළඟට ‘තර්ටීන් ප්ලස් නෝ’ කියා ගිරවාගේ මුහුණ දෙස හොඳින් බැලූවේය. දැට්ස් රයිට් යු ආ කරෙක්ට් කී ගිරවාගෙන් සුරයා ඊළඟට ඇසුවේ තර්ටීන් ප්ලස් ඉල්ලනේ එඩිටර්සලාද කියාය. පුහ් ගා ඊට පල් හිනාවක් දැමූ ගිරවා පීකුදුද උන් ජනාධිපතිතුමාට කියන්නේ ඒක දෙන්න එපා කියලයි කියා කීවේය. ටී.එන්.ඒ. එක පාර්ලිමන්ට් සිලෙක්ට් කමිටි එක වර්ජනය කරනවලූ නේද කියා ඊළඟට ගිරවා ගෙන් ඇසූ බොක්සිං සූරයාගෙන් ගිරවා ටිකක් ටෆ් ඉරියව්වක් මවාගෙන ඇසුවේ තමුං කොහොමද ඔයවගේ අභ්‍යන්තර කාරණා ගැන දන්නේ කියාය. ඒකට පිළිතුරක් නොදුන් බොක්සිං සූරයා යළි ගිරවාගෙන් ප‍්‍රශ්න කළේ පොලිස් ඇන්ඞ් ලෑන්ඞ් පවර්ස් නැති තර්ටීන් ප්ලස් එක කෙප්පයක් කියලත් ඒ ගොල්ලො කියනවලූ නේද කියාය. ගිරවාට තද වී කීවේ තමුං අභ්‍යන්තර කාරණා ගැන හොයනවා වැඩියි.

මඤ්ඤාක්කා රාත්තල ගන්න ආවානම් ඒක අරං දිරාමාර් වෙනවා කියාය. ලෝකය පුරා කුකුල් කේන්තිකාර බොක්සර්ලා එක්ක හැප්පී අත්දැකීම් අති හොලිෆීල්ඞ් ගිරවාට මල පැන ඇති බව වටහාගෙන කතාව වෙන  පැත්තකට හරවන්න හිතාගෙන ඇසුවේ එඩිටර්සලා හැම මාසෙකම ඔය විධියට ඇවිත් ජනාධිපතිතුමාට රට පාලනය කරන්න උගන්නනවාද කියාය. මිඩියා ෆ‍්‍රීඩම් එක ගැන හෙන පොයියක් ගහන්න ඉඩ ලැබුණු බව වටහාගත් ගිරවා කීවේ මේ යක්කු ඔහොම හැලප කකා ඉඳලා ගියාට පත්තරවලින් ජනාධිපතිතුමාට අම්බානට විවේචනයකරනවා කියාය. සමහර කර්තෘලා මෙතෙක් රට පාලනය කරපු සේරම එවුන්ට හොඳ කියලා මෙතුමාට විතරක් පලූ යන්න නෙලනවා කී ගිරවා ඒ වැඬේ කැතයිනෙ මචෝ කියා බොක්සිං සූරයාට පට්ට දුක් ගැනවිල්ලක් කීවේය. ඩෝන්ට් වොරි කී හොලිෆීල්ඞ් ගිරවා ගැන හොඳටම දුක සිතී හරි ඉතිං මගෙන් මොනවා හරි කෙරෙන්න තියනවානම් කියපං පුළුවන් දෙයක් නම් උඹ වෙනුවෙන් නොකර ඉන්නේ නැහැ මචං කියා කීවේය. ගිරවා ඊළඟට අඬ අඬා කීවේ පුළුවන්නම් එහෙම ලියන මෑන්ට හොක්ක තැලෙන්න හොඳ බොක්සිං පාරක් දීපං මචෝ කියාය. බොක්සිං සූරයා කීවේ වෙරි සොරි මචං මං ඒ වගේ කේසස්වලට නම් අත දාන් නැහැ කියාය. අන්න ඒකනෙ කියන්නෙ උඹලත් ඉතිං උඹලගෙ රටේ ජනාධිපති හරි මොකෙක් හරි කිව්වා නම් උඩදාගෙන කරයි. යකෝ මෙහෙත් ඉන්නෙම ඔය ජාතියෙ එවුන් තමා කියූ ගිරවා හොලීෆීල්ඞ්ව දෙකේ කොලේට දැම්මේය.

මේ කර්තෘලත් අර කළු ජනවාරිය කියන එකට සම්බන්ධ අයද කියා ඇසූ හොලිෆීල්ඞ්ට ගිරවා කීවේ මේ ගොල්ලො නිකං පදම වැරදිච්ච කළු දොදොල් වගේ කියාය. කළු ජනවාරි කර්තෘලා සහ කළු දොදොල් කර්තෘලා යනුවෙන් ප‍්‍රභේද දෙකක් මෙහිදී මුණගැසුණු බව බොක්සිං සූරයා තම සංචාරක සටහන් පොතේ ලියා ගන්නා හැටි ගිරවා කූඩුවේ ඉඳන් ඉස්සී බලන විට දැක්කේය. පොත වසා දැමූ හොලිෆීල්ඞ් ඇසුවේ ඇත්තටම, ඔය කර්තෘලාට  ඕන කුදයක් ගහගන්න කියලා වෙනම රාජ්‍යයක් දුන්නොත් මොකද වෙන්නේ කියාය. කර්තෘලට නං ඉතිං දීලනෙ තියෙන්නෙ, හතරවැනි ආණ්ඩුව උන්ගෙනෙ කී ගිරවා හැබැයි ඉතිං සතුරු රජෙක් උන්ගෙ ආණ්ඩුව යටත් කරගෙන ඉන්නෙ පේනවනෙ කියා බොක්සිං සූරයාට කීවේය. හොලිෆීල්ඞ් ඊළඟට කීවේ පොලිස් පවර්ස් ගැන සෑහෙන්න ඩිබෙට්ස් පත්තරවල යනවා. ඒක ප්‍රොවින්සියල් කවුන්සිල්වලට දුන්නොත් වෙන ප‍්‍රශ්නය මොකක්ද කියලා මට නම් හිතාගන්න බැහැ කියාය. ගිරවා කීවේ උඹට හිතාගන්න බැරිවුණාට  ඕක දුන්නොත් තමන්ට බෙන්තර ගෙඟන් එහාට යන්න බැරිවෙනවා කියා ප‍්‍රසිඩන්ට් ඒ ගැන පැහැදිලි කරලා තියනවා කියාය. බෙන්තර ගඟ තියෙන්නේ කොහෙද කියා ඇසූ හොලිෆීල්ඞ්ට ගිරවා කීවේ ඒක තියෙන්නේ එතුමාගේ ගමට යන පාරේ කියාය. හොරේ අහුවුණා කී හොලිෆීල්ඞ් ඊළඟට ඇසුවේ එහෙනං පොලිස් පවර්ස් නොදෙන්න හේතුව පෙර වැරදිවලට දැන් වුණත් චාර්ජ් කරන්න ඉඩ තියන නිසාද දන්නෑ කියාය. රෙද්ද තමයි චාර්ජ් කරන්න තියෙන්නෙ කියා නැට්ටටම තදවී කී ගිරවා ජනාධිපතිතුමාගෙන් එහෙම ඔය වගේ අන්ජබජල් ප‍්‍රශ්න අහන්න එපා කේන්ති ගියොත් එහෙම බීපු රංකිරි කටින් එන්න දෙයි කියා හොලිෆීල්ඞ්ව අම්බානට බය කළේය. එතුමාත් බොක්සර් කෙනෙක්ද කියා ඇසූ සූරයාට ගිරවා කීවේ නැහැ. කළු පටි මාස්ටර් කෙනෙක් කියාය. කෝ ඉතිං කළු පටියක් නෙවෙයිනෙ එතුමාට තිබෙන්නේ කී හොලිෆීල්ඞ්ට ගිරවා කීවේ කළු පිටිය හංගගෙන රතු පටිය කරේ දාගෙන ඉන්නේ සතුරා මුලා කරන්න කියාය. එතුමා අපේ මයික් ටයිසන් වගේ සතුරාට දරුණු විධියට පහර දෙනවද කියා ඇසූ බොක්සිං සූරයාට ගිරවා කීවේ අපෝ නැහැ කවුරු හරි නොමග ගියොත් කන අතගාලා ඌව නියම ට‍්‍රැක් එකට ගන්න බලනවා කියාය. ඊළඟට බොක්සිං සුරයා ඇසුවේ මෙහේ අය විහිළුවටවත් බොක්සිං ගහන්නේ නැද්ද කියාය. ගිරවා කීවේ සමහර එවුන්ගේ බඩ පනුවෝ නම් මදි නොකියන්න උන්ට බොක්සිං ගහනවා කියාය.

බොක්සිං සූරයා සහ ගිරවා ඔය වගේ දේවල් ටික්ක කතා කර කර ඉන්න අතරේ ඩිස්කෂන් එක නිමා කළ ජනාධිපතිතුමා බොක්සිං සූරයා හමුවෙන්න ආවේය. උණුසුම් අන්දමින් සූරයා පිළිගත් ජනාධිපතිතුමා කිසි කතාවක් බහක් නැතුවම හොලිෆීල්ඞ්ගේ කන අතගෑවේය. ජනාධිපතිතුමා කන අත ගාන විට හොලිෆීල්ඞ් හිනාවෙවී කීවේ මං නොමඟ ගියේ නැහැ සර් ටයිසන්කාරයා තමයි නොමග ගිහින් මගේ කන කඩාගෙන කෑවේ කියාය. ජනාධිපතිතුමා ඇසුවේ ඇත්තටම ටයිසන් ඔයාගෙ කන කෑවේ ආදරේට වෙන්න බැරිද කියාය. ඔව් මිනිහා එක සැරයක් ආදරේට බියුටි ක්වීන් කෙනෙකුත් රේප් කළා කියාය. ජනාධිපතිතුමා නොනත්වාම හොලිෆීල්ඞ්ගේ කන අත ගාන ගමන් ඇසුවේ නෑ ඉතිං මිනිහා හිටපු පැනල් එක වෙච්චි, මිනිසා සිලෙක්ට් කරපු බියුටි ක්වීන් වෙච්චි, ඉතිං රේප් එකට මෑන්ට ලීගලි හැකියාවක් ලැබුණා වෙන්නත් බැරි නැහැ කියාය. එහෙම කොහොමද වෙන්නෙ කියා ඇසූ හොලිෆීල්ඞ්ට ජනාධිපතිතුමා කීවේ ඔය  ඕනෙ තරම් එහෙම වෙන්නෙ කියාය. යුද්ධයේ අවසානය, කේ.පී. ගාව හිටි දෙයියන්ගේ මල්ලී, කොටි වළලා තිබුණු දෙයියන්ගේ මල්ලී, උතුරු නැගෙනහිර ඉඩම් බලතල එය රැුයින් අත්පත් කර ගැනීම, කළු ජනවාරි ආදී තමන් එන්ට පෙර කළ අධ්‍යයනයන් සිතට නැගුණු හොලිෆීල්ඞ්ට හෙවිවේට්කම වතුරේ යන මට්ටමේ බයක් දැනුණේය. ඒ වෙලාවේදී අරලියගහ මන්දිරයේ ලයිට් ගියේය. ඒ සමඟම මාර සීතලක් දැනුනේය. හෙතෙම කන් දෙක අත් දෙකෙන් වසාගත් අතර ටයිසන් කන කාපු වෙලේ තරම් ලොකු වේදනාවකින් පෙරළුනේය. ජනාධිපතිතුමා ටිකක් ඈතින් සිට කීවේ මේ දවස්වල පවර් කට් එකේ කෙළවරක් නැහැ කියාය. ඒ සමඟම ලයිට් ආවේය. ජනාධිපතිතුමා පේන්නට සිටියේ නැත. කූඩුවේ සිටි ගගිරවා ඇසුවේ මොකද කන්දෙකත් වහගෙන බයෙන් වගේ වෙව්ලන්නේ මොකුත් අවුල්ද කියාය.

හොලිෆීල්ඞ් කීවේ ටයිසන් කෑවේ කන විතරයි කියාය.

විමලනාත් වීරරත්න
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

සබැදි ලිපි
- හංසි එනකං - විමලනාත් වීරරත්න
- මරු ඡන්ද ප‍්‍රතිඵලේ ඕයි
- පාතාලය නැසීමේ පාතාල චින්තනය

Posted by Ravaya on 7:07 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ටයිසන් ප්ලස් - විමලනාත් වීරරත්න"

Leave a reply