ක‍්‍රීඩා ශක්ති වැඩසටහන කාගේද?

මේ දිනවලට ‘ලොව දිනවන ක‍්‍රීඩා ශක්ති’ නමින් නව වැඩසටහනක් ගැන කතාබස් වන අතර එය ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කි‍්‍රයාත්මක කරන නව වැඩසටහනක් ලෙස හඳුන්වා දී තිබේ.
මෙම වැඩසටහන ආරම්භ කරන ලද්දේ 2002-2003 වසරවල ක‍්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාය. ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මිල්ටන් අමරසිංහ හා නියෝජ්‍ය ක‍්‍රීඩා අධ්‍යක්ෂ ඩර්වින් පෙරේරා යන මහතුන් මෙම වැඩසටහන පිටුපස සිටි මහ මොළකරුවෝ වූහ. මෙම වැඩසටහන ආරම්භ කිරීමට හේතු වූයේ සුසන්තිකා, දර්ශා, සුගත් ආදීන් ක‍්‍රීඩා පිටියෙන් සමුගෙන සිටීමත් එම ස්ථාන ගැනීමට දෙවන පෙළ පරම්පරාවක් බිහි වී නොතිබීමත් හේතුවෙනි. සමූහ ක‍්‍රීඩාවලද මෙම තත්ත්වය දක්නට ලැබුණි. මේවන විට අදාළ ජාතික සංගම් උනන්දුවක් දැක්වූයේ වාර්ෂික තරග පැවැත්වීමට හා රට සවාරි යෑමටය. ඒ නිසා මෙම දැවැන්ත ප‍්‍රශ්නය කරට ගෙන ක‍්‍රියාත්මකවීමට ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සිදුවිය. මෙම නව වැඩසටහන පිළිබඳව සමස්ත ක‍්‍රීඩා පරපුරත්, පළාත් සභා හා අධ්‍යාපන අංශත් මාධ්‍ය හරහා දැනුවත් කරන ලදී. මලල ක‍්‍රීඩා, වොලිබෝල්, නෙට්බෝල්, කබඩි, පාපන්දු යන ක‍්‍රීඩා, 5 සඳහා පළාත්බද දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ඔවුන් සති අන්තයේ කොළඹට කැඳවා පෝෂ්‍යදායක ආහාරපාන ලබාදී පුහුණුවක් ලබාදෙන ලදී. පෝෂණ දීමනාව වශයෙන් මසකට රුපියල් 1000ක් ඔවුන්ගේ බැංකු පොත්වලට දමන ලදී. පුහුණුකරුවකුට රුපියල් 3000ක් ඔවුන්ගේ බැංකු පොත්වලට දමන ලදී. මෙම වැඩපිළිවෙල සාර්ථක ලෙස ක‍්‍රියාවේ යෙදවෙන්නට වූ පසු කනිෂ්ඨ ජාතික සංචිතවලට ජාතික සංගම් හිමිකම් කීම නිසා එම සංචිත ඔවුන්ට පවරා දෙන ලදී.

2004-2006 වසරවල ජීවන් කුමාරතුංග මහතා ක‍්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් සිටි අවධියේදී මහින්ද චින්තන වැඩපිළිවෙලට සාර්ථක ක‍්‍රීඩා වැඩසටහන් ඇතුළත් කරන ලෙස ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දෙන ලදී. මේ සම්බන්ධව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡුාවලට ක‍්‍රීඩා අමාත්‍ය ජීවන් කුමාරතුංග, ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මිල්ටන් අමරසිංහ, නියෝජ්‍ය ක‍්‍රීඩා අධ්‍යක්ෂ ඩර්වින් පෙරේරා වැඩසටහන් නිලධාරි පද්මා බැද්දේවෙල හා නන්දිවීර යන අයවලූන් සහභාගි වී ඇත. මෙම සාකච්ඡුාවලින් අනතුරුව ‘ක‍්‍රීඩාශක්ති’ වැඩසටහන මහින්ද චින්තන වැඩපිළිවෙලට ඇතුළත් ව්‍යාපෘතියක් වශයෙන් සකස් වී මුදල් අනුමත වී ක‍්‍රියාත්මක විය. මෙම සාකච්ඡාවලට සහභාගි නොවී මේ සම්බන්ධ කිසිම කාර්යයකට දායක්වයක් නොදුන් යෝගානන්ද විජේසුන්දර මහතා දැන් මෙම වැඩපිළිවෙල වෙනස් නමකින් ක‍්‍රියාත්මක කරන්නට මුල පුරා ඇත.

මෙම වැඩසටහන යටතේ එක් එක් දිස්ත‍්‍රික්කයකට ක‍්‍රීඩා 15කට ආසන්න ප‍්‍රමාණයකට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 15 බැගින් සංචිත ගතවිය. පළාත් සභාවල හා අධ්‍යාපන අමාත්‍යාංශයේ දක්ෂ පුහුණුකරුවන් ලවා ඔවුන් පුහුණුව කරවන ලදී. ඔවුන්ට ට‍්‍රැක් සූට් කට්ටලයක් හා හැඳුනුම්පත් ලබාදෙන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා නියෝග කර තිබුණි.

ක‍්‍රීඩා අමාත්‍යවරුන් තුන්දෙනකු යටතේ ක‍්‍රියාත්මක වී ආ මෙම වැඩසටහන ‘ලොව දිනවන ක‍්‍රීඩා ශක්ති’ නමින් වෙනස් කර වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්මාණයක් හැටියට එළිදැක්වීම සදාචාරාත්මක නොවේ. 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල හම්බන්තොටට ගැනීමට උපදෙස් දී අවසානයේ රාජ්‍ය නායකයාත්, රටත්, රාජ්‍යයත් අපකීර්තියට ලක් කළ කේවට්ටයන් තවමත් මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පුරා හොල්මන් කරන බව මෙම සිදුවීම්වලින් පෙනේ. ‘ලොව දිනවන ක‍්‍රීඩා ශක්ති’ යන්න විකෘති අර්ථයකි. එමගින් අදාළ වැඩසහටන් ක‍්‍රියාත්මක කළයුත්තේ ලොව සංවිධාන වන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හෝ ජාත්‍යන්තර ක‍්‍රීඩා සම්මේලනයන්ය. මෙය හැඳින්විය යුතු නිවැරදි නම ‘රට දිනවන ක‍්‍රීඩා ශක්ති’ වේ. ඒ බව තේරුම් ගැනීමට තරම් මොල කළඳක් නැති අයවලූන් ක‍්‍රීඩා අමාත්‍යවරයා වටා සිටින තාක් ක‍්‍රීඩාව වළපල්ලට යෑම නොවැළැක්විය හැකිය.

ඒ වික‍්‍රමසූරිය - රාවය

Posted by Ravaya on 4:09 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ක‍්‍රීඩා ශක්ති වැඩසටහන කාගේද?"

Leave a reply