උපාධි පිරිනැමීමත් ආරක්ෂක අමාත්‍යංශයට

ප්‍රථම උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා වන සියලු උපාධි පාඨමාලා සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව රජයේ විශ්වවිද්‍යාලයක ලබා දෙන සියලු උපාධි මේ ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් ලබා ගත හැකිය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ වන මේ වැඩපිළිවෙළට ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ලැබී ඇත.

මේ නව වැඩපිළිිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව මේ සඳහා අයදුම් කළ හැකිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව උප කුලපති මේජර් ජනරාල් එම්. පී. පීරිස් මහතා පවසයි.

මීට ප්‍රථම මේ විශ්වවිද්‍යාලයේ උපාධි ලබා දුන්නේ අපේක්‍ෂකයන් ත්‍රිවිධ හමුදාවට අනුයුක්ත කිරීමෙන් පසුවය.

මේ වසරේ සිට මුදල් ගෙවා උපාධි ලබා ගැනීමේ අවස්ථාව මේ අනුව උදාවී ඇත. මේ විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා සිසුන්ට විසිපන්දහසක දීමනාවක් ද ලබා දෙනු ඇත.

ඉංජිනේරු, වෛද්‍ය, නීති, ගුවන් ඉංජිනේරු, ගුවන් නියමු, මුහුදු ඉංජිනේරු, කළමනාකරණ, මානව සම්පත්, තොරතුරු තාක්‍ෂණය ඇතුළු උපාධි පාඨමාලා රැසක් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙවර උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ අයටද ඉහත පාඨමාලාවන්ට ඉල්ලුම් කළ හැකිය.

මේ සඳහා සිසුවියන් ද බඳවා ගනු ඇත.

සිසුන් බඳවා ගන්නේ වයස් සීමාවකට යටත්වය. පාඨමාලා ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. පශ්චාත් උපාධිය සඳහා වයස් සීමාවක් නැත.

පෞද්ගලික සිසුන්ට කැමති නම් මුදල් ගෙවා හමුදා පුහුණුව ලබා ගත හැකිය.

වෛද්‍ය උපාධිය මුදලට ලබාදීම සිදු නොකෙරේ.

හමුදා නිලධාරීන්ගේ දරුවන් බඳවා ගැනීමේ දී සුදුසුකම් මත අවම මුදලක් අය කෙරේ. වසර පුරා දේශන පැවත්වේ. නවක වදය, උද්ඝෝෂණ ආදිය මෙම විශ්වවිද්‍යාලයේ නැත. දරුවන්ට අවශ්‍ය ආරක්‍ෂාව ලබා දෙනු ඇත.

අයැදුම්කරුවන්ට මෙම උපාධි පාඨමාලා පිළිබඳ වැඩි විස්තර www.rdu.ac.lk මගින් ලබාගත හැකිය.

මේ තොරතුරු අනාවරණය වූයේ සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට උප කුලපති මේජර් ජනරාල් එම්. පී. පීරිස්, නියෝජ්‍ය උප කුලපති (ආරක්‍ෂක) බ්‍රිගේඩියර් ඒ. එල්. සී. එම්. ගුණසේකර, නියෝජ්‍ය උප කුලපති (විද්‍යා පීඨ) මහාචාර්ය කොග්ගල, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් හපුආරච්චි, අධ්‍යක්‍ෂක කර්නල් එච්. කේ. වඩුනාඹපිටිය, පීඨාධිපති ලුුතිනන් කර්නල් එච්. එම්. හේරත්, පීඨාධිපති (වෛද්‍ය) මහාචාර්ය ටී. ආර්. වීරසූරිය, පීඨාධිපති ඉංජිනේරු මහාචාර්ය එව්. වයි. ආර්. පෙරේරා, පීඨාධිපති (නීති) ආචාර්ය එස්. ඩබ්ලිව්. පී. මහානාමහේවා සහ ලේඛකාධිකාරී එම්. පී. යූ. කාරියවසම් යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

Posted by Ravaya on 5:00 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "උපාධි පිරිනැමීමත් ආරක්ෂක අමාත්‍යංශයට"

Leave a reply