අපේ ගායක පරපුර දිවුල්ගනේ, අමරසිරි පීරිස්ගෙන් අවසන් - ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ

තලන්මැහර ගමේ වෙල් එළියට සඳරැස් වැටිලා දිලිසෙනවා. ඒ සඳ එළියේ පැල් රකින්න ගිය පබිලිස් මාමා, සේදිරිස් මාමාට ඇහෙන්න කිව්වේ පැල් කවියක්.
පැල් කවිය කියලා ඉවර වුණා විතරයි සේදිරිස් මාමාත් පැල් කවියෙන්ම පිළිතුරක් බැන්ඳා. ඒ නම් පැල් කවිය කියන්නේ පොඩි අප්පුහාමි මාමා. ඈතින් ඇසෙන පැල් කවි හඬට කන් යොමා ගෙන සිටිය අජන්තාට දන්නේම නැතිව නින්ද ගියා.

‘පුතේ නැඟිටින්නේ නැද්ද?’

අම්මාගේ හඬින් දනිපනි ගාලා නැඟිට්ට අජන්තාගේ ඇහැ ගැටුණේ පැල් රැකලා නිවෙස් බලා යන ගොවියන්ව.

‘ඒ අතීතය හරිම සුන්දරයි’

සාලයේ හාන්සි පුටුවේ ඉඳගෙන හිටිය රටක් දන්න ආචාර්ය අජන්තා රණසිංහ කියන ගේය පද රචකයා අපි එන පරක්කුවට ගමට ගිහින්.

‘ඒ දවස්වල අප්පච්චිගේ සුළඟිල්ලේ එල්ලිලා සඳ කිඳුරු නාඩගම බලන්න ගිය හැටි අද වගේම මට මතකයි. සඳ කිඳුරු නාඩගම බලන්න ගමේ හැමෝම වගේ එතනට ආවා. කොහොම වුණත් මේ විදියට ගෙවුණු සුන්දර ජීවිතේ වෙනස් මගකට යොමු වෙන්නේ මගේ කොළඹ ආගමනයත් සමඟයි. මගේ අම්මාගේ මල්ලි අශෝක පීරිස් කියන්නේ ලේඛකයෙක්. ඔහුගේ පොත්පත් දැක්ක මට ඇති වෙන්නේ පුදුමයක්. මම ඒවා අතපත ගාන්න වගේම පස්සේ කාලයේ කියවන්නත් පුරුදු වුණා. මේ කියැවීමට ඇබ්බැහි වීම මාව දැනමුත්තෙක් කළා. අද මම මෙතන ඉන්නේ ඒ අතීතයේදී කළ කී දේ නිසයි.

කුරුම්බැට්ටි මැෂිමේ
මගේ කුරුම්බැට්ටි මැෂිමේ
ගවුම් පොඩියක් මහලා දෙන්නද
කමිස පොඩියක් මහලා දෙන්නද

අජන්තා මේ ළමා ගීතය රචනා කළ කොළය රැඳුණේ කරුණාරත්න අබේසේකරයන්ගේ අතේ. සරස්වතී මණ්ඩපය භාරව සිටිය කරු අයියගේ සතුට ඉහවහා ගියා.

අජන්තාගේ ගී පද ගීතයකට පෙරළුණා. අජන්තාගේ නම ගුවන් විදුලියේ බොහෝ දෙනෙකුට මතක තියෙන නමක් වුණේ එහෙමයි. ‘සරස්වතී මණ්ඩපයේ සිටිය මට අපූරු අවස්ථාවක් උදා වුණා. ඒ එච්. ආර්. ජෝතිපාල කියන ජනප්‍රිය ගායකයාට ගීතයක් ලියන්න.

ඔහු මට මුණ ගැසුණේ ගුවන් විදුලියේ ඇතුළේ තිබෙන කොරිඩෝවෙදි. ඔයා නේද අජන්තා රණසිංහ කියන්නේ කියලා ඔහු අහන කොට මට දැනුණේ පුදුමයක්. ඔයාට පුළුවන්ද මගේ අලුත ඉපදුණ දුවට නැළවිලි ගීතයක් ලියන්න. ලෝකේ කිසිම කෙනෙක් ලියපු නැති ලස්සන නැළවිලි ගීතයක් මට ඕන. ඔහු එහෙම කියන කොට ඔහුගේ හදවතේ දුවට ලියැවිලා තිබුණු ආදරය කොයි තරම්ද කියලා මට දැනුණා. ඒ අනුවයි මා,

‘මට වාසනාවන් – මගේ ජීවිතේ වන්
පොඩි දූ කුමාරි’
කියන ගීතය ලියන්නේ.’

සාර්ථක ගීත රචකයෙක් පිටු පස්සේ බොහෝ දේ තිබුණා. මෙහෙම කියන කොටම අජන්තාගේ හිතට ආවේ කේ. ජී. කරුණාතිලක ගුරුතුමා. අජන්තා වගේම කරුණාරත්න අමරසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර කියන ඔහුගේ යහළුවන් කිහිප දෙනාත් සිංහල සාහිත්‍ය පාඩමට දැක්වූයේ අපූරු ළෙන්ගතුකමක්.

දවසක් කේ. ජී. කරුණාතිලක ගුරුතුමා පන්තියට ආවා.

‘ලියනවා බලන්න මා නිසි වයසට පත් වුණාට පස්සේ කරන රස්සාව මොකක්ද කියලා.’

ඔහු කිව්වේ හැමෝටම. අජන්තා, තිලක්, කරු කියන ශිෂ්‍යයෝ ලියලා තිබුණු උත්තරවලට කේ. ජී. කරුණාතිලක සර්ගේ කට කොණට නැ¼ගුණේ හිනාවක්.

‘ලේක්හවුස් ආයතනයේ උප කර්තෘ කෙනෙක් වෙනවා.’

ඔහු නැවත නැවතත් ඒකම කිව්වා.

‘මමත් ආවේ එහේ ඉඳලා තමයි.’

ඔහු එක පාරටම කිව්වේ යාළුවෝ තුන්දෙනාම පුදුමයට පත් කරමින්.

‘එදා එහෙම හිතුව ගමන නැවතුණේ ලේක්හවුස් ආයතනයෙන්. තිලක් වගේම මමත් ලේක්හවුස් එකට ආවා. ඒ කාලේ අපි හිතාගෙන හිටියේ පත්තරේදි ලිපියක් ලියලා යටින් නම ලියන එක විතරයි කරන්න තියෙන්නේ කියලා. නමුත් ඊට වඩා දේවල් පත්තර කලාවේ තිබෙන බව ඉගෙන ගත්තේ ලේක්හවුස් ආයතනයෙන්. අන්තිමට අවුරුදු තිස් හතරක්ම රැකියාව කළේ ලේක්හවුස් කියන පත්තර මහ ගෙදරයි.’

කතාබහ අතර සාලයට එබිකම් කළේ සරෝජනී. අජන්තාගේ ආදරණීය සොඳුර. ඇගේ අතේ තිබුණේ ආදරය මුසු කරලා හැදුව තේ් එකක්. හැමදාම සවස් කාලේ ගෙදරට වෙලා ඉන්න අජන්තාගේ හිත හඳුනන ඈ පංකාදු තේ කෝප්පයක් අරගෙන ඔහු අසලට එන්නේ හිනාවෙවී. ‘කවදත් වෙනස් නොවන සරෝජගේ හිනාව මගේ ජීවිතයට ආලෝකයක්. මෙතෙක් මා පැමිණි ඒ ගමනේ ආලෝකය වගේම අත්වැලත්, ශක්තියත් වෙන්නට සරෝට හැකි වුණා. ඒක මම බය නැතිව කියනවා. ඒ තරම්ම සොඳුරු අතීතයක් තමයි අපට තියෙන්නේ.’

සරෝජනී කියන්නේ කෝකිල දේවී වීරතුංග කියන අපේ ගායන ශිල්පිනියගේ දෙවැනි දෝණියන්දෑ. සරෝජනීගේත්, අජන්තාගේත් මේ ආදරේ කෙළවර වෙන්නේ විවාහයෙන්. ඒ ආදරේ සුන්දර විඳිමින් අජන්තා ලියන ගීත ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. හෙළයේ ගී රැජන වුණු ලතා වල්පොල අජන්තාගේ ගීතයක් ගයන්නේ මේ අතරතුරදියි. පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි’

කියන ගීතයෙන් අජන්තා චිත්‍රපට පසුබිම් ගීතයට අත් පොත් තිබ්බා. ඒ වාසනා චිත්‍රපටයෙන්.

‘එතැනින් ඇරැඹුණු මගේ ගීත නිර්මාණකරණය අද වන විට නව පරපුරේ සුරේන්ද්‍ර දක්වා විහිදිලා. ගීත ගණන් කරන්න බැරි ගණනක් මම ලියලා තියෙනවා. ඒ වගේම ඒවා ජනතාව අතර ජනප්‍රිය වුණා. ඒක මට සතුටක්. එදා ඉඳලා හොඳ ඇසුරක් තිබුණු කරුණාරත්න අමරසිංහ, සුනන්ද මහේන්ද්‍ර, සනත් නන්දසිරි, දයාරත්න රණතුංග වගේ ඒ මිතුරු ඇසුර අදටත් මට ආශිර්වාදයක්. අපි තවමත් මුණ ගැහෙනවා. කතාබහ කරනවා.’

‘විකසිත පෙම් පොකුරු පියුම්’, ‘රන් කෙන්දෙන් බැඳ’ ‘පුංචි දවස්වල’, ‘රෑ පැල් රකින’ වගේ අපේ හදවතේ සැමදා රැදෙන්නට තරම් සුන්දර ගීත රාශියක් ලියූ අජන්තා පත්තර මහ ගෙදරින් ගුවන් විදුලියේ මහ ගෙදරට ගිහිල්ලා. ඒ ගුවන් විදුලි සංස්ථාවේ සිංහල අංශයට සම්බන්ධ උපදේශකවරයෙක් වශයෙන්.

‘මා ගුවන් විදුලියට ගියාට පස්සේ වැඩසටහන් තුනක් හඳුන්වා දුන්නා. ඒ ‘මනසා නන්දන ආනන්ද ගී’, පැරැණි චිත්‍රපට ගීත වගේම මේ සින්දුවත් අහන්න කියන වැඩසටහන්.

ළඟදීම මගේ පොත් කිහිපයක් එළි දැක්වීමටත් මා අදහස් කරනවා. කොහොම වුණත් ගායක ගායිකාවන් ගැනත් යමක් කිව යුතුයි. අද යුගය හා හෙට යුගය ගැන අවධානය යොමු කරන කොට මට පෙනෙන්නේ අපගේ ගායක පරපුර දිවුල්ගනේගෙන් වගේම අමරසිරි පීරිස්ගෙන් අවසන් වන බවයි. අග්ගිස්සේ හෝ මට පෙනෙන ගායකයෙක් ඉන්නේ ජානක වික්‍රමසිංහ පමණයි. ගායිකාවන් ගැන කියද්දී උරේෂා රවිහාරිගෙන් පස්සේ මේ රටේ ගායිකාවක් බිහි වී ඇති බවක් මට නම් පෙනෙන්නේ නෑ.’

‘සීයේ . . . සීයේ . . .’

‘ඉතින් මම කතන්දර අහන වෙලාව ළං වෙලා කියලා මතක් කර දෙන්නට වගේ’ චූටි දුවත් අජන්තාගේ ගෙල බදා ගත්තා. ඒ අජන්තාගෙන් කතන්දර අහන්න සූදානමින්. මිනිබිරීගේ හුරතල් මැද්දේ අජන්තා ආයෙත් ඉපදිලා. ඒ ආදරය සුන්දරව විඳිමින් සීයාටත්, මිනිබිරීටත් ඉඩ දීලා අප අජන්තාගෙත්, සරෝජනීගේත් කැදැල්ලෙන් සමු ගත්තා.

තිලානි ශානිකා විතානාච්චි
සේයාරූ - ප්‍රසාද් සමරතුංග (විශේෂ ස්තූතිය සරසවිය)

Posted by Ravaya on 5:53 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අපේ ගායක පරපුර දිවුල්ගනේ, අමරසිරි පීරිස්ගෙන් අවසන් - ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ"

Leave a reply