මහ බැංකුවේ යහ පාලනයක් නෑ. අච්චාරු පනත එපා - හර්ෂ

මහ බැංකුව අර්ථ සාධක අරමුදල පරිපාලනය කරන්නේ යහ පාලනයෙන් තොරව බවත් ලබන 18 වනදාට පාර්ලිමේන්තුවට ගෙන ඒමට යන අර්ථ සාධක අරමුදල් සංශෝධන පනත ගැන පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය හෙයින් එදිනට එය ගෙන ඒමෙන් වලකින ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා ඉල්ලීමක් කරයි.
ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ සේවක අර්ථ සාධක අරමුදල් සංශෝධන පනත ගැන සමාජයේ විවිධ පාර්ශව සම්බන්ධ කර ගනිමින් පුළුල් සාකච්ඡාවක් සිදුකිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.

සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල හා කම්කරු අමාත්‍යංශය වෙනුවෙන් “මෙහෙවර පියස“ නමින් ගොඩනැගිල්ලක් තැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීමේ අරමුණක්ද මෙම සංශෝධන පනතේ තිබෙන බව පැවසුවත් සේවක අර්ථ සාධක අරමුදල දැනටමත් ගොඩනැගිලි තැනීමට අතගසා ඇතැයි වාර්තාවන බව හෙතෙම මෙහිදී කීය.

එනම්, කොළඹ පිහිටි සෙලෙස්ටියල් රෙසිඩන්සීස් නැමති ගොඩනැගිල්ල තැනීමට සේවක අර්ථ සාධක අරමුදලද සම්බන්ධ වන බවට වාර්තා පළවී තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ එවැනි ගොඩනැගිලි තැනීමට හවුල්වීමට අරමුදලට හැකිනම් “මෙහෙවර පියස“ තැනීමට අළුතෙන් පනත සංශෝධනය කරන්නේ ඇයිද කියායි.

මේ නිසා, මෙම පනත ගෙනඒම හරහා ඊටත් එහා ගිය සැලසුමක් ඇතැයි හෙතෙම සඳහන් කළ අතර සේවක අර්ථ සාධක අරමුදලේ ඇති ජනතාවගේ මුදල් භාවිතා කර කම්කරු අමාත්‍යංශයට ගොඩනැගිලි තැනීම අනුමත කළ නොහැකි බව පැවසීය.

නීති ප්‍රකාරව සේවක අර්ථ සාධක අරමුදල මාර්තු අවසානයේදී ඊට ඉහත වසරේ අරමුදලේ වාර්ෂික වාර්තාව එළි දැක්විය යුතු නමුත් 2010 වසරේ වාර්ෂික වාර්තාව හෝ තවමත් එළිදක්වා නැතැයි චෝදනා කළේය.

මේ නිසා, මහ බැංකුව මෙම අරමුදල පරිපාලනය කරන්නේ යහ පාලනයෙන් තොරව යැයි චෝදනා කළ ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ මහ බැංකු අධිපතිවරයා වාර්ෂික වාර්තා වෙනුවෙන් ත්‍යාග ලබාදෙන උත්සව වලට පවා සහභාගී වෙමින් සිටියදී අර්ථ සාධක අරමුදලේ වාර්තාව නිසි කලට එළි නොදැක්වීම යහ පාලනයට පටහැනි ක්‍රියාවක් බවයි.

ඔහු සේවක අර්ථ සාධක අරමුදල් සංශෝධන පනත හැඳින්වූයේ අච්චාරු පනත යන නමිනි.

Posted by Ravaya on 3:02 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මහ බැංකුවේ යහ පාලනයක් නෑ. අච්චාරු පනත එපා - හර්ෂ"

Leave a reply