වගකියන්නේ කවුද? - කේ. ඩබ්ලිව්. ජනරංජන

පසුගිය දෙසැම්බර් 29වැනිදා උසස් පෙළ විභාග වියවුලේ එක් පියරවක් අවසන් වූයේ අධ්‍යාපනය භාර ආණ්ඩුවේ සියලූ ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් මාධ්‍ය හා මහජනයා හමුවේ විකටයන් බවට පත්කරවමිනි. එදින උසස් පෙළ ප‍්‍රතිඵල ගැන පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී අධ්‍යාපන ඇමතිවරයාත්, උසස් අධ්‍යාපන ඇමතිවරයාත්, අධීක්ෂක මන්ත‍්‍රීවරයාත්, විභාග කොමසාරිස්වරයාත්, අමාත්‍යාංශ ලේකම්වරුන් රඟදැක්වූවෝ එකම විකට නාට්‍යයකි. එහිදී අසන ලද ප‍්‍රශ්නත්, දෙන ලද පිළිතුරුත් ඒ කිසිවකුට බැ?රුම් නොවීය. සතුටු සිනා සහ සාද කතාවලින් අනූන වූ එම හමුව බැ?රුම් වූයේ නම් ඒ මාධ්‍යවලට එරෙහිව ඒ ඇතැමුන් නැගූ අවලාදවලින් පමණකි.


අවාසනාවකට මේ හමුවේදී හාස්‍යයට සහ විනෝදයට ප‍්‍රස්තුතය වූයේ මේ රටේ සිසුන් දෙලක්ෂ අනූහතර දහස් අටසිය හැට එකක් පෙනී සිටි, අධ්‍යාපන බලධාරීන් විසින්ම ලෝකයේ පැවැත්වෙන අමාරුම විභාගයක් ලෙස හඳුන්වාදෙනු ලැබ තිබුණු අපොස උසස් පෙළ විභාග ප‍්‍රතිඵලයයි. ඒ විභාගය ගැන ඇමතිවරුන්ගේ, හිටපු විභාග කොමාසාරිස්ගේ කතාබතා දැන් සියල්ලෝම දනිති. විභාග කොමසාරිස්වරයා වසර දෙකක සේවා දීර්ඝයක්ද ලැබ කළ රාජකාරියෙන් පසු ගෙදර ගොස්ය. ඇමතිවරු යෙහෙන් සිටිති. මේ සිදුවීම හේතුවෙන් විෂය භාර ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතුයැ’යි  කියන යෝජනා තැනින් තැන ඇසෙද්දී, බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා, තමන් ඉල්ලා අස්නොවියුත්තෙ ඇයිදැ’යි යන්නට තර්ක නිමවමින් සිටියි. ඔහු කියන්නේ විභාග දෙපාර්තමේන්තුවටත්, එහි විභාග ප‍්‍රතිඵල ක‍්‍රියාවලියටත් විෂය භාර ඇමතිවරයාටත් මැදිහත්වීමක් කරන්නට බැරි තරම් එය නීතියෙන්ම ස්වාධින කොට ඇති නිසා තමන් සහභාගි නොවූ දෙයකට ඉල්ලා අස්විය යුතු නැති බවය. ඔහු තවදුරටත කියන්නේ, එසේ ඇමතිවරයාට මැදිහත්විය හැකිව තිබිණි නම්, තමන්ට අවශ්‍ය විභාගාපේක්ෂකයකුගේ ප‍්‍රතිඵල හොඳ අතටත්, විරුද්ධකාරයකුගේ ප‍්‍රතිඵල නරක අතටත් වෙනස් කිරීමට ලැබීමේ භායානක තත්ත්වයක් උද්ගතවීමට තිබූ මුත් දැන් එවැනි හැකියාවක් නොලැබෙන බවය. එක් අතකින් ඇමතිවරයා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කියන්නේ අර්ධ සත්‍යයකි. ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව ඔය කියන තරම් ස්වාධීන හා විශ්වාස කටයුතු නොවේ. රටේ අධ්‍යාපන ඇමතිවරුන්ගේ, බලවතුන්ගේ හා ඔවුන්ගේ සමීපතමයන්ගේ දරුවන් වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ විභාග ප‍්‍රතිඵල වෙනස් කළ අවස්ථා වාර්තා වී ඇත්තේ එකක් දෙක්ක නොවේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අණින්, ඔහුට නීති විද්‍යාල ප‍්‍රවේශ  විභාගයට පෙනීසිටීමට අවම සුදුසුකම් ලැබෙන සේ හිටපු මන්ත‍්‍රී චන්දන කත‍්‍රිආරාච්චි මහතාගේ අපොස උසස් පෙළ විභාග ප‍්‍රතිඵලය වෙනස් කරදුන්නේ මේ අනුර එදිරිසිංහ විභාග කොමසාරිස්වරයාමය. රටේ දේපාලනඥයන්ගේ මෙන්ම බලවතුන්ගේ දරුවන්ට හා සමීපතමයන්ට විදේශ අධ්‍යාපන හා රැුකියා අවස්ථාවන් වෙනුවෙන්, ඒ අවශ්‍යතාවන්ට ගැලපෙන සේ මෙරට විභාගවල ප‍්‍රතිඵල වෙනස්කොට විභාග සහතික ලබාදීමේ ජාවාරමක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්ද මේ විභාග දෙපාර්තමේන්තුව නම් දරා තිබේ. දෙපාර්තමේන්තුවේ සමහර විභාග හා උසස් නිලධරීන් කියන අන්දමට, ඒ ව්‍යාජ සහතිකවල යොදා ඇති තමන්ගේ අත්සන් තමන්ගේමදැ’යි සැකයක් සිතෙන තරම් නියම අත්සනට සමානය. හිටපු විභාග කොමසාරිස්වරයා අංක එකේ රාජ්‍ය අන්තේවාසිකයෙකි. එක් තරග විභාගයකදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මහා විභාග ප‍්‍රතිඵලයක් ගැන තමාම මාධ්‍ය ඉදිරියට පැමිණ උදාන වාක්‍ය කීවේ මේ විභාග කොමසාරිස්වරයාය. එකී නොකි බොහෝ රාජ්‍ය සේවාවන් වෙනුවෙන් ඔහුට වසර දෙකක සේවා දීර්ඝයක්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ලැබිණි. මේ වසර අවසානයේ විශ‍්‍රාම ලබන්නට පෙර, නැවත වරක් සේවා දීර්ඝයක් සඳහා ඔහු ඉල්ලීම් කර තිබූ බවද, තවදුරටත් ඔහු සේවායේ තබාගැනීමට නොහැකි වන තරමටම කුණු වීපල්වී ඇති නිසාම එම සේවා දීර්ඝයකට කැබිනට් මණ්ඩලයෙන් අනුමතියක් නොලැබුණු බවද මතක තබාගැනීම වටියි.

එහෙත්, මේකවර තත්ත්වයන් යටතේ වුවද විභාග දෙපාර්තමේන්තුව මේ රටේ සාමාන්‍ය විභාගාපේක්ෂකයන්ගේ කිසියම් ගෞරවයක්, විශ්වාසයක් රඳවාගෙන සිටියේය. ඒ එහි සිටින ඇතැම් කොන්ද පණ ඇති නිලධාරීන්ගේ භූමිකාවත්, කාර්යක්ෂමතාවත් නිසා ය. දැන්. පහත්ම අඩියට ඇදවැටී ඇත්තේ ඒ ගෞරවය . විශ්වසයය.

අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා අස්වීම ගැන කියන කතාව තාක්ෂණික වශයෙන් නම් ඇත්තය. නීතිය අනුව විභාග ප‍්‍රතිඵල ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමතිවරයාට මැදිහත්විය නොහැකිය. එනිසා ඔහු පෞද්ගලික වරදක් කර නැත. එහෙත් වරදක් වෙනුවෙන් වගකීම භාරගෙන ඉල්ලා අස්වීමට ඇත්තේ හුදු තාක්ෂණික සම්බන්ධයක් නොවේ. එය සදාචාරමය සම්බන්ධයකි. ඉන්දියාවේ දුම්රිය ධාවනය කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව හා දුම්රිය රියැදුරන් සිය සැලසුම්වලට අනුවය. එහෙත්, රටේ ආන්දෝලනත්මක දුම්රිය අනතුරුකින් සැලකියයුතු පිරිසකට හානි සිදුවුවහොත් ඉල්ලා අස්වන්නේ දුම්රිය විෂය භාර ඇමතිවරයාය. ඒ ඔහු දුම්රිය එන්ජිමට ගොඩවී තමා විසින්ම දුම්රිය ධාවනය කරන නිසා නොවේ. දුම්රිය ධාවනය පිළිබඳව සදාචාර වගකීමක් තමාට තිබෙන නිසාය. රටේ සිසුන් තුන්ලක්ෂයකට ආසන්න ගණනකගේ ජීවිතවලට බලපාන උසස් පෙළ ප‍්‍රතිඵල වියවුල සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඇමතිවරුන් ඉල්ලා අස්වනවාදැ’යි රටේ ඇතැමුන් ප‍්‍රශ්න කරන්නේ ඉන්දියාව වැනි රටවල උදාහරණ මතකයේ තබාගෙනය. එහෙත්, ඒ පූර්වාදර්ශ ලංකාවට අදාළ නැත. ලංකාව් දේශපාලනඥයන්ට නැත්තේම ද සදාචාරයයි. එවැනි නාමමාත‍්‍රික සදාචාරයක් හෝ තිබිණි නම්, එස්බී දිසානායක ඇමතිවරයාවත්, බන්ධුල ගුණවර්ධන ඇමතිවරයාවත්, එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයවලට තරග කොට, එම පක්ෂයේ ඡුන්දදායකයන්ගෙන් රාජපක්ෂ චින්තනයට එරෙහිව ලද ඡුන්දය හේතුවෙන් ලැබුණු මන්ත‍්‍රීකම එසේ තබාගෙන ආණ්ඩු පක්ෂයට එක්වන්නේ නැත. අලූත් අධ්‍යාපන අධීක්ෂක මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරෝ මහතා, ව්‍යක්ත වචනවලින් නම් පෙනී සිටින්නේ සදාචාරාත්මක දේශපාලනයක් වෙනුවෙනි. ගුණගරුක ශිෂ්‍ය පරපුරක් වෙනුවෙනි. එහෙත්, මේ ආණ්ඩුවේ මතයට සපුරාම විරුද්ධව පසුගිය මැතිවරණයේදී ලබාගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡුන්දයෙන් ලද මන්ත‍්‍රී ධූරය එසේම තබාගෙන රාජපක්ෂ ආණ්ඩුවේ අසුන් ගැනීමට කිසිම හිරිකිතයක්, සදාචාර අවුලක් ඔහුට නැත. ඔහු කියන සදාචාරය වෙනුවෙන් ශරීරයෙන් පෙනී සිටින්නෙ නම් පළමුව කළ යුතුව තිබුණේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුර ගෞරවාන්විතව ඔවුන්ටම නැවත දීමය. කැමති වෙනත් කෙනකු පත්කරගන්නට ඔවුන්ට ඉඩදී, විරුද්ධ පක්ෂයෙන් ලද භෞතික කිසිවක් නැතිව ප‍්‍රතිපත්ති සමඟ පමණක් ආණ්ඩුවට එකතුවීමය. එය කරන්නටවත් අවම සදාචාරයක් නැති නිර්ලජ්ජිත දේශපාලකයන්ගෙන්, මෙවැනි අවුලකදී වගකීමෙන් ගැලවීමේ අතිසූක්ෂම තර්ක ඉපදීම පුදුමයක් නොවේ.

දැන් අප ගෙවමින් සිටින්න ලංකාවේ සමස්ත සමාජයමද, එහි පහන් ටැඹ සේ තිබිය යුතු ආයතනද, පහන් ටැඹ සේ සිටියයුතු පුද්ගලයන්ද ඇස් ඉදිරිපිටම ශීඝ‍්‍රයෙන් දියවෙමින් (ඇත්ත වශයෙන්ම දියකරමින්) ගරාහැලෙමින් යන කාලයකය. දැනට, අවසාන වශයෙන් ආන්දෝලානාත්මක ලෙස සිය ගෞරවය සිඳගත්තේ විභාග දෙපාර්තමේන්තුවයි. ඉදිරියට තව තවත් ආයතන ඊට එක්වනවා ඇත්තේය. මීට පෙර ආණ්ඩු කාලවලදීද මේ දෙය ම අඩුවැඩි වශයෙන් සිදුවුණු බවද ඇත්තය. එහෙත්, ඒ ආණ්ඩු පරාජය කරමින්, ඒවායේ නායකයන් විපක්ෂයට යවමින්. ඡුන්දදාකයා අලූත් ආණ්ඩු පත්කරන්නේ පරණ පුරුදු ම ඉදිරියට ගෙනයන්නට නොවේ. එය නොසලකා, රටේ ජරාජීර්ණ දේශපාලන සම්ප‍්‍රදායයෙන් පැවත එන නරකම පිළිවෙත් තවදුරටත් ඉදිරියට ගෙනයෑම සාධරණීකරණයට කිසිම අයිතියක් ආණ්ඩුවකට නැත.

විධායක ජනාධිපති ධුරය මේ රටේ සියලූ පාලන ආයතන ඍජුව හෝ වක‍්‍රව හෝ වසාගෙන සිටින මහා බලවේගයයි. මුළු ආණ්ඩුවම, රාජ්‍ය සේවයේ සමස්ත යාන්ත‍්‍රණයම මෙහෙයැවෙන්නේ එතැනිනි. මහින්ද චින්තනයට අනුවය. 17වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින්, 18වැනි සංශෝධනය නීතිගත කිරීම හරහා රාජ්‍ය සේවයේ පාලනය පිළිබඳ අවසාන බලයද, 1978 දී තිබුණාක් මෙන් දැන් තිබෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයේ දැත් මතය. ඒ අර්ථයෙන්, යුද්ධයේ සමස්ත ගෞරවය ලබාගත්තක් මෙන්. සංවර්ධනයේ සමස්ත ගෞරවය ලබාගන්නවාක් මෙන් මේ මහා ගරාහැලීමේ ද අවසාන වගකීම විධායක ජනාධිපතිවරයා විසින් නොදැරිය යුත්තේ මන්ද?

එහෙත් ඒ වෙනුවට විසුරුවා හැරෙන්නේ ඉදිරි දැක්මක් තිබෙන, යහපත්, කාර්යක්ෂම ජනාධිපතිවරයකු හා ඉදිරි දැක්මක් නැති, අයහපත්, අකාර්යක්ෂම ඇමති මණ්ඩලයක් හා රාජ්‍ය සේවයක් පිළිබඳ සාදා නිමකරන ලද ප‍්‍රවාහයකි. එය සාධාරණීකරණය සඳහා, සෑම ප‍්‍රශ්නයක්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් විසඳන්නට හැකිය යන කෝකටත් තෛල සූත‍්‍රයක්ද පවත්වාගෙන යයි. බස් වර්ජනය, එළවළු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ යොදාගැනීම වැනි මෑතකාලීන සමාජ නොසන්සුන්තාවන්ද අවසාන වශයෙන් උසස් පෙළ විභාග ප‍්‍රතිඵල වියවුලද මතුපිටින් සමථකරන ලද්දේ ඉහත සූත‍්‍රය අනුව යමිනි. විභාග ප‍්‍රතිඵල පමාවෙමින් තිබියදී, එය සුදුසු පරිදි විශ්ලේෂණය කරමින් තිබිය දී, ජනාධිපතිවරයා ඇමතිවරුන් ඇතුලූ වගකිවයුත්තන් කැඳවා වහාම ප‍්‍රතිඵල නිකුත්කරන්නටයැ’යි නියම කිරීම නිසා, පැය කිහිපයක් ඇතුළත විභාග ප‍්‍රතිඵල නිකුත්කිරීමද මේ වියවුලට එක් හේතුවක් වූ බව පැහැදිලි ඇත්තකි. එස්බී. දිසානායක ඇමතිවරයාම මාධ්‍යවලට (මහත් ආඩම්බරයෙන්) කියා තිබුණේ, ජනාධිපතිවරයා ‘අපට බැන්න නිසා’ ප‍්‍රතිඵල වහාම නිකුත් කළ බවය.

එසේම, ජනාධිපතිවරයාගේ ඉදිරි දැක්මට බාධා කරන, එය කඩාකප්පල් කරන බලවේග ආණ්ඩුව තුළම සිටිනා බවත්, ඔවුන්ගේ බලය විසින් විවිධාකාර අක‍්‍රමිකතාවන් ඇතිකරන බවත් ආණ්ඩුවේ මහත්වරුම පතුරුවමින් සිටිති. එහෙත්, ඒ බලවේග සිය විධායක ජනාධිපති ධූරයේ බලමහිමයෙන් ජයගන්නට ජනාධිපතිවරයා උත්සාහයක් හෝ දරනු අපට පෙනේන්නේ නැත. ජනවාර්ගික ප‍්‍රශ්නයේදී දෙමළ ජනතාවගේ දුක් අඳොනාද, සියලූ යුදවිරෝධී බලවේගයන්හි මතවාදද, මානව අයිතිවාසිකම් පිළිබඳ දේශීය සහ විදේශීය මූලධර්ම හා සම්මුතිද, බටහිර - පෙරදිග ඇතුළු සියලූ විදේශ බලවේගවල හා දෙමළ ඩයස්පෝරාවේ බලපෑම්ද තුට්ටුවකටවත් නොසලකා යුද්ධය නොනවත්වාම කරගෙන ගොස් ජයග‍්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, සිය  ආණ්ඩුව තුළ හා වටා සිටින මේ අ¥රදර්ශී, අකාර්යක්ෂම, අයහපත් බලවේගවල බලපෑමට නතුව සිටියැ’යි කීම එක්වරම පිළිගැනීමට තරම් සාධාරණ තර්කයක් වන්නේ නැත. අනෙක් අතට, විධායක ජනාධිපතිධුරයත්, පාර්ලිමේන්තු ධුරකාලයත් අතර කිසිම සම්බන්ධයක් ආණ්්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම නැත. කවර ආණ්ඩුවක් සමඟ හෝ ශක්තිමත්ව සිටිමින් පාලනය ගෙනයන්්නට තරම් විධායක ජනාධිපතිධුරය බලවත්තය. මුළු රාජ්‍ය සේවයම ජනාධිපතිවරයාගේ අල්ලේ නැටවෙයි. එසේ තිබියදී, සිය මහින්ද චින්තනයට හතුරුකම් කරන බලවේගයන් පිටුදැක ඉදිරියට යෑමට ජනාධිපතිවරයා පැකිලෙන්නේ ඇයි.?

කනගාටුදායක හා ප‍්‍රාථමික ඇත්ත නම්, මිනිස් යාන්ත‍්‍රණයක පහළ ස්ථරයේ ක‍්‍රියාකාරීත්වයෙන් පෙන්නුම් කරන්නේ ඉහළින් එන මෙහෙයවීමේ ස්වභාවය බවය. සිය යාන්ත‍්‍රණය මෙහෙයවීම වෙනුවෙන් නායකයා වගකිය යුතු බවය.

රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Posted by Ravaya on 7:19 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "වගකියන්නේ කවුද? - කේ. ඩබ්ලිව්. ජනරංජන"

Leave a reply