සුදුවෑන් කැලණිය ගිනිතබයි

| ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ දැනගැනීම පිණිසයි
‘පිබිදෙන කැලණිය’ නම් වූ සංවිධානයටයැ’යි කියමින් බලහත්කාරයෙන් කැලණිය ප‍්‍රදේශයේ ඇති බාර්, රෙස්ටුරන්ට් හා නවාතැන් පොළවලින් මාසිකව එකතු කරන ලද මුදල්වලට සිදුවන්නේ කුමක්ද?
කැලණිය ටයර් සංස්ථා පාරේ ඇති පෞද්ගලික ව්‍යපාරික ස්ථානවලින් මාසිකව එකතු කරන කප්පම් මුදල් යන්නේ කාගේ සාක්කුවටද?


කිරිබත්ගොඩ ඇළ ඉවුරේ අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිලි විකුණා හෝ බදු දී මුදල් ගන්නේ කවුද?
කැලණිය හිඹුටුවැල්ගොඩ නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමේ කන්ටේනර් අංගණයක් පවත්වාගෙන යමින් මුදල් ලබාගන්නේ කවුද?

වත්තල හුණුපිටියේ පිහිටි කොමර්ෂල් පොහොර සමාගමේ බඩුබෑමේ හා පැටවීමේ කොන්ත‍්‍රාත්තුවෙන් මුදල් යන්නේකාටද?

නුවර පාරේ පිහිටා ඇති විෂ්ණු දේවාලයේ වාර්ෂික මංගල්‍ය සඳහා බලහත්කාරයෙන් ව්‍යාපාරිකයන්ගෙන් ලබාගන්නා මුදල් ප‍්‍රමාණය කොපමණද?

නුවර පාරේ ගලහ හන්දියේ පිහිටි රෝයල් පාර්ක් හේටලයේ නවීකරණ සැලැස්ම සඳහා අනුමැතිය දීමට රුපියල් ලක්ෂ 75ක මුදලක් ඉල්ලා ඇත්තේ කවුද?


රටේ පොදු නීතියද, සම්ප‍්‍රදායන්ද තුට්ටුවකට මායිම් නොකරමින් කැලණිය මැතිවරණ බල ප‍්‍රදේශය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ හිතේෂිවන්තයා වන අමාත්‍ය මර්වින් සිල්වා පවත්වාගෙන ගිය කැලෑ රාජ්‍යය මේ වනවිට දෙදරන්නට පටන් ගෙන තිබේ.

මේ දෙදරීමට අදාළව මතුවටත් සිදුවිය හැකි සිදුවීම් වැලේ ආසන්නතම සිදුවීම සිදුවී තිබුණේ ජනවාරි 04 වැනිදා පෙරවරුවේය. ඒ අමාත්‍ය මර්වින් සිල්වාගේ ආධාරකරුවකු වන ‘හට් තිලක්’ නැමැත්තා කැලණිය ප‍්‍රාදේශීය සභාවේ අනුමැතියක් නොමැතිව බලහත්කාරයෙන් හෙවත් ඇමති අනුහසින් පවත්වාගෙන ගිය කිරිබත්ගොඩ සතිපොලේ පාලනය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගේ සාමූහික තීන්දුව මත ප‍්‍රාදේශීය සභාවට පවරා ගැනීමය. නැත්නම් ප‍්‍රාදේශීය සභාවේ පාලනයට අත්පත් කරගැනීමය. සතිපොළේ බිම් කුලියට අදාළ රු. 100/- බැගින් වූ රිසිට් පත් ප‍්‍රාදේශීය සභාව විසින් නිකුත් කිරීමය. මීට පෙර කිරිබත්ගොඩ සතිපොළේ වෙළෙඳාම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගෙන් එය අනවසරයෙන් පාලනය කළ ‘හට් තිලක්’ නැමැත්තා තමාට හිතූ හිතූ ගණන් අය කරමින් සිට ඇත.

සිදුවීම්වලට අදාළ ආසන්නතම සිදුවීමට පෙර සිදුවීම සිදුවී ඇත්තේ ජනවාරි 02වැනිදාය. ඊට කැළණිය මැතිවරණ බලප‍්‍රදේශයට අයත් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මෙන්ම පෑලියගොඩ නගර සභාවේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන්ද හවුල් වී ඇත. කැලණිය ප‍්‍රාදේශීය සභාව හා පෑලියගොඩ නගර සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරුන්ගේ සාමූහික අත්සනින් එදින ලිපියක් යොමුවී ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය. ‘කැළණියේ සත්‍යය හෙළිකිරීම සඳහා හමු වී සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස’ එම ලිපියේ ඉල්ලීම වී ඇත. මේ ලිපිය ලියන මොහොත වනවිටත් ඊට ආරක්ෂක ලේකම්වරයාගෙන් ප‍්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ආරක්ෂක අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත‍්‍රී දුමින්ද සිල්වා අතර පැවති සමීප සබඳතාව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ සිව්දෙනකුට මරු කැඳවමින් මුල්ලේරියාවේ සිදු වූ සිදුවීමේ දී යම් තරමකින් කරළියට පැමිණියද අමාත්‍ය මර්වින් සිල්වා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතරත් සමීප සබඳතාවක් පැවති බව බොහෝ දෙනකුට රහසක් ය. ඇත්ත වශයෙන්ම පසුගිය මහ මැතිවරණයේදී දේශපාලන අයිතිවාසිකම් නැති අමාත්‍යාංශයක ඉහළම නිලධාරියා වන (අනෙකුත් නිලධාරීන් ගැන  විනය පියවර ගත යුත්තා වන) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය සේවයට අදාළ සියලූම නීති රීති තුට්ටුවකට මායිම් නොකරමින් අධීක්ෂණ මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ මෙන්ම අමාත්‍ය මර්වින් සිල්වාගේ මැතිවරණ ප‍්‍රචාරක වේදිකාවට ගොඩවෙමින් ඔවුන් පිළිබඳව ඡුන්දදායකයන්ට චරිත සහතික ලබාදුන්නේය. ඒ අනුව දැන් අමාත්‍ය මර්වින් සිල්වා පිළිබඳව එක ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්තේ තමාගෙ තනතුරේ ඇති ගෞරවය කෙළෙසමින් ඔහුට චරිත සහතික ලබාදුන් පුද්ගලයකුටය.

ප‍්‍රශ්නය වන්නේ කැලණියේ සත්‍ය තත්ත්වයැ’යි මේ ප‍්‍රදේශීය මන්ත‍්‍රීවරුන් කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද යන්නය. ඇත්ත වශයෙන්ම කැලණිය ප‍්‍රාදේශීය සභවේ හා පෑලියගොඩ නගර සභාවේ සන්ධානයේ මන්ත‍්‍රීවරු සියල්ලෝම සුදනෝ නොවන්නෝය. අමාත්‍ය මර්වින් සිල්වා වෙනුවෙන් ඔහු සමඟ මෙන්ම ඔහු නොමැතිවද බොහෝ පාදඩ වැඩ සිදුකළ පිරිස් ඒ අතර සිටින්නෝය. පෑලියගොඩට ගෙනයන ලද මාළු වෙළෙඳපොළේ ව්‍යාපාරික යන්ගෙන් කප්පම් ගැනීම, කැලණිය විශ්වවිද්‍යාලයේ ආණ්ඩු විරෝධී ශිෂ්‍යයන්ට පහරදීම, ජනමාධ්‍ය ආයතනවලට හා ජනමාධ්‍යවේදීන්ට පහරදීම, කැලණිය ප‍්‍රදේශයේ ඇති පෞද්ගලික අංශයේ ආයතනවලින් මෙන්ම බාර්, රෙස්ටුරන්ට් හා ගෙස්ට් හවුස්වලින් කප්පම් ගැනීම, රජයේ ඉඩම්වල අනවසර ඉදිකිරීම් සිදුකිරීම හා ඒවා කුලියට බද්දට හෝ සින්නක්කරට විකිණීම එම පාදඩ ක‍්‍රියාවන්ට අදාළ දේය.

මේ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරුන් ආරක්ෂක ලේකම්වරයා හමු වී කියන්නට උත්සාහ කරන්නේ කුමක්දැ’යි තවම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කර නැතත්, දැනගන්නට ඇත්තේ ඉහත පාදඩ ක‍්‍රියා කිසිවක් තම පෞද්ගලික  ඕනෑඑපාකම් මත සිදු නොවූ බව ඔවුන් කියන්නට උත්සාහ කරන බවය. කප්පම් ලබාගත්තේ නම් ඒවා තනිව භුක්ති නොවිඳි බව කියන්නට උත්සාහ කරන බවය. එහෙයින් මේ කිසිවක් සුළුවෙන් තැකිය නොහැකිය. නීතිය අනුව වඩා බරපතළ යමක් කුමන්ත‍්‍රණය කිරීම හා ඒ සඳහා අණදීම බැවින්ය.

2012 වසර උදාවීමත් සමඟ සිදුවන සිදුවීම වන්නේ ‘ආචාර් නරුමයාගෙන් කැලණිය කරුමෙන් බේරා ගනිමු.’ පෝස්ටරය කැලණිය ප‍්‍රදේශය පුරා ඇලවීමය. ඊටත් පෙර සිදුවීම 2011 වසරේ අවසානයේය. කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරු ජනාධිපතිට ලිපියක් ලියන්නෝය. එයින් කියන්නේ තමන්ට ජීවිත තර්ජන ඇති බවත්, ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත්ය. ඊට ද තවම ප‍්‍රතිචාර ලැබී නැත. ප‍්‍රතිචාර නොලැබීමට හේතුව පැහැදිලි නැත. එහෙත් නීතියට කවුරුත් යට බවද නීතියට ඉහළින් කිසිවකුට (තමාට හැර, ඇත්ත වශයෙන්ම ඔහුට, ඔහුගේ පවුලේ අයට හා හිතේෂීන්ටද අදාළවය.) සිටිය නොහැකි බවද වහසි බස් දොඩවන ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ අමාත්‍ය මර්වින් සිල්වාට ඇති සම්බන්ධය නම් මේ රටේ මහජනයාට පැහැදිලිය.

මේවනවිටත් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ බොහෝ මන්ත‍්‍රීවරුන් මෙන්ම අමාත්‍ය මර්වින් සිල්වාගේ අතිජාත ආධාරකරුවන් සිටින්නේද සැඟවී රහසිගතවය. වර්තමාන හේතුව අමාත්‍ය මර්වින් සිල්වා නොවේය. හේතුව සුදු වෑන්ය. ඒ 2011 දෙසැම්බර් 28 වැනි බදාදා කැලණිය ප‍්‍රාදේශීය සභාවට යාබදව ඇති ඉන්ධන පිරිවුම්හලේදී කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල සුදු වෑන් රථයකින් පැමිණ පැහැර ගැනීමට උත්සාහ කිරීමය. පෙර දැනුවත්භාවය නිසා එම පැහැර ගැනීමෙන් ඔහු බේරී ඇතත්, මේ වනවිට ඔහු රට අතැර පලා ගොස් ඇතැ’යි සැලය.

ඊට පෙර සුදු වෑන් පැහැර ගැනීමට ලක්වූයේ අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ නිලධාරියකු වූ අමල් රුද්‍රිගූය. අමාත්‍යවරයාගේ කන්නලව්ව මත ඔහුට ජීවිත දානය ලැබුණද ඔහුද රට අතැර පලා ගියේය. ඔහුට ඇති ආසන්නතම චෝදනාව වූයේ අක්බාර් බ‍්‍රදර්ස් ආයතනයෙන් රුපියල් ලක්ෂ 24ක කප්පම් මුදලක් ලබාගැනීමය. ඊට විරෝධය පළකරමින් අක්බාර් බ‍්‍රදර්ස් අයාතනය කොළඹ තේ වෙන්දේසියෙන් ඉවත්වීමෙන් වෙන්දේසියද දින කිහිපයක් කඩා වැටුණේය.

පැහැර ගැනීමෙන් බේරුණු හසිත මඩවල ඇතුළු පාදඩ දේශපාලනයේ යෙදුණු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට සුදු වෑන්වලින් පරිස්සම් වන්නැ’යි අවවාද කර තිබී ඇත්තේ රට අතහැර ගිය සුදු වෑන් පැහැර ගැනීමට ලක්වූ අමල් රුද්‍රිගූය. අමල් රුද්‍රිගූගේ අවවාදය නිවැරදි බව හසිත මඩවල සිද්ධියෙන් මන්ත‍්‍රීවරුන් අවබෝධ කරගෙන ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලීමත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට කැලණියේ සිදුවූ ඇත්ත කියන්නටත් මන්ත‍්‍රීවරුන් සාමූහික උත්සාහයක් ගෙන ඇත්තේ මේ කියූ පළමු සිදුවීම් නිසාය.

එපමණකින් නොසෑහෙන බව ඔවුන් පසක් කරගෙන ඇත. අමාත්‍ය මර්වින්ට එරෙහි ව්‍යපාරයක් කැලණියේ ඇරඹෙන්නේ ඒනිසාය. පෝස්ටරයෙන්ද, කිරිබත්ගොඩ සතිපොළෙන්ද කරළියට පැමිණි එය ඉදිරියේදී කිනම් ස්වරූපයක් ගනීදැ’යි කිව නොහැකිය. නමුත් වැදගත්ම දේ ජනවාරි 03වැනිදා රාත‍්‍රියේ අමාත්‍ය මර්වින් සිල්වා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියදීත් ජනවාරි 04 වැනිදා පෙරවරුවේ කිරිබත්ගොඩ සතිපොලේ මෙහෙයුම ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරුන් විසින් සිදුකිරීමය. තමන්ගේ හෝ කැලණියේ ආරක්ෂාව ඇත්තේ අමාත්‍ය මර්වින් සිල්වා හෝ ඔහුගේ අණදීම් යටතේ නොවන බව ඔවුන් දැන් පසක් කරගෙන සිටිනවාට සැක නැත. ඇතුළතින් දෙදෙරිම පිපිරීම සිදුවන්නේ ඒ නිසාය. එය සුළුවෙන් තැකිය යුතු නැත. කැලණිය කැලෑ රාජ්‍යයේ බලහත්කාරයට අද සිදුවන දේ හෙට ශ‍්‍රී ලංකාවේ කැලෑරාජ්‍යයට එරෙහිවද සිදුවිය හැකිය. එයද ඇතුළතින් සිදුවන දෙදෙරීමක් පිපිරීමක් නිසා විය හැකිය. එහෙත් ඇත්තේ කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණය.

- ලසන්ත රුහුණගේ - රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Posted by Ravaya on 7:10 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සුදුවෑන් කැලණිය ගිනිතබයි"

Leave a reply