මානව හිමිකම් පෙරහැරේ කරඬුව LLRC වාර්තාවයි - අමාත්‍ය වාසුදේව නානායක්කාර

යුද්ධයෙන් පසුව දකුණේ අප නිදහසේ දිවි ගෙව්වත් උතුරේ ජනයාට තවදුරටත් පීඩාකාරී දිවියක් ගෙවන්න සිදුවී තිබෙන බව ඔබ පසුගියදාක ප‍්‍රකාශ කර තිබුණා. මේ තත්ත්වයට රජය වගකිව යුතු බව ඔබ සිතන්නේ නැද්ද?


එල්.ටී.ටී.ඊ එකේ ප‍්‍රධානම උත්සාහය වුණේ ලංකාව රටවල් දෙකක් බවට පත්කිරීමයි. ඒ උත්සාහය පරාජය කළ හැකි වුණා. නමුත් දැන් අපි ලංකාව රටවල් දෙකක් හැටියට පාලනය කරනවද? ප‍්‍රභාකරන් එදා කරන්න හදපු වැඬේ පරාජය කරලා ඒක අපි දැන් කරනවාද පාලනයේ ස්වභාවය අතින් කියන එකයි මම අහන්නේ. රටවල් දෙකක් ලෙස නම් අපි ලංකාව පවත්වාගෙන යන්නේ අපි කරන්නේ ලොකු වරදක්. මොකද අපිට අවශ්‍ය එක රටයි. එක නීතියක් එක පාලන ක‍්‍රමයක් තමයි අපගේ අපේක්ෂාව, හමුදාවට උතුරේ කාර්යභාරයක් නැහැ කියල මම කියන්නෙ නැහැ. නිරීක්ෂණ, සොයාබැලීම්, තොරතුරු ගවේෂණය වගේ හමුදාවට අදාළ කටයුතු කිරීමේ ගැටලූවක් නැහැ. නමුත් උතුරේ එදිනෙදා පාලනය ගැන මැදිහත්වීමට හමුදාවට බලයක් නැහැ. ඊළඟට ඔවුන්ට බලයක් නැහැ ජන ජීවිතය තුළ මැදිහත්වෙන්න. එමෙන්ම ඔවුන්ට සුදුසුකමක් නැහැ හැම ගම්මාන හයකට එකක් බැගින් හමුදා මුර පොළක් පවත්වාගෙන යන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිතය නිරීක්ෂණය කිරීම සඳහා. මොකද එහෙම එකක් නැහැ දකුණේ. යුද්ධය අවසන් වුණාට පසුව හමුදා ඒ විධියට ගැවසෙන්න වුවමනාවකුත් නැහැ. මොකද ඒක තමන්ගෙ ජීවිතවලට කරන බලපෑමක් ලෙස මිනිස්සුන්ට දැනෙනවා. එයින් කෙරෙන සංඥාව හොඳ දෙයක් නෙවෙයි.

ඇයි මෙහෙම දෙයක් වෙන්නේ?

බරපතළව මේ අත්දැකීම ලැබෙන්නෙ වන්නියෙ . ඔබ එතන ඉන්නේ කුමක් නිසාද කියලා හමුදාවෙන් අහන්න  ඕන ආරක්ෂක අවශ්‍යතා නිසා කියලා ඔවුන් කියයි. ආරක්ෂක අවශ්‍යතා කියන පොදු වචනයෙන් ඉහත කාර්යය සාධාණීකරණය කරන්න බැහැ.

හමුදාව සිය කැමැත්තෙන් ඉන්නවා නෙවෙයිනෙ. ඒක මෙහෙයවීමට ලක්වන දෙයක්. සේනාධිනායක හැටියට ජනාධිපතිවරයාගෙන් නේද අපි ඒ ප‍්‍රශ්නය විමසිය යුත්තේ.

ඒක හරි. නමුත් හමුදාව පිළිබඳ එදිනෙදා නියෝග පැනවීම එතුමා කරන්නෙ නැහැ. හමුදාපතිවරයාගෙනුයි පළමුව මේ කාරණය විමසන්න  ඕන.

මේ ගැන ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මොකක්ද කියන්නෙ.

තාම මට ඒ ගැන ඔවුන්ගෙන් විමසන්න ලැබුණේ නැහැ. මම ඒ ගැන ලිඛිතව විමසන්න හිතාගෙන ඉන්නවා. අපට අවශ්‍ය උතුරේ වාතාවරණයත් සාමාන්‍ය තත්ත්වයට පත්කරන්නයි.

යුද ජයග‍්‍රහණයෙන් පසුව රජය රට මිලිටරිකරණය කිරීමක නිරත වුණා. මේ තත්ත්වය තුළ ඇත්තටම රජයට අවශ්‍ය උතුරේ ප‍්‍රශ්නයට විසඳුමක් දීමද. නැතහොත් සිංහල බලය තවදුරටත් ස්ථාපිත කර ගැනීමද?

හිටපු හමුදාපතිවරු හා හමුදාවේ උසස් නිලධාරින් සිවිල් පාලනයේ ප‍්‍රධානීන් හැටියට පත්කර තිබෙනවා උතුරු හා නැගෙනහිර දෙපළාතේ. ඒක වැරදියි මොකද හමුදාවේ හිටපු අය ක‍්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය සිවිල් පරිපාලනය හරහා නෙවෙයි හමුදා පාලන ක‍්‍රමවේදය අනුවයි. නමුත් එහෙම පිරිසක් තමයි දැන් සිවිල් පරිපාලනයේ ප‍්‍රධානීන් ඔවුන් සහ මහජනයා අතර සම්බන්ධය මිත‍්‍රශීලි තැනකට ගන්න බැහැ. ඒ නිසා වහාම ආණ්ඩුකාධූරවලට සිවිල් නිලධාරීන් පත් කළ යුතුයි. එමෙන්ම දිසාපතිධූරවලටත් හමුදාවේ අය පත්කර තිබෙනවා. ඒකත් වැරදියි. රටක් බෙදලා තියනවා නිතරම හමුදාව හා සිවිල් සමාජය වශයෙන්. ඒ දෙකේ මිශ‍්‍රණයක් ඇතිවන විට සිවිල් සමාජය හැකිළෙනවා.

ආරක්ෂක ලේකම්වරයා කියන්නේ හමුදාව නගරයේ ගලි පවා ශුද්ධ පවිත‍්‍ර කරන නගර සභාවටත් කළ නොහැකි දේ කාර්යක්ෂමව කරන පිරිසක් බවයි.
ඔවුන් විධානයක් මත ක‍්‍රියාත්මක වන නිසා කාර්යක්ෂම බව ඇත්ත. නමුත් සිවිල් සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ එහෙම විධායක් නෙමෙයිනෙ තියෙන්නේ. කාර්යභායක් ඉටුවෙනවද යන්න සොයා බැලීමට යම් ධුරාවලියක් තිබෙනවා. ඒක ඉටු නොවනවා නම් ගතයුතු ක‍්‍රියාමාර්ගයක් තිබෙනවා. පාර්ලිමේන්තුව නීති හදනවා. අධිකරණ ඒවා ක‍්‍රියාත්මක කරනවා. පාර්ලිමේන්තු නීතියටත්, අධිකරණ ක‍්‍රියාකාරීත්වයටත් උඩින් කාටවත් වැඩ කරන්න අයිතියක් නැහැ. දැන් මේ වැඩ අධිකරණයටත් පාර්ලිමේන්තුවටත් උඩින් ඉඳීමෙන්, හමුදාව ගලි සුද්ද කරන්න කැමැත්තෙන් එනවා කියමු. හැබැයි ඔවුන් සිවිල් පාලකයෙක් යටතෙයි වැඬේට යොදවන්න  ඕනෙ. පාර්ලිමේන්තුව අධිකරණය යන ආයතන සේරටම උඩින් ගිහින් කාර්යක්ෂම භාවයක් පෙන්වන්න දෙන්න බැහැ. ඒක ව්‍යවස්ථා විරෝධියි. එනම් නීති විරෝධියි.

ඉතිං හමුදාව ඒ ක‍්‍රියාවලියට යොදා ගන්නේ ව්‍යවස්ථාව හා නීතිය දන්න අයනෙ

ඔව්. ඒක තමයි ප‍්‍රශ්නෙ. මේකෙන් රටේ නීතියත් අධිරණයේ බලයත් දෙකම අභියෝගයට ලක්වෙනවා. යුද කාලයේ හමුදා ක‍්‍රියාකාරීත්වය ප‍්‍රමුඛ වුණා විය හැකියි. නමුත් දැන් එහෙම වෙන්න බැහැ. යුද්ධයේදී එක් පාර්ශ්වයක් නීතියට පිටින් කටයුතු කරන විට අනෙක් පාර්ශ්වයටත් එතනට තල්ලූ වෙන්න සිදුවෙනවා. පාර්ලිමේන්තුවටත් ඒ වගේ වෙලාවක අයිතියක් තිබෙනවා සාමාන්‍ය නීතිය ඉක්මවූ බලයක් හමුදාවට දෙන්න. ඒක දුන්නා. දැන් ඒක ඉවරයි.

ඒ න්‍යාය තුළ එදා හදපු හමුදා බලය අද වනවිට අධිනිශ්චය වෙලා තිබෙනවා. ඒක නේද අද කතා කරන ප‍්‍රශ්නයේ ආරම්භය වෙන්නෙත්?

නමුත් ඉතිං ප‍්‍රායෝගික පැත්ත ඒකනෙ. වැරදි දෙයක් පුරුද්දට කරගෙන යන එක නීති විරෝධියි. අවසාන වශයෙන් ව්‍යවස්ථාවේ නීතියයි ප‍්‍රමුඛ. ව්‍යවස්ථාවත් නීතියත් ප‍්‍රමුඛතාවේ ලා සැලකිය නොහැකි නම් තත්ත්වය භයානක වෙනවා.

එහෙමනම් හමුදාව හසුරුවන්නට ඒ විනය පළමුව තිබිය යුතුයිනෙ.

අනිවාර්යයෙන්ම. ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් වහාම මේ ගැන කි‍්‍රයාත්මක වෙන්න  ඕන. ජනාධිපතිතුමාට තමයි බලය තිබෙන්නෙ. එතුමාට තමයි මේක කරන්න පුළුවන්.

ජනාධිපතිවරයා කියන්නේ රටේ සියලූ ජාතීන්ට සාමයෙන් ජීවත්විය හැකි පරිසරයක් සකස් වියයුතු බවයි. එය අදහසක් හැටියට හරි නමුත් ඒ සඳහා යන ගමනක් අපට නැති එක ගැන ඔබ මොකද හිතන්නෙ.

අන්‍යොන්‍ය ගෞරවය සමානත්වය හා හෘදයංගම බව තමයි ජාතින්ට අවශ්‍ය මුලික දේ. ඒ කාරණා තුන යුද්ධයට මැදි වූ කලාපය තුළ තහවුරු වෙනවා නම් ජනාධිපතිතුමාගේ අරමුණ ඉටු වෙනවා. මගේ අමාත්‍යාංශයේ කාර්යය තමයි භාෂාව සම්බන්ධයෙන් සමානත්වය ඇති කිරීම. අපේ සීමාවන් තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක අංශ විශේෂයෙන් ජනාධිපතිවරයාගේ අරමුණට අනුගත විය යුතුයි. මම සිංහල දෙමළ දෙකම පාවිච්චි කරනකොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඇවිත් තනි සිංහලෙන් බෝඞ් ගහගෙන යනවා. අපේ අමාත්‍යාංශයයි. ආරක්ෂක අමාත්‍යාංශයයි අතර එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවලීන් දෙකකුයි සිදුවන්නේ. මම මේ ගැන ජනාධිපතිතුමාටත් කිව්වා. නමුත් එතුමාටත් ඒක නිවැරදි කරන්න බැරි වුණා.

හුඟක් දේවල් නිවැරදි කරන්න එතුමාටත් බැහැ වගේ නේද?

ඒක මම දන්නෙ නැහැ. හැබැයි මං කියපු මේ බෝඞ් සිංහලෙන් විතරක් ගහන එක නතර කරන්න බැරි වුණා. මේක මේ මහා දෙයක් නෙවෙයි. ‘කුණු දැම්මොත් ඔබ පිස්සෙක්’ කියල පණුවෙකුත් ඉන්න බෝඞ් එකක්. මං කිව්වා ජනාධිපතිතුමාට ඒක දෙමළෙනුත් දැමිය යුතුයි කියලා. ඔව් ඔව් නැතුව කොහොමද කියලා අහපු එතුමා ලේකම්තුමාටත් කතා කරලා කිව්වා. ලේකම්තුමා කිව්වා බෝඞ් එකේ දෙමළෙන් දාන්න ඉඩ නැහැ කියලා. දෙමළ භාෂාවෙන් තව බෝඞ් වගයක් සවි කරමු කිව්වට වැඬේ වුණේ නැහැ. මෙච්චර වැඩ තියෙද්දී කුණු බෝඞ් එකක් ගැන ජනාධිපතිතුමාට ආයේ කියන්න මම ගියේ නැහැ. එතුමාට තියන මගේ ආදරය කරුණාව නිසාම.

යුද්ධයෙන් පසු දේශපාලන අවධිය සඳහා ව්‍යූහාත්මක වෙනස්කම් සහිත වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක ඉටු නොකර පැරණි බලය මධ්‍යගත කිරීමේ ප‍්‍රතිපත්තිය මතම ඉදිරියට යන්න අමාරුයි. යුද ජය තොරොම්බල් කිරීම වලංගු නොවන වෙලාවක් එනවා. මේ කාරණය ගැන රජය කොපමණ අවධානයක් යොමු කර තිබෙනවද?

යුද්ධය තිබියදී හා පෙරත් සිවිල් පාලන ව්‍යූහයක් අපිට තිබුණා. ඒ ව්‍යූහය වඩා කාර්යක්ෂම කිරීමයි අපි දේවල් කළයුත්තේ. එතකොට ව්‍යුහය නැවත මතුවෙනවා.

නමුත් රටේ ප‍්‍රධානීන් ක‍්‍රියාවෙන් හා වචනයෙන් තවදුරටත් වර්ධනය කරන්නෙ යුද මානසිකත්වයක්.

යුද ජයසැමරීම හරහා වඩා අර්ථවත්ව ඉදිරි වැඩ කළ හැකි බව කෙනෙක් සිතන්න පුළුවන්. නමුත් මට හිතෙන විධිය නම් අපි නොකර බැරිම තැනක දී යුද්ධය කළා. මේක ගැන අපි උදම් අනන්න  ඕනෙ නැහැ.

දැනට රජය ටී.එන්.ඒ සංවිධානය සමඟ සාකච්ඡුා කරනවා. නමුත් ඒ හරහාවත් දෙමළ සමාජය සමඟ මිත‍්‍ර ශීලී භාවයක් ඇතිකරගන්න බවක් පෙනේනනේ නැහැ?

ටී.එන්.එ්. ගැන බලාපොරොත්තු තබා ගත නොහැකියි. මන්ද ඔවුන් සිටින්නේ ජාතීන් දෙකක් කියන ස්ථාවරයෙයි. ඔවුන්ගේ අදහස පටුයි. අපි ජාතීන් දෙකක්. මුස්ලිම් අයත් අපි එකතු කරගන්නවා. වෙනම තමයි අපි කටයුතු කරන්නේ, කියන ස්ථාවරයන්හි ඔවුන් තදබල විධියට ඉන්නවා. අපේ ස්ථාවරය වෙනස්. අපි හැම ජනතාවකගේම අනන්‍යතාව සුරක්ෂිත එකම ජාතියක් ලෙසයි මේ ප‍්‍රශ්නය දෙස බලන්නේ.

නමුත් අපි, දෙමළ ජනයාට ඒ කියන තැනට එන්න අවශ්‍ය විශ්වාසය ගොඩනගලා නැහැ. උතුරේ දී හමුදාවේ පීඩනය හා සිංහලෙන් පමණක් දැන්වීම්පුවරු ඉදිකිරීම හරහා අවිශ්වාසය සඳහා අවශ්‍ය දේවලූයි අපිත් ගොඩනගමින් සිටින්නේ?

නමුත් වෙනම ජාතියක් කියන අදහස මගින් මේ රටේ එක්සත්කම පළුදු කරනවා. ඊළඟට ටී.එන්.ඒ. බල ප‍්‍රදේශ තුළ අපේ විමසුම් ඇස වැඩියි. ඒ නිසයි හමුදාව ඒ ප‍්‍රදේශවල ක‍්‍රියාකාරීව ඉන්නේ. නමුත් අපේ පැත්තෙන් තමයි මේ දුරස්ථවීම අඩුකරන්න පුළුවන්. අපිට ටී.එන්.ඒ. එකට ඡුන්ද දුන්න අය ගැන විතරක් හිතන්න බැහැ. උතුරේ අපිට ඡන්ද දුන්නු අය ගැන හිතන්න වෙනවා. ටී.එන්.ඒ. ස්ථාවරයෙන් ඔවුන් මුදාගැනීමේ වගකීමක් අපට තිබෙනවා. එමෙන්ම ඔවුන් හෝ අපි හමුදාව ගැවසීමේ පීඩනයෙනුත් මුදා ගත යුතුයි. මේ නිදහස ලැබීම තුළ ටී.එන්.ඒ. හිතවාදී කොටසුත් ඊට අනුගතවේවි.

උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ (LLRC) නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය කොපමණ උනන්දුවන බවක් පේනවද?

රජයට ඒ ගැන උනන්දු නොවී ඉන්න බැහැ. මොකද මේ වාර්තාව පීඩාවට ලක්වූ ජනයාගේ හෘදය සාක්ෂියේ කැඩපතක් වගේ එකක්. ජාත්‍යන්තර වශයෙනුත් දේශීය වශයෙනුත් විශාල අධිකාරියක් ඊට හිමියි. මානව හිමික් පෙරහැරේ ගෙනියන අපේ කරඬුව තමයි එල්.එල්.ආර්.සී. වාර්තාව. එහි යෝජනා නිගමන හරිම වැදගත්. අතුරුදන් වූ අය අත්අඩංගුවට ගත් අය ගැන, භාරවූ අය ගැන විධිමත්ව සොයන්න එමගින් නිර්දේශිතයි. ඒකට කොමිටියක් පත් කරලා වැඩ පටන් ගන්න  ඕන. සාමාන්‍ය නීතිය හා සිවිල් පාලනයක් ඇති කිරීම වහාම රජය ඉටු කළ යුතු වගකීමකි. ආරක්ෂක අංශ ඒ අනුව කටයුතු කළ යුතුයි. ඉතිං මේවා අපි දැන් අවශ්‍යයි කියලා කතා කරපු දේවල්නෙ. යුද්ධය අවසන් වූ ප‍්‍රදේශවල දේශපාලනයට ඉඩ සලසමින් ආරක්ෂක අංශ දැන් වේදිකාවෙන් බැසිය යුතුය කියලත් මෙහි සඳහන් වෙනවා.

ආරක්ෂක හමුදා යුද්ධයේ දී නීතිය ඉක්මවා කටයුතු කළ අවස්ථා ඇති නිසා ඔවුන්ට දඬුවම් දිය යුතු බවට කොමිසම නිර්දේශ කර තිබෙනවා.

ඔව්. ඒක විය යුතුයි. විමර්ශනයක් කරලනෙ තීරණයක් ගත්තෙ. මේ හැම දෙයක් ගැනම ආණ්ඩුව තුළ ඉන්න අයගෙ ස්ථාවරයන් කිහිපයක් තිබෙනවා. එදා ජනාධිපති බලය, කැබිනට් මණ්ඩලේ බලය, රජයේ බලය ආදි සියල්ල රැකුණෙ හමුදාවේ බලයෙන්. ඒ මානසිකත්වය බොහෝ දෙනකු තුළින් තවම වියෝවෙලා නැහැ. ඒ නිසා ප‍්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ වගේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේදී.

වැදිකරුවන්ට දඬුවම් දීමට අලූත් යාන්ත‍්‍රණයක් අවශ්‍ය බවත් එහි සඳහන්. ත‍්‍රිකුණාමලයේ ශිෂ්‍ය ඝාතනය උදාහරණයකට ගත්තත් වාර්තාවේ නිර්දේශ නිවැරදියි. නමුත් ඒවා ඉටුවෙයිද කියන සැකය තිබෙනවා.

ජනාධිපතිතුමා ඒ ගැන සොයන්න කොමිෂන් දෙක්ක පත්කළා. ඒ වාර්තාව මෙතෙක් ක‍්‍රියාත්මක නොවුණාට ඒ වාර්තා දැන් නව යාන්ත‍්‍රණයක් තුළ භාවිත කළ හැකිය. තවද වැරදිකරුවන් කියා සොයා ගන්න. ඒක කරන්න පටන් ගන්න  ඕන.

දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රධානීන් සමඟ රජය සාකච්ඡා කළයුතු බවටත් වාර්තාවෙන් නිර්දේශිතයි. මේ වගේ කාරණයක් ගැන රජය දක්වන ප‍්‍රතිචාරය මොකක්ද?

මම කියන්නේ ඒක කළ යුතුයි. ඔවුන් මධ්‍යස්ථ තත්ත්වයකට ගත හැක්කේ රජය රට තුළ දෙමළ ජනයාගේ ප‍්‍රශ්න අරභයා ක‍්‍රියාකරන ස්වභාවය තුළයි. අනික් නිර්දේශ ඒ සඳහා උපයෝගී කරගත හැකියි.

- විමලනාත් වීරරත්න - රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Posted by Ravaya on 7:33 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මානව හිමිකම් පෙරහැරේ කරඬුව LLRC වාර්තාවයි - අමාත්‍ය වාසුදේව නානායක්කාර"

Leave a reply