නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයෙන් අභියෝග රැසක්

‘එළිමහනේ එදිනෙදා වැඩකටයුතුවලදී අපට ඉතා ප‍්‍රයෝජනවත් වන, මිනිස් බලයෙන් දිවෙන තනි රෝදයේ වාහනය කුමක්ද?’
මා පාසල් යන කාලේ රසවත්ව හා හරවත්ව විද්‍යාව ඉගැන් වූ ගුරුවරයෙකු මේ ප‍්‍රශ්නය අපට යොමු කළා. තවමත් මතකයි. උත්තරය -විල්බැරෝව නැතිනම් වීල් බැරැුක්කය.

මීට සියවස් 24කට පෙර පුරාණ ග‍්‍රීසියේත්, සියවස් 18කට පෙර චීනයේත් විල් බැරැක්ක භාවිත වූ බවට සාක්ෂි තිබෙනවා. විල් බැරැක්කය ලීවර හා රෝදය නමැති යාන්ත‍්‍රික සංකල්ප දෙක දක්ෂ ලෙස සංකලනය කොට නිපදවා ගත් සරල විසඳුමක්. එදිනෙදා ජීවිතයේ මානවයන් වෙහෙස කරන ආයාසය (drudgery) අඩු කරමින් ඔවුන්ගේ ඵලදායීතාව වැඩි කරන නිපැයුමක්.

විල් බැරැුක්කය මගේ සිහියට ආවේ 2011 දෙසැම්බරයේ කොළඹ දී රේ විජේවර්ධන සමරු දේශනය පැවැත් වූ ඉන්දියාවේ ආචාර්ය අනිල් කුමාර් ගුප්තට සවන් දෙන විටයි. නවෝත්පාදනයන් (innovation) ගම් මට්ටමින් හා බිම් මට්ටමින් හඳුනා ගෙන ප‍්‍රවර්ධනය කිරීමේ භාරත -ව්‍යාප්ත ප‍්‍රයත්නයකයෙදී සිටින මේ අසාමාන්‍ය ගණයේ විද්වතා දැක් වු අදහස් කිපයක් අප ගිය සතියේ සාරාංශයගත කළා.

සිය දේශනයේදී අනිල් ගුප්ත අවධානය යොමු කළ එක් තේමාවක් වුයේ නව නිපැයුම්කරුවන්ට තවමත් හරිහැටි විසඳුම් සොයා ගන්නට නොහැකිව ඉතිරි වී තිබෙන ප‍්‍රයෝගික අභියෝගයයි. වසරක් පාසා ලෝකයේ නව නිපැයුම් හා සංකල්පවල බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් ලක්ෂ ගණනක් අදාළ බලධාරීන් නිකුත් කරනවා. එසේ වුවත් මානවයන් මිලියන් සිය ගණනක් දිනපතා මුහුණදෙන ගැටලූ ගණනාවකට තවමත් පිළිගත හැකි හා ප‍්‍රචලිත මට්ටමේ විසඳුම් ලැබී නැහැ.

‘කෘත‍්‍රිම චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීමේ හැකියාව ඉන්දියාව ලබා තිබෙනවා. ලෝකයේ ඉහළම පෙළේ විද්‍යා පර්යේෂණාගාර හා පරිගණක සමාගම් රැසක් ඉන්දියාවේ තිබෙනවා. ඒත් දිගුකලක් තිස්සේ මිලියන් ගණනක් දුගී ඉන්දියානුවන් දිනපතා මහත්සේ වෙහෙස කරවන ප‍්‍රායෝගික ගැටලූ රැුසකට හරිහැටි විසඳුම් සපයාගන්නට අපට තවමත් නොහැකි වී තිබෙනවා.’ ආචාරය ගුප්ත අවංක තක්සේරුවක් කළා. ඔහු මෙය දකින්නේ අධි තාක්ෂණික ජයග‍්‍රහණ ගැන උදම්වන විද්‍යාවේ පසුබෑමක් හැටියටයි.

ආචාර්ය ගුප්තගේ පුරෝගාමීත්වයෙන් 1987 දී ඇරඹි මී මැසි ජාලය (Honey Bee Network) හරහා ගම් හා බිම් මට්ටමේ සාමාන්‍ය ඉන්දියානුවන් අතින් බිහිවූ නවෝත්පාදන දහස් ගණනක් ලේඛනගත කොට තිබෙනවා. එහෙත් තවමත් සාර්ථක ලෙස විසඳා ගත නොහැකි වූ ප‍්‍රයෝගික අභියෝග ගණනාවක් ද ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එයට ප‍්‍රබල උදාරහණ තුනක්

* ආසියාවේ පුරාම හමුවන වෙල්යාය බොහොමයක ගොයම් සිටුවීමේ කාර්යය තවමත් කැරෙන්නේ දෛනික ශ‍්‍රමිකයන් ලෙස සුළු ගෙවීමක් ලබන කාන්තාවන් අතින්. දිගු වේලාවක් කොන්ද නවා ගෙන වතුරේ බැස ගෙන කළ යුතු මෙය ලෙහෙසි පහසු කාර්යක් නොවෙයි. වතුරේ සිටීමෙන් විවිධ සමේ රෝග ඇතිවීමේ අවදානමක් ද තිබෙනවා. ගොයම් සිටුවීමේ යන්ත‍්‍ර සැලසුම් කිහිපයක් ම යෝජනා වී ඇතත් කාර්යක්ෂම හා පාවිච්චියට පහසු යන්ත‍්‍රයක් තවමත් භාවිතයට පැමිණ නැති බව ගුප්ත කියනවා.

* ළිප්ගල් තුනක් මත පදනම් වූ දර ලිප ආසියාව හා අප‍්‍රිකාව පුරා සියවස් ගණනක් තිස්සේ පාවිච්චි කැරෙනවා. සාම්ප‍්‍රාදයික දර ළිප බල ශක්තිය අපතේ යවන අතර දුම් පිට කිරීම හරහා ගෘහණියන්ගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම්කරනවා. වඩාත් අරපිරිමැසුම්දායක දර ළිපක් සැලසුම් කිරීමට දශක ගණනාවක සිට විවිධ රටවල උත්සාහ කර ඇතත් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් යෝජනා කරන සැලසුම් බොහොමයක් ගෘහණියන් අතර ජනප‍්‍රිය වී නැහැ. විවිධ හැඩයේ භාජන යොදා ගනිමින්, විවිධකාර ආහාර ද්‍රව්‍ය නොයෙක් ක‍්‍රමවටල පිස ගැනීමට හැකියාව ඇති සරල දර ළිපක් සැලසුම් කිරීමේ අභියෝගය තවමත් මුළුමනින් ජයගෙන නැති බවයි ගුප්තගේ මතය. මේ සඳහා තාක්ෂණය, සැලසුම්කරණය හා සංස්කෘතික සාධක යන කාරණා ත‍්‍රිත්වයම සැලකිල්ලට ගත යුතුයි.

* ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, කෙන්යාව වැනි රටවල තේ කර්මාන්තයේ තේ දළු නෙළීම තවමත් මුළුමනින්ම පාහේ කරන්නේ කාන්තාවන් විසින්. තේ දළු කූඩයක් පිටේ බැඳගෙන, බෑවුම් සහිත බිම්වල ගමන් කරමින් සියුම්ව තේ දලූ නෙළීම දිනකට පැය කිහිපයක් කළ යුතුයි. තේ පානය රස විඳින බොහෝ දෙනෙකු දලූ නෙළීමේදී අතට හා ගතට දැනෙන වේදනාත්මක වීඩාව ගැන දන්නේ නැහැ. දලූ නෙළීමේ කාර්යය අර්ධ වශයෙන් හෝ යාන්ත‍්‍රීකරණය කළ හැකි නම් නෙළන්නියන්ගේ රැුකියාවලට තර්ජනයක් නොකොට ඔවුන්ගේ ආයාසය අඩු කළ හැකියි.

‘‘මේ අභියෝග ගැන සරසවි හා විද්‍යා පර්යේෂණ ආයතන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මේ දෛනික කාර්යයන්ගෙන් පීඩාවට පත්වන්කේ දුගී හා ග‍්‍රාමීය මිනිසුන් විශේ්ෂයෙන් ම කාන්තාවන්. එබඳු අයට තමන්ගේ ගැටලූ ගැන හඬක් නැඟීමට ඇති ඉඩකඩ  ඉතා අඩුයි. බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් පවා මේ අභියෝග ගැන ඇති තරම් අවධානයක් යොමු කර නැහැ.’’ ඔහු පෙන්වා දුන්නා.

සමහර ගැටලූවලට අර්ධ විසඳුම් ලබාදීමට නව නිපැයුම්කරුවන් සමත්ව සිටිනවා. උදාහරණයක් බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල කාන්තාවන් බීමට ජලය සොයා කිලෝමීටර් ගණනක් දුර ගමන් කරනවා. සොයා ගන්නා ජලය කළගෙඩි හෝ වෙනත් භාජනවලට පුරවා හිසේ හෝ ඉනේ තබා ගෙන ගෙදර ගෙන යෑමයි සිරිත. මේ ක‍්‍රියාවේ ආයාසය අඩු කරගන්නට පානි හාරි (Pani Hari) නම් සරල ඇටවුමක් ඉන්දියාවේ කිම්ජිබායි කනාඩියා (Khimjibhai Kanadia) නිපද වූවා. එයින් කරන්නේ හිස මත තබාගත් වතුර කළයේ බර, උරහිස් දෙකට බෙදා හැරීමයි. මීට අමතරව වතුර පුරවා පැළඳගෙන යාහැකි වතුර කබායක් (Water - carrying jacket) තවත් නිපැයුම්කරුවෙකු සැලසුම් කර තිබෙනවා. මේවා යම් මට්ටමකට ගැටලූව විසඳන නමුත් පුළුල් භාවිතයට ගන්නට පෙර වැඩි දියුණු කළ යුතු බව ගුප්ත කියනවා.

තවත් පුළුල් අත්දකින ප‍්‍රායෝගික ගැටලූවක් නම් කඳුකර බෑවුම් ප‍්‍රදේශවල භාණ්ඩ ප‍්‍රවාහනයයි. අඩි පාරක් පමණක් ඇති. බයිසිකලයක්වත් පැද ගෙන යා නොහැකි බෑවුම් ප‍්‍රදේශවල පදිංචිකරුවන් හැම දෙයක් ම කරපිටින් ඔසවා ගෙන යා යුතුයි. නැතිනම් ගවයන්. බූරුවන් වැනි සතුන් යොදා ගතයුතුයි. කඳුහෙල් බහුල බෑවුම් බිමෙහි යා හැකි ට්‍රොලියක් වැනි ප‍්‍රවාහන ක‍්‍රමයක් නිපද වූවොත් කඳුකර වැසියන් මිලියන ගණනක් එයින් වාසි ලබනවා නියතයි.

පසුගිය අඩ සියවසක කාලය පුරා විශාල වශයෙන් ආයෝජන කළත් තවමත් සාර්ථකව විසඳා නොගත් සංවර්ධන අභියෝගයක් නම් ග‍්‍රාමීය වැසිකිළි සැලසුමයි. ජලය භාවිතය අරපිරිමසින, මල මුත‍්‍ර මනා සේ ඉවත දමන, අඩු වියදමින් තනා ගත හැකි වැසිකිළි සැලසුම් තවමත් ජය නොගත් අභියෝගයක්, ලෝකයේ බිලියන 7ක ජනගහනයෙන් බිලියන 2කට කිසි වැසිකිළි පහසුකමක් නැහැ. නිරාවරණය වූ එළමහන් තැන්වල මලපහ කිරීම නිසා ජලය අපවිත‍්‍ර වීමෙන් හට ගන්නා පාචන රෝග හා අකල් මරණ සංඛ්‍යාව විශාලයි.

හද මතුපිට ජල සම්පත් ගවේෂණය කරන්නට ස්වයංක‍්‍රීය අභ්‍යවකාශ යානා නිර්මාණය කළ ඉන්දියාවේ ම තවමත් මිලියන 400ක් මිනිසුන් අන්ත දුගී ජීවිත ගතකරමින් බීමට පිරිසිදු වතුර සොයා ගැනීමේ දෛනික අරගලයක යෙදෙනවා. දියුණු වන ලෝකයේ බොහෝ රටවල යථාර්ථය මෙයට වෙනස් නැහැ. තවමත් හරිහැටි විසඳා නොගත් මෙකී නොකී ප‍්‍රායෝගික අභියෝගවල ලැයිස්තුවක් ආචාර්ය ගුප්ත සම්පාදනය කර තිබෙනවා. බලන්න: http://tiny:cc/GRIC

නාගරික හා ග‍්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන අයාසකාරී තත්ත්යන්ට හැකිතාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප‍්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන්ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප‍්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

අප ගිය සතියේ ද සඳහන් කළ පරිදි හැම නව නිපැයුමක් ම ලොව හොල්ලන හෝ වෙළඳපොළ අල්ලන හෝ ඒවා වීම අවශ්‍ය නැහැ. ප‍්‍රායෝගික ගැටලූවලට විසඳුම් සොයා යෑමේදී කුඩා පරිමාණයේ දියුණු කිරීමකින් වුවත්, බොහෝ දෙනෙකුට සහනයක්, උපකාරයක් ලබා දිය හැකියි. එබන්දකට පේටන්ට් බලපත‍්‍රයක් නොලැබෙන්නට පුළුවනි. එහෙත් නව නිපැයුම්කරුවන්ගේ එකම අරමුණ විය යුත්තේ ප්ටන්ට් ගොන්නක් හිමි කර ගැනීම නොවෙයි.

'3Idiots' හින්දි චිත‍්‍රපටයේ එක් ජවනිකාවක යාන්ත‍්‍රික ඉංජිනේරු ගුරවරයා යන්ත‍්‍රයක් නිර්වචනය කරන ලෙස සිසුන්ට කියනවා. අමිර් ඛාන් රඟපාන චරිතය වන රංචෝගේ විග‍්‍රහයට අනුව යන්ත‍්‍රයක් යනු මිනිස් ආයාසය අඩුකරන  ඕනෑම උපක‍්‍රමයක් හෝ උපකරණයක් එහෙත් උගත්කමේ මාන්නයෙන් පිම්බුණු මහාචාර්යවරයාට ඒ සරල විග‍්‍රහය සෑහෙන්නේ නැහැ. පාරිභාෂිත වචන හා බරපතළ සංකල්ප ඇතුළත් මහ දිග නිර්වචනයක් ඔහුට අවශ්‍යයි. ඉංජිනේරු තාක්ෂණය ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්නට මීට වඩා යොදා නොගැනීමට හේතුව මෙබඳු පොතේ ගුරුන් අපේ සමාජයේ බහුලවීමයි.

එදිනෙදා ගැටලූ විසඳන්නට වඩාත් ප‍්‍රයෝජනවත් වන්නේ තැනට සුදුසු විදියට හා සූක්ෂම බුද්ධියෙන් යුක්තව පවතින මෙවලම් (tools) සහ යන්ත‍්‍ර (machines) යොදා ගැනීමයි. පවතින මෙවලම් හෝ යන්ත‍්‍රයක් හෝ සකසා ගත නොහැකි නම් අලූතින් යමක් නිපදවීමේ අවකාශය තිබෙනවා. එහිදී නිපැයුම්කරුවන් කළ යුත්තේ හැකිතාක් සරල හා අඩු වියදම් විසඳුම් සොයා යෑමයි.

ප‍්‍රයෝගික ගැටලූ විසඳීමේදී ඒවාට නිතිපතා මුහුණ දෙන මිනිසුන්, ගැහැනුන් හා ළමයින් සම්බන්ධ කර ගැනීම ද වැදගත්. තාක්ෂණවේදීන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයන්ට ගැටලූ විසඳීමේ මූලධර්ම මට්ටමේ චින්තනය ලබාදිය හැකියි. අත්හදා බැලීම් කළ හැකියි. එහෙත් අන්තිමේදී විසඳුමක් සාර්ථකවන්නේ එය පාවිච්චි කරන අය අතර පිළිගැනීමට ලක් වූවොත් පමණයි.

ගැටලූ විසඳීමේ සාර්ථකත්වයට සාධක තුනක් මුසුවීම අවශ්‍ය බව ගුප්තගේ මතයයි. ඉංග‍්‍රීසි ක්‍ අකුරෙන් ඇරඹෙන ඒ වචන තුන Curiosity (කුතුහලය), Compassion (මානව දයාව) හා Collaboration (සාමුහික ක‍්‍රියාකාරීත්වය).

ආචාර්ය ගුප්ත ශ‍්‍රී ලාංකික විද්වතුන්ට හා නව නිපැයුම්කරුවන්ට දාර්ශනික ඔවදනක් ද දුන්නා. ‘දශක ගණනාවක් ඉන්දියාවේ උගතුන් හා පර්යේෂකයන් අපට තිබෙන ගැටලූ හා අභියෝග ගැඹුරින් අධ්‍යනය කළා. ඒවා විසඳුම් ගැනත් බෙහෙවින් වාද විවාද කළා. ඒත් ප‍්‍රායෝගිකව යමක් කරන්නට අප පෙරට ආවේ නැහැ. මගේ පරම්පරාවේ උගතුන් කළ මේ ලොකු වරද නැවතත් නොකරන්නට වග බලා ගන්න!’’

නව නිපැයුම්කරුවන්ට ඔහු දුන් වැදගත් ම අවවාදය මෙයයි. ‘පන්ති කාමර, විද්‍යාගාර හා වැඩපොළවලට කොටුවී නොසිට සැබෑ ලෝකයේ හැකි තරම් සැරිසරන්න. මගතොටේ, කඩමණ්ඩියේ, වෙල්යායවල, හේන්වල හා ගං ඉවුරුවල විසඳාගත යුතු - හැකි ප‍්‍රායෝගික ගැටලූ රැුසක් තිබෙනවා. පවතින සමාජ තත්ත්වයන් ගැන තෘප්තිමත් නොවූ මානවයන් ඒවා ගැන සංවේදී වනවා. නව නිපැයුම් බිහිවන්නේ ඔවුන් අතින්. ඔවුන්ගේ පර්යේෂණාගාරය මුළු මහත් ජන සමාජයයි.!’’

- නාලක ගුණවර්ධන - රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

Posted by Ravaya on 7:09 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයෙන් අභියෝග රැසක්"

Leave a reply