දකුණු අධිවේගිය හම්බන්තොටට ගෙනයාම මේ වසරේ සිට
දකුණු අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමේ සැලසුම් වලට අනුව මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල පවසන්නේ මාතර සිට හම්බන්තොට දක්වා ඉඩම් අත්පත් කර ගැනීමට හා ඉදිකිරීමට එතරම් ගැටලුවක් නොමැති බවත් මේ කොටස ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ජයිකා ආයතනයෙන් මුදල් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.
“අපි බලාපොරොත්තු වෙන්නෙ මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කරන්න. හම්බන්තොට දක්වාම අධිවේගී මාර්ගය 2016 පමණ වනවිට අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම කොටසත් මංතීරු 06 ක් ලෙස සැලසුම් කර තිබෙනවා.“ යනුවෙන් අමාත්‍යවරයා කීය.
මේ වනවිට, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකිරීම් සිදුවන අතර එම කොටස 2013 වනවිට අවසන් කළ හැකියැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
දකුණු අධිවේගී මාර්ගය මේ වනවිට කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා වැඩ අවසන් කර විවෘත කර තිබේ.
0 comments for "දකුණු අධිවේගිය හම්බන්තොටට ගෙනයාම මේ වසරේ සිට"