ඇමතිගේ වැඩ බාලයි - මහාචාර්ය සරත් විජේසූරිය


උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාදවීම නිසා රට තුළ ඇති වුණු කැළඹීම වෙන අවධානය යොමු කළ ජනාධිපතිවරයා මැදිහත් වී නියෝග කළේ වහාම ප‍්‍රතිඵල නිකුත් කිරීමටය. ප‍්‍රතිඵල නිකුත් කිරීමේ විද්‍යාත්මක ක‍්‍රමවේදය විභාග කොමසාරිස්වරයාගේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් ව්‍යාකූලව තිබෙන බව අදාළ පුද්ගලයන් ජනාධිපතිවරයාට වාර්තා කිරීම හෝ, ඒ සම්බන්ධ යථා තත්ත්වය ජනාධිපතිවරයාට අවබෝධ කර ගැනීමට කිසිම අවකාශයක් සලසා නොතිබුණු බව පැහැදිලිය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාම පවසන ලෙස සිදු වුණේ ජනාධිපතිවරයා සියලූ දෙනාටම හොඳටම බැන වැදීමය. ඒ බැන වැදීම අබිමුව ගොළුවන් වූ සියලූ දෙනා වහාම ප‍්‍රතිඵල නිකුත් කිරීමට එකඟ වූහ.

ජනාධිපතිවරයා සෑම ප‍්‍රශ්නයක දීම කරන්නේ, ප‍්‍රශ්නය උණුසුම් වන්නට ඉඩ හැර, ක‍්‍රිකට් පිටියට පැමිණෙන අවසන් පිතිකරුවා විලස පිටියට පැමිණ. හතරේ පහරකින් හයේ පරහකින් තරගය දිනමින් තරගයේ වීරයා වීමය. උසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූව නිරාකරණය කිරීමට ජනාධිපතිවරයා ගත් පියවරෙන් හොඳකට වඩා සිදුව තිබෙන්නේ නරකක් බව මේ වනවිට සනාථ වී ඇත. ජනාධිපතිවරයා නියෝග කළ පසු ප‍්‍රතිඵල නිකුත් නොකර සිටින්නට විභාග දෙපාර්තමේන්තුවට නොහැකිය. ඒ අනුව නිකුත් කළේ ‘විභාග දෙපාර්තමේන්තුව විසින් අනන ලද විකෘත කරන ලද ප‍්‍රතිඵලයයි.

මේ අවාසනාවන්ත තත්ත්වය තුළ  ජනාධිපතිවරයාට සිදු වන්නේ කෙලස හෝ ප‍්‍රශ්නය යටපත් කර දැමීමටයි. විද්වත් කමිටුව පත් කරන්නේ රට වැසියන්ට ප‍්‍රශ්නය වැදගත් අන්දමින් නිරාකරණය කළ බව විශද කිරීමටයි. අවාසනාව නම් කමිටුව පත් කිරීමේ කාර්යය නිසි විනිවිදභාමයකින් සිදු නොවීමයි. ඒ කමිටුවට පත්වන සාමාජිකයන් තීන්දු කිරීමට විභාග කොමසාරිස්වරයාගේ දූෂිත හස්තය බලවත් අයුරින් මැදිහත් වූ බව නොරහසකි. නිසි කමිටුවක් පත් කළොහොත් අත්වන ඉරණම කොමසාරිස්වරයා අධ්‍යාපන අමාත්‍යවරයාට වාර්තා කළ විට, කාගේත් අමුඩ තද කර ගැනීමට කවුරුත් අවසානයේ යුහුසුළු විය යුතුබව අධ්‍යාපන අමාත්‍යවරයා පමණක් නොව ජනාධිපතිවරයා ද අවබෝධ කර ගන්නේය. හැම විපතක්ම සිදු කළ දුෂිත කොමසාරිස් නිදොස් කර නිදහස් කිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයා කොන්දේසි රහිතව, තම ආත්ම ගෞරවය පවා නැත්තටම නැති කර ගන්නා තත්ත්වයකට පත් වන්නේය. දැන් අපට නියමාකාරයෙන් අවබෝධ කර ගත හැකි සත්‍යය නම්, මොන අන්දමකින්වත් 2011 වසරේ උසස් පෙළ ගැටලූවට නිසි සාධාරණ විසඳුමක් නොලැබෙන්නේය යන්නයි.

මා 2011 උසස් පෙළ විභාගය ගැන කතා කරන්නට පටන් ගත්තේ ප‍්‍රතිඵල අවුල ඇති වෙන්නට පෙරය. මා ගැටලූවක් මතු කළේ උත්තර පත‍්‍ර බලන අවස්ථාවේ දීය. මා කතා කළේ දේශපාලන කටයුත්තක නියැලී සිටින කෙනකු ලෙස නොව, නීති ගරුක සිවිල් පුරවැසියකු වශයෙනි. අද නීති ගරුක සිවිල් පුරවැසියෙකු යුක්තිය හා සාධාරණය වෙනුවෙන් හඬක් නඟන විට, ඒ හඬ යුක්ති යුක්ත යයි අවබෝධ වන විට, ආණ්ඩුව පැත්තෙන් මුලින්ම කරන්නේ ඒ හඬ නඟන පුද්ගලයාගේ ආත්ම ගෞරවය කෙළෙසීමට රාජ්‍ය මාධ්‍ය අවිනීත අන්දමින් පරිහරණය කිරීමයි. රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කරන්නේ, සිවිල් පුරවැසියන් මතු කරන කවර ප‍්‍රශ්නයක් වුව දේශපාලනික වාසියක් ගැනීමට කරන දෙයක් ලෙස අර්ථ කථනය කිරීමයි. පෘථුල අර්ථයෙන් සලකන විට හැම සමාජීය කටයුත්තක්ම දේශපාලනික කටයුත්තක් බව විස්තර කළ යුතු නැත. එහෙත් යුක්ති යුක්ත අදහස් විවේචන සිවිල් පුරුවසියන් පළ කරන්නේ පක්ෂ දේශපාලන ක‍්‍රියාවලියකට අනුගතව නොවන බව දැන දැනත් පටු අර්ථකථන දැක්වීම පාපයකි. අනෙක් චෝදනාව වන්නේ යමකට කතාකරන සිවිල් පුරුවසියන් විජාතික බලවේග පෝෂණය කරන්නේය යන්නයි. ඒ චෝදනාව අදාළ වන්නේ සැබවින්ම ආණ්ඩුවට විනා සිවිල් පුරවැසියන්ට නොවෙයි. කෝකටත් තෛලය විලස භාවිත කරන අනෙක් තුරුම්පුව වන්නේ සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් කතා කරන සියලූ දෙනාම එකම පොදියකට බැඳ දමා ඔවුන් නැවත යුද්ධයකට පාර කපන්නේය යන සාපරාධී චෝදනාවක් නැඟීමයි. රාජ්‍ය මාධ්‍ය ඔස්සේ එවැනි චෝදනා කරමින් සැනසීමක් ලබන්නට ආණ්ඩුවට, ඇමතිවරුන්ට හැකි වුව, තම තමන්ගේ හෘදය සාක්ෂියට පිටු පෑමට කිසිවෙකුට නොහැකි යයි මම කල්පනාකරමි.

උසස් පෙළ සිංහල ප‍්‍රශ්න පත‍්‍රය සකස් කළ පුද්ගලයන් ඊට නුසුදුසු අය බව මම විවෘතව පෙන්වා දුනිමි. ඒ ගැන කතා කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ යළි එවැනි වරදක් සිදු වන්නට ඉඩ නොදෙන බවය. ඒ ප‍්‍රශ්නය පෙන්වා දීම ගැන අධ්‍යාපන අමාත්‍යවරයා මට ස්තුතිවන්ත විය. ඒ තත්ත්වය ගැන සොයා බැලීමට කමිටුවක් පත්කරන බවද කීවේය. එහෙත් කිසිවක් සිදු නොවීය. එහෙත් මා උසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූව ගැන කතා කරන්නට පටන් ගත් පසු අධ්‍යාපන අමාත්‍යවරයා මා මතු කළ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්නට රාජ්‍ය මාධ්‍යයක් ඉදිරියට පැමිණෙන්නේය. අධ්‍යාපන අමාත්‍යවරයා එසේ පැමිණෙන්නේ මා මතු කළ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්නට තමන් විශේෂඥ කමිටුවක් පත් කළ බව පවසමින් ඒ වාර්තාවක් රැගෙනය. ඒ කමිටු වාර්තාවට අනුව වරදක් සිදු වී නැති බවත් රටට පැවසීමට අධ්‍යාපන ඇමතිවරයා යුහුසුළු වන්නේය. ප‍්‍රශ්නය මතු කළ මට හෝ ඒ ප‍්‍රශ්නය මතු කළ පුවත්පතට හෝ අධ්‍යාපන අමාත්‍යවරයා කිසිදු පැහැදිලි කිරීමක් නොකර, කලකට පසුව රාජ්‍ය මාධ්‍යයක පෙනී සිටිමින් ඒක පාර්ක්ෂිකව කතා කිරීම යුක්ති යුක්තද? ශිෂ්ට සම්පන්ද?

මා අධ්‍යාපන අමාත්‍යවරාගෙන් ඉල්ලා සිටින්නේ මා මතු කළ ප‍්‍රශ්නය සහ ඇමතිතුමාගේ විශේෂඥ කමිටු වාර්තාව ගැන මා සමඟ විවෘත සංවාදයකට පැමිණෙන ලෙසයි. මට කිසිදු මාධ්‍යයක් නැත. අමැතිතුමා කැමති මාධ්‍යයකට මම පැමිණීමට කැමැත්තෙමි. නීතිගරුක සිවිල් පුරවැසියන්ටත් අදහස් පළ කිරීමට අවස්ථාවක් දීම ශිෂ්ට පිළිවෙත බව වටහා ගනු මැනවි.

උසස් පෙළ සිංහල ප‍්‍රශ්න පත‍්‍රය සකස් කළ පුද්ගලයන් ඒ භාරධුර රාජකාරිය කිරීමට නුසුදුසු අය බව මා පෙන්වා දීම කළේ ඒ පුද්ගලයන්ගේ නම් හෙළි නොකරමිනි. ඊට හේතුව මම පැහැදිලිවම කීවෙමි. තතු කෙසේ වෙතත් මා මතු කළ ප‍්‍රශ්නය සම්බන්ධ වාර්තාවක් සැපයීමට පත් කළ විශේෂඥ කමිටුව, උසස් පෙළ ප‍්‍රතිපල ගැටලූව සම්බන්ධ සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවටත් වඩා අන්තය. ඉතාම බාලය. මේ කමිටුවේ සාමාජිකයන්ගේ නම් අධ්‍යාපන අමාත්‍යවරයා හෙළි කර තිබේ. සාමාජිකයෝ තිදෙනෙකි. මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය ආනන්ද තිස්සකුමාර, මහචාර්ය සමන්ත හේරත් ඒ කමිටුවේ සාමාජිකයෝ වෙති. මේ නම් ඇසූ මොහොතේම අධ්‍යාපන අමාත්‍යවරයාගේ වැඩ කොතරම් පහත් ද, කොතරම් නිහීන ද යන හැඟීමය මට ඇති වුණේ.

මම මහචාර්ය සෝමරත්න බාලසූරිය මහතාට දුරකථනයෙන් මේ ගැන කතා කළෙමි. අප දෙදෙනා අතර තිබෙන සම්බන්ධයට ලොකු ඉතිහාසයක් ඇත. එතුමා මා ඉගෙන ගන්නා කාලයේ මට උපකාරශීලී වූ පුද්ගලයෙකි. එතුමා වෙනුවෙන් මගේ කැපවීම් ගැන එතුමා ද අපමණ ප‍්‍රසංශා මට කර ඇත. අප අතර තිබෙන කිට්ටුවන්තභාවය නිසාම මේ කමිටුවට එතුමා පත්වීම සදාචාර සම්පන්න නැත. මහාචාර්ය බාලසූරිය මට පවසා සිටියේ තමා බැහැයි කියද්දී අධ්‍යාපන ලේකම් ප‍්‍රතික්ෂේප කළ නොහැකි අන්දමින් එතුමාට බල කර සිටි බවයි. ඇත්ත කුමක් වුවත්, එතුමා පත් කිරීම ශිෂ්ට සම්පන්න කටයුත්තක් නොවන බව මම වටහා ගත්තෙමි. මා උසස් පෙළ ප‍්‍රශ්නය මතු කළ කාලයට සමීප දිනයක ය. මහාචාර්ය බාලසූරිය ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති තනතුරට, අධ්‍යාපන ඇමතිවරයා විසින් පත් කරනු ලබන්නේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් ආයතනයකි. මහාචාර්ය බාලසූරියට කමිටුවේ සාමාජිකයකු වන්නය යන ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම ඒ තත්ත්වය තුළ පහසු නැත. මේ පත් කිරීම, අධ්‍යාපන අමාත්‍යවරයා හිතා මතාම සාවi අරමුණක් ඉටුකර ගැනීම සාපරාධි අන්දමින් කළ නොමනා ක‍්‍රියාවකි. තම අමාත්‍යාංශයට අයත් ආයතනයක තනතුරක් දරන පුද්ගලයකු අවිනීත අන්දමට පාලනය කිරීමකි. මා මහාචාර්ය බාලසුරියගෙන් විමසා සිටියේ මා පෙන්වා දුන් කාරණය සාවද්‍ය ද යන්නයි. සාවද්‍ය නැති බව එතුමා මට පැහැදිලිව කීවේය.

මහාචාර්ය ආනන්ද තිස්සකුමාර මට වසරකට පසුව කොළඹ විශ්වවිiාලයට පැමිණ සිංහල විෂය හදාරා ශාස්ත‍්‍රවේදී විශේෂ උපාධියක්හිමි කර ගෙන මට පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයට බැඳී මා සමඟ සෑහෙන කාලයක් මිත‍්‍රශීලීව වැඩ කළ පුද්ගලයෙකි. උසස් පෙළ විභාගයේ පරීක්ෂකවරයකු ලෙස මා සේවය කර තිබෙන්නෙ එතුමා ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීමට පෙර සිටය. එකම දෙපාර්තමේන්තුවක එකට සේවය කරන පුද්ගලයකු වශයෙන් ඔහුට මේ කමිටුවට සම්බන්ධ වීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.

මහාචාර්ය සමන්ත හේරත් මෑතකදී ආනන්ද තිස්සකකුමාරත් මාත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් ලෙස සේවය කරන විට ඉගෙන ගත් ශිෂ්‍යයෙකි. ඔහු දැන් සිංහල විෂය උගන්වන්නේ නැත. ඔහු සේවය කරන්නේ ජනමාධ්‍ය අංශයේය. ඔහු කිසිම වතාවක් උසස් පෙළ විභගාගයක පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කර නැත. ඔහුට මේ කමිටුවට පත්වීමට අවශ්‍ය කිසිම සුදුසුකමක් නැත. ඔහු ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ සිට සිංහල අධ්‍යයන අංශයට බැඳෙන්නට උත්සාහයක් කළේය. එය අසාර්ථක විය. මා මතු කළ ප‍්‍රශ්නය ගැන කරුණු සොයා බැලීමට මොන ආකාරයකින්වත් ඔහු සුදුසු නැත. මා අවධාරණයෙන් පවසන්නේ ඔහු පත්කිරීම කිසිසේත්ම, මට හෝ මා මතු කළ ප‍්‍රශ්නයට කිසිම ආකාරයකින් තරම් නොවන්නේය යන්නයි.

අධයාපන ඇමතිවරයාගේ විශේෂ කමිටුවට මේ දෙදෙනා නම් කිරීමට උපදෙස් දී තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සිට විශ‍්‍රාම ගත්, හිටපු විභාග කොමසාරිස්වරයාගේ අත වැස්සන් දෙදෙනෙකි. මේ කමිටුව නිර්මාණය කරන්නේ අමාත්‍යවාරයාද? අධ්‍යාපන ලේකම්වරයාද? අනුර එදිරිසිංහද? කමිටුව නිර්මාණය වන්නේ සැබවින්ම සත්‍ය තත්ත්වය හෙළි කිරීමට නොව, සරත් විජේසූරියට වැඩක් දීමටය.

රටේ ජාතික ප‍්‍රශ්න ගැන, රටේ දරුවන්ගේ අනාගතය ගැන සාවද්‍ය සහ සාපරාධි කටයුතු ඇස්පනාපිට සිදු වෙන විට, විශ්වවිද්‍යාලයක මහාචර්ය පදවි දරන පුද්ගලයන් තම සිවිල් බලය ඒ නොපනත් කටයුතු සාධාරණීකරණය කිරීමට ඉවහල් කර ගැනීම පවසන්නේ කුමක්ද යන්න මා රට වැසියන්ට පැහැදිලි කළ යුතු නැත.

අධ්‍යාපන අමාත්‍යවරායගේ විශේෂඥ කමිටුව කෙසේ නිර්මාණය වන්නේද? එය නිර්මාණය වන්නේ හිටපු විභාග කොමසාරිස්ගේ පව් සේදීමටය. හිටපු විභාග කොමසාරිස් මට ලිඛිතව චෝදනා කර සිටියේ උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍රය සකස් කළ අයගේ නම් අනාවරණය කිරීම මා සිදු කළ බරපතළ වරදක් බවයි. මේ කමිටුව ද ඒ කාරණයම පවසා සිටීමෙන් පැහැදිලි වන්නේ කමිටුව නිත්‍ය වශයෙන්ම බළල් අතක් බව නොව්ද? 2011 සිංහල ප‍්‍රශ්න පත‍්‍ර සකස් කළ දෙදෙනා ඒ බාරධුර රාජකාරියට නුසුදුසු බව මම අනාවරණය කළෙමි. එහෙත් ඒ දෙදෙනාගේ නම් මම කිසිවිටක අනාවරණය නොකළෙමි. විශේෂඥ කමිටුව ද කියා සිටින්නේ මා නම් හෙළි කිරීම වරදක් බවයි. මේ කමිටුව මගේ ලිපිය කියවා බැලීමට තරම්වත් කල්පනා නොකර හිටපු විභාග කොමසාරිස්වරයාගේ චෝදනාවම නගන්නේ මන්ද? බන්දුල ගුණවර්ධන හිටපු විභාග කොමසාරිස් ශුද්ධවන්තයෙකු බවට පත් කිරීමට මේ තරම් බාල වැඩ, මේතරම් පහත් වැඩ කරවන්නේ මන්ද?

රටක ශිෂ්ට සම්පන්න යහපාලනය ස්ථාපිත කිරීම උදෙසා, කිසියම් වු ආයතනයක කවරාකාර ප‍්‍රශ්නයක් අරභයා හෝ තත්ත්වය සොයා බැලීමට කමිටුවක් පත් කරන්නේ නම්, ඒ කමිටුව විනිවිද භාවයකින් කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ඇති ස්වාධීන කමිටුවක් විය යුතුමය. විනිවිද භාවයකින් කටයුතු කිරීමට නොහැකි කමිටුවක් කරන්නේ යහ පාලනය දූෂණය කිරීමට උඩ ගෙඩි දීමය.

රට වැසියන්ට අදාළ කාරණාවක් වෙනුවෙන් සොයා බැලීමට පත් කරන කමිටුවක ඊළඟ ශිෂ්ට පිළිවෙත වන්නේ, කමිටුව තමන් වෙත පැවරෙන වගකීම ඉටු කරන අන්දමයි. මුලින්ම කමිටුව කළ යුත්තේ ප‍්‍රශ්නය මතු කළ පුද්ගලයාගෙන් කරුණු විමසීමයි. එක්කෝ අවසානායේ හෝ කරුණු විමසීමයි. පැමිණිලිකරු නැතිව නඩු අහන කිසිම රටක් නැත. මේ කමිටුව මගෙන් කවරාකාරයකින් හෝ කරුණු විමසීමක් නොකිරීම බරපතළ වදරකි. එය ඒක පාර්ශ්වීය කටයුත්තකි. එය සදාචාරයට පමණක් නොව මූලික මිනිස් අයිතිවාසිකම්, නොසලකා හැරීමකි. සියලූ පුරවැසියන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් උරුම කර තිබෙන මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමකි.

මේ කමිටුව අවම වශයෙන් උසස් පෙළ විභාගයේ පාලක පරීක්ෂකවරුන් වූ මාහාචාර්ය තිස්ස කාරියවසම් සහ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු යන දෙදෙනාගෙන් එක් අයකුගෙන්වත් මේ කාරණය ගැන කිසිවක්ම විමසා නැත. ඔවුන්ට රහසින් අනුර එදිරිසිංහ උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමට නොතරම් දෙදෙනකුට ඒ රාජකාරිය පැවරීම ගැන පාලක පරීක්ෂකවරුන් නොසලකා හැරීම ද බරපතළ වරදකි. එපමණක් නොව දැනට ජීවතුන් අතර සිටින පාලක පරීක්ෂකවරුන් ලෙස ගෞරවනීය අන්දමින් සේවය කළ, මහාචාර්ය ඒ.වී.සුරවීර, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහචාර්ය විමල් විජේරත්න යන එක් අයකුගෙන් වත් තත්ත්වය ගැන කිසිවක් විමසීමට හෝ කමිටුව උනන්දු වී නැත. එපමණක් නොව විභාග කොමසාරිස්වරුන් ලෙස ගෞවරනීය අන්දමින් සේවය කර දැනට විශ‍්‍රාම ලබා සිටින එක ද විභාග කොමසාරිස්වරයකුගෙන්වත්, ප‍්‍රශ්න පත‍්‍රයක් සකස් කිරීමට පුද්ගලයකු තොරා ගන්නා පදනම ගැන කිසිවක් විමසා නැත. මට මේ සම්බන්ධයෙන් මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා පවසා සිටියේ මේ දෙදෙනා සුදුසු බවට මහාචාර්ය රත්න විජේතුංග මහතා නිර්දේශ කර තිබෙන බවයි. විශ්වවිද්‍යාල පද්ධතියේ මේ රාජකාරියට නිසි සුදුසුකම් ඇති මහාචාර්වරුන් අපමණව සිටියදී, සහාය මහාචාර්යවරයකු ලෙස සේවය කර විශ‍්‍රාම ගිය, කිසි දිනක පාලක පරීක්ෂකවරයකු ලෙස සේවය නොකළ රත්න විජේතුංග අනුර එදිරිසිංහට තරම් වන්නේ කෙලෙසද? රත්න විජේතුංගගේ උපදෙස් පිට අනුර එදිරිසිංහ කළ දේ නිවැරදි නැති බව මහාචාර්ය බාලසූරිය ද පිළි ගත්තේය. දැන් ප‍්‍රශ්නය වන්නේ මේ වාර්තාව අනුර එදිරිසිංහගේ නොවන්නේද යන්නයි. සැබවින්ම මේ වාර්තාවේ විනිවිද භාවය කුමක්ද? මේ වාර්තාව අනුර එදිරිසිංහගේ සාපරාධී කටයුත්ත යට ගැසීමට පිළියෙල කළ පහත්ම පහත් නින්දිත වාර්තාවක් ලෙස මම පිළිකුලෙන් හෙළා දකිමි.

උසස් පෙළ සිංහල විෂයේ ප‍්‍රශ්න පත‍්‍රය සරත් විජේසුරියට අදාළ කටයුත්තක් නොවන්නේය. එය ජාතික කටයුත්තකි. අනෙක් විෂයයන්ට අදාළව මෙන් සිංහල විෂයේ ද උත්තර පත්තර පරීක්ෂා කිරීමට, ඒ ජාතික කටයුත්තට දිර්ඝ කාලයක් තිස්සේ උරදුන් ලංකාව පුරා විසිරී සිටි ගුරු භවතුන් සංඛ්‍යාව අපමනය මම ඉතා හොඳින් දන්නා කරුණක් පවසමි. එය නම්, සිංහල විෂය උගන්වන සහ උත්තර පත්තර පත‍්‍ර පරීක්සා කරන ගුරු භවතුන් සියේට සියයක්ම මෙවර සිංහල විෂයට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර සකස් කළ දෙදෙනා ඒ කටයුත්තට තරම් නොවන බව එක හෙළා පවසනු නියතය යන්නයි. ඒ ගුරු භවතුන්ට මා පවසන්නෙ බන්දුල ගුණවර්ධන පත් කළ විශේෂඥ කමිටුව, ඒ සදාචාර සම්පන්න නැති කටයුත්ත සිදු වෙන අන්දම ගැන අවබෝධයක් ලබන්න යන්නයි. ඒ ඔස්සේ ජාතියේ දරුවන්ගේ ඉරණම ගැන අවදියෙන් සිටින්නට කාලය පැමිණ තිබෙන බව වටහා ගන්න යන්නයි. අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍ය පදවිය දරමින් නිදහස් අධ්‍යාපනයට, රටේ දරුවන්ට කරන ව්‍යසනය පියෙවි සිහියෙන් අවබෝධ කර ගන්න යන්නයි. නිදහස් අධ්‍යාපනයෙන් දෙපයින් නැඟී සිටින අපි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසි රහිතව, රටේ දරුවන් වෙනුවෙන් කැපවෙමු යන්න නීති ගරුක විනය ගරුක පුරවැසියන්ගෙන් මම ඉල්ලා සිටිමි. අපට කරන්නට ඉතිරිව තිබෙන්නේ එපමණකි.

රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

Posted by Ravaya on 12:25 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඇමතිගේ වැඩ බාලයි - මහාචාර්ය සරත් විජේසූරිය"

Leave a reply