මව්බිමේ ශාන්ත සේවයෙන් නෙරපීමට යයි

මව්බිම පුවත්පතේ දේශපාලන වාර්තාකරුවන ශාන්ත විජේසූරිය මහතාට වහාම ඉල්ලා අස්වන ලෙස එහි පාලන අධිකාරිය දැනුම්දී තිබේ. ඔහුව ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා, මව්බිම පුවත්පත් ආයතනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාට දැනුම්දී ඇතැයි එම ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ තුෂාර ගුණරත්න මහතා විජේසූරිය මහතාට දන්වා ඇත.

එහෙයින් ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන ලෙසත් ඒ වෙනුවට මාස 3ක වැටුපට හා සමාන මුදලක් ලබාදීමට ටිරාන් අලස් මහතා එකඟත්වය පළකර ඇති බවත්, තුෂාර ගුණරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ඉල්ලා අස්වන ලෙස තමාට ලිඛිතව දැනුම්දෙන්නේනම් ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීමට සූදානම් බව ශාන්ත විජේසූරිය මහතා මෙහිදි ගුණරත්න මහතාට පවසා තිබේ.

එහෙත් අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ශාන්ත විජේසූරිය මහතාව ඉවත්කිරීමට ටිරාන් අලස් මහතා තීරණය කොට ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ ජනඅරගල කණ්ඩායමට සහාය දැක්වීමේ චෝදනාව මතය.

ශාන්ත විජේසූරිය මහතා විසින් ජනඅරගල කණ්ඩායමේ නායකයෙකුවන කුමාර ගුණරත්න මහතාගේ බිරිඳ සමග ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් වෙනත් මාධ්‍යවලට ලබාදීම මොහු වෙත එල්ලවී ඇති චෝදනාවයි.

විජේසූරිය මහතා විසින් එම සම්මුඛ සාකච්ඡාව ලියා, මව්බිම ඉරිදා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ උපුල් ජෝෂප් ප‍්‍රනාන්‍දු මහතා වෙත භාරදී ඇති අතර අනතුරුව පුරා පිටු දෙකක විශේෂ වාර්තාවක් ලෙස එය මුද්‍රණය කිරිමට සූදානම් කර තිබියදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරකුමාර දිසානායක මහතාගෙන් එල්ලවූ බලපෑමක් හමුවේ එය මුද්‍රණයෙන් ඉවත්කරන ලෙස ටිරාන් අලස් මහතා තුෂාර ගුණරත්න මහතාට සහ උපුල් ජෝෂප් ප‍්‍රනාන්‍දු මහතාට නියෝකර තිබිණ.

එසේ මව්බිම පුවත්පතින් එම සම්මුඛ සාකච්ඡාව ඉවත්කිරිමත් සමග ජනඅරගල කණ්ඩායම විසින් ප‍්‍රකාශයට පත්කරන ‘ලංකාවිව්ස්’ වෙබ් අඩවියේත් සතිඅන්ත පුවත්පත් කිහිපයකත් එම සම්මුඛ සාකච්ඡුාව මුලූමනින්ම පළවී තිබිණ. ‘ලංකාවිව්ස්’ වෙබ් අඩවියෙන් උපුටා ගනිමින් අපද එය මුලූමනින්ම පළකළෙමු.

එසේ මව්බිම පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් වෙනත් මාධ්‍යවලට ලබාදීම පිළිබදව ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා, ශාන්ත විජේසූරිය මහතාට දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබේ. වික‍්‍රමසූරිය මහතා වහාම ක‍්‍රියාත්මකවන පරිදි ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා, තුෂාර ගුණරත්න මහතාට නියෝග කොට ඇත්තේ ඉන් අනතුරුවය.

කෙසේ වුවද අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයාගේ ඇගිලි ගැසීම්වලට තුෂාර ගුණරත්න මහතා මෙන්ම උපුල් ජෝෂප් ප‍්‍රනාන්දු මහතාද කර්තෘ මන්ඩල සාමාජිකයින් ඉදිරියේ ඔවුන්ගේ විරෝධය පලකොට ඇත. මේ වනවිට නන්නත්තාරවී සිටින ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය පරිදි පත්තර කිරීමට තමන් සූදානම් නොමැති බවත්, තවදුරටත් මෙවැනි අනිසි ඇගිලි ගැසීම් සිදුවන්නේනම් ඒ පිළිබදව පැහැදිලි තීරණයක් ගැනීමට තමන්ට සිදුවන බවත්, ඔවුන් කර්තෘ මණ්ඩල සාමාජිකයින්ට අවධාරනය කර ඇත.

එහෙත්, ආයතනයේ සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත දේශපාලන පක්ෂයක මන්ත‍්‍රීවරයෙකු හෙයින් ජනතා විමුක්ති පෙරමුණ අපහසුතාවයට පත්වන කිසිදු ප‍්‍රවෘත්තියක් පළනොකරන්නැයි තුෂාර ගුණරත්න මහතා කර්තෘ මණ්ඩල සාමාජිකයින්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මව්බිම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන්ට අදහාගත නොහැකි වැටුප් ලබාදෙන බවට වූ රාවයක් මව්බිම එළිදැක්වීමට පෙර මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැතිර ගියද එයද ප‍්‍රචාරක මෙහෙයුමක් බව මේ වනවිට තහවුරු වී තිබේ.

තුෂාර ගුණරත්න මහතාට සහ උපුල් ජෝෂප් ප‍්‍රනාන්දු මහතාට වාහන, හා වෙනත් පහසුකම්ද සහිතව රුපියල් දස ලක්ෂයකට ආසන්න වැටුපක් ලබාදෙන බවට ප‍්‍රචාරය වුවද ඔවුන් දෙදෙනාට මාසිකව හිමිවන්නේ රුපියල් ලක්ෂය බැගින් වූ වැටුපකි. මව්බිම කර්තෘ මණ්ඩලයේ ප‍්‍රධානීන්වන බෙනට් රූපසිිංහ, ගුණසිරිවිතාන, බණ්ඩාර රාජගුරු වැනි අයට රුපියල් 25,000 බැගින් මාසිකව ගෙවනු ලබන අතර දිවයින පුවත්පතෙන් එක්වූ ජනිත සෙනවිරත්න මහතාට පමණක් රුපියල් 40,000 ක වැටුපක් සහ ඔහු විසින් ගෙන එන දැන්වීම් වලට කොමිස් මුදලක් ගෙවනු ලබයි.

ලංකා ඊ නිවස් වෙබ් අඩවියෙන් මව්බිම පුවත්පතට එක්වූ ශාන්ත විජේසූරිය මහතාට සහ කැමරා ශිල්පී සංජීවට පවා මාසිකව ගෙවනු ලබන්නේ රුපියල් 15,000 ක වැටුපකි. එසේම මව්බිම දිනපතා සහ ඉරිදා පුවත්පතේ කර්තෘ වාක්‍ය ලියන සුභාෂ් ජයවර්ධන මහතාට ගෙවනු ලබන්නේ රුපියල් 10,000 ක දීමනාවක් පමණි.

Posted by Ravaya on 1:13 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මව්බිමේ ශාන්ත සේවයෙන් නෙරපීමට යයි"

Leave a reply