පලාලි ගුරු විද්‍යාල භූමිය ආරක්ෂක අමාත්‍යාංශයට
අක්කර 54ක භූමි ප්‍රමාණයකින් යුත් පළාලි ගුරු විදුහල් භූමිය ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර සිටී.
යාපනය අර්ධද්වීපය තුළ පැවති ගුරු විදුහල් දෙකවන පලාලි ගුරු විදුහල සහා කෝපායි ගුරු විදුහල වෙනුවට මේ වන විට ඇත්තේ එම ගුරු විදුහල් ඒකාබද්ධ කර ආරම්භ කර ඇති එක් විදුහලක් පමණි. 1990 සිට සින්නවේලි මුත්තුතම්බි විදුහලට එම විදුහල ගෙන ගිය අතර මේ වන විට එහි කතෝලික ධර්මය පමණක් ඉගැන්වේ.
ස්ටාලින් මහතා ප්‍රකාශ කර සිටින්නේ අද වන විට අධි ආරක්ෂිත කලාප ඉවත් කරමින් පවතින විට මෙලෙස ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, වාණිජ්‍යය, කෘෂිකර්මය, ශාරීරික අධ්‍යාපනය සහ චිත්‍ර, නැටුම්, සංගීතය වැනි සියලූ විෂයන් ඉගැන්වූ පලාලි ගුරු විද්‍යාලය ඉවත් කරමින්, යාපනය අර්ධද්වීපයටම එක් ගුරු විදුහලක් පමණක් ආරම්භ කිරීමත්, එහි කතෝලික ධර්මය පමණක් ඉගැන්වීමත් මගින් බලවත් අකටයුත්තක් හා බලවත් අසාධාරණයක් දෙමළ මාධ්‍ය ගුරු සිසුන්ට සිදුවන බවයි. පලාලි ගුරු විද්‍යාලය මෙලස ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමෙන් අර්ධද්වීපය තුළ දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන්ගේ පුහුණු ආයතනයක් අහිමිවීමත්, උතුරේ දෙමළ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියත් යුද්ධය අවසන්වීමෙන් පසුවවත් නොලැබීම කනගාටුවට කරුණක් බව ඒ මහතා පවසයි.මේ පිළිබඳව අධ්‍යාපනන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ කොමසාරිස් තිස්ස හේවාවිතාරණ මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ සම්පත් නාස්තිවීමක් සිදුවන හෙයින් පලාලි ගුරු විද්‍යාලය එම ස්ථානයෙන් ඉවත් කර කෝපායි ගුරු විදුහලට ඒකාබද්ධ කර පවත්වාගෙන යන බවයි. නමුත් එම භූමිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම පිළිබඳව තමන් තවම නොදන්නා බවත් ඒ පිළිබඳව සොයා බලන බවක් ප්‍රකාශ කළේය.
පලාලි ගුරු විද්‍යාල භූමිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් නිහාල් හපුආරච්චි මහතා පැවසූවේ තමන් එවන් තීරණයක් පිළිබඳව නොදන්නා බවත් එහෙත් මේ වන විටත් ඒ ආසන්නයේ හමුදා කඳවුරක් ඇති අතර, එම තීරණය පිළිබඳව වගකීම ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට බවත්ය.
- රාවය
0 comments for "පලාලි ගුරු විද්‍යාල භූමිය ආරක්ෂක අමාත්‍යාංශයට"