සිසින්ද්‍රා ප්‍රසංගයට පුහුණු වෙද්දී සිසින්ද්‍රා මෙම මස 20 වැනිදා ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී

ඈතින් ඇසෙන ගිටාරයේ හඬ මුළු නිවාස සංකීර්ණය පුරාම පැතිර යන්නේ අපූරු සුන්දරත්වයක් හදවත පුරවමිනි.

‘සයුර වෙත යන ගඟ පරිද්දෙන්
වියළි ගොඩ බිම සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා . . .’

ගිටාරයේ හඬ හා මුසුව ඇසෙන්නේ කාලයක් පුරාවට රසික හදවත සිය මියුර ස්වරය රැඳ වූ ඒ සොඳුරු කෝකිලයාණන් වන සිසිර සේනාරත්නයන්ගේ හඬයි.

‘රැය දවල් දෙක එක සේ සලකා
රිසි විටෙක එනු මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුණත්
මගේ හදවත ඉඩ තියේ . . .’

සිසිර සේනාරත්නගේ හඬට පසුව ඇසුණා වූ ඒ ස්වරය අපව සොඳුරු මතකයකට රැගෙන යයි. ඒ එදා පටන් අද දක්වා වූ ඒ සොඳුරු ආදරයේ මතක සටහන් අතරටය.

මෙලෙස ‘ඉන්ද්‍රාණි සේනාරත්න’ සිසිර සේනාරත්න අසලම ඉඳීමින් හදවතින්ම ගයන්නේ ඔහුටය. කලකට පසුව වුව ද ඔහුගේ හදවතෙහි සුන්දරත්වය කොතරම් ද යන්නය. ඈ ගයනා ඒ අසල සිටින්නේ ඔවුන්ගේම පුතණුවෝය. සමීර සේනාරත්නය. සමීරගේ අත රැඳි ගිටාරය වැයෙන්නේ ඔවුන් වෙනුවෙනි.
මෙම මස 20 වැනිදා ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ පැවැත්වෙන ‘සිසින්ද්‍රා’ ප්‍රසංගයට පෙර පුහුණුවීමක යෙදෙන මේ සොඳුරු කැදැල්ලේ සුන්දරත්වයට බාධා කරමින් අප එහි පිවිසියේ ඒ දුරකතන ඇමතුමෙහි තතු විමසන අටියෙනි.

‘ආ . . . මේ අය ඇවිත් ඉන්නේ අපේ ප්‍රසංගය ගැන අහන්නද?’
සියලු කාර්යයන් පසෙකලා මන බඳිනා ඒ සිනහවෙන් ඔහු අප අමතන්නේ පෙර පුරුදු ළෙන්ගතු ස්වරයෙන්මය.

‘ඔව් . . . ඔව් ඒ ගැන අහන්නම තමයි’
ඉන්ද්‍රාණි අක්කා කියන්නේ අප සැම පිළිතුරු දෙන්නට පළමුවය.

‘කාලයකට පස්සේ කරන මේ ප්‍රසංගය මගේ ජීවිතයේ ලස්සනම ප්‍රසංගය වේවි. මේ දවස්වල මම ඒ ප්‍රසංගයට සූදානම් වෙන්නේ බොහොම සතුටින්. ඒ පැරැණි ගී පුහුණුවීම්වලදී මම නිතරම වගේ අතීතයට යනවා. මගේ ළඟම ඉන්ද්‍රාණි ඉන්න නිසා ජීවිතයේ සුන්දරත්වය හැමදාම රැඳිලා.

මේ වගේ බිරිඳක් ලබන්න මං බොහොම වාසනාවන්තයෙක්. ඒ වගේම තමයි මගේ දරුවෝ. නිතරම මා අසල ගැවසෙන්න, දුක සැප සොයලා බලන්නේ ඔවුන් මට ආදරේ නිසයි. මම ගත කරන්නේ තෘප්තිමත් ජීවිතයක්.’
යුගයකදී ඔබ ආදරය කළ ඒ මිනිසා සිය හඬ අවදි කළේ ඒ තෘප්තිමත් බවෙහි සුන්දරත්වය විඳීන අයුරු අපට පසක් කරමිනි. ඔහුගේ හඬ ඔස්සේ මගේ මතකයට නැගුණේ පෙර දින ලැබුණු ආරංචියයි.

‘දන්නවද සිසිර සේනාරත්න ගැන නරක ආරංචියක් “. මගේ ළඟම මිතුරෙකු මා ඇමතුවේ දුරකතනයෙනි.

‘මොකක්’

උස් හඬින් මට කියැවුණේ මා සිටින්නේ බස් රියෙහි යන වග ද අමතක වෙමිනි. මීට මාස කිහිපයකට පෙර යුග දිවියේ අඩ සියවස සැමරූ සිසිර අයියාගේ අභිමානය රැඳුණු මුහුණ මගේ මතකයට නැගුණේ ඉබේමය.
‘කාලයකට පස්සේ ප්‍රසංගයක් කරන්නයි ඉන්නේ’

ඔහු පැවසූ ඒ උදාරම් විලාසයත්, ඒ හඬත් මගේ දෙසවනෙහි නින්නාද වේ. අසනීප වීමෙන් පසුව, සුව අතට හැරුණු ඔහු ප්‍රසංගවලට සහභාගි නොවූව ද සිටියේ හොඳ සනීපයෙනි.

මේ සොඳුරු මිනිසාට කුමක් නම් වීද?’
මා කාර්යාලයට පැමිණියේ මේ අදහස සිත පෙරළි කරද්දීය.

‘සිසිර අයියා ගැන ගිහින් තියෙන්නේ බොරු ආරංචියක්. ඒකෙන් අයියාගේ වස් දොස් ඔක්කොම යන්න ඇති’
සිසිර අයියාට කවදත් හිතැති අප කර්තෘතුමා පැවසුවේ ලිපියක් ලියන කාර්යය ද මට පවරමිනි.

එහෙත් ඒ ආරංචියේ බොරුව කෙතරම් ද යත් පසක් කරමින් ඔහු සුපුරුදු ලෙසම සිනාසෙයි. එදා කියූ ලෙස අද ඔහු සිය ප්‍රසංගය සඳහා සූදානම් වන්නේ ද නොඉවසිල්ලෙනි.

‘මේ වුණ දේ හිතා ගන්නවත් බෑ. එදත් අපි මේ වගේ ගීතයක් පුහුණුවීම් කරමින් හිටියේ. එක පාරටම දුරකතනය නාද වුණා. මම තමයි දුරකතනයට උත්තර දුන්නේ. චැනල් එකකින් මටම කතා කරලා අහනවා ‘සිසිර අයිය ගැන යන ආරංචිය ඇත්තක්ද කියලා’. ඒ වෙලාවේ නම් මට කතා කර ගන්න බැරි වුණා. මට එක පාරටම බැලුණේ සිසිරගේ මුහුණ. ඔහුත්, පුතත් ගීතය පුහුණු වෙනවා. ඊට පස්සේ දිගින් දිගටම දුරකතනය නාද වුණා. ලංකාවේ සිටින අපට ආදරය කරන බොහෝ දෙනෙක් කතා කළා. ඒ අය අතර හිතවතුන් වගේම යාළුවොත් හිටියා. ඒ විතරක් නෙමෙයි, විදේශ රටවලින් ආව දුරකතන ඇමතුම්වලින් දුරකතනයට නිමක් ලැබුණේ නෑ. මේ සිද්ධිය ඇහුවට පස්සේ මගේ හිතට දැනුණු වේදනාවේ තරම දන්නේ මම විතරයි. ඒත් සමඟම පුංචි සතුටකුත් දැන් දැනෙනවා. අපට ආදරය කරන අය, අපි ගැන සොයා බලන අය කොයි තරම් වටේටම ඉන්නවද කියන කාරණය පිළිබඳවයි. අපි තනි වෙලා නෑ කියන හැඟීම දෙන්නේ මේ වගේ කාරණයකදියි. බොහොම දෙනෙක් කිව්වේ මේක සිසිරට ආශිර්වාදයක් කියලයි. ඇත්තටම වෙස් වලාගෙන ආව ආශිර්වාදයට අපි අද බොහොම ආදරෙයි. එත් මේ ආරංචිය ගැන සිසිරට අපි කිව්වේ නෑ. ඒ මේ වගේ දෙයක් අහලා සිසිරට ඒක දරාගන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නය සිතට නැඟුණ නිසයි.’

හදිසියේ මතු වුණු අර්බුදයට තමා මුහුණ දුන් අයුරු අප සමඟ පැවසුවේ සිසිර සේනාරත්නගේ දයාබර බිරිය ඉන්ද්‍රාණි සේනාරත්නය. මේ අතර සමීර සේනාරත්න පුතුගේ දුරකතනයට ද ඉස්පාසුවක් නොතිබුණි.
‘මේ සිද්ධිය වුණාට පස්සේ මගේ දුරකතනයට ඇමතුම් තුන්සිය විස්සක් විතර ආවා. ඊටත් වැඩියි. කිසිම දෙයක් එක පාරටම හිතා ගන්න බැරි වුණා. දැන් අපි 20 වැනිදා පැවැත්වෙන ප්‍රසංගයට සූදානම් වෙනවා. එදාට අම්මාටත්, තාත්තාටත් උපහාර උළෙලක් පැවැත්වෙනවා. බොහොම වර්ණවත්ව පැවැත්වෙන මේ ප්‍රසංගය බොහොම සුන්දරව දිස් වේවි.

‘ඔයාලත් ඒ ප්‍රසංගයට එන්න.’
පුතුගේත්, බිරිඳගේත් කතාබහට හවුල් වෙන සිසිර අයියා අපට ආරාධනා කරන්නේ හදවතෙහි නැගුණු සැබෑ සෙනෙහසිනි. ආරංචිය පිළිබඳ කිසිත් නොදන්නා ඔහුට අපි දීර්ඝායුෂ පැතීමු. දයාබර සිසිර අයියේ ඔබට ‘සරසවිය’ වෙතින් චිරන් ජයතු වේවා!

Posted by Ravaya on 1:03 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

1 comments for "සිසින්ද්‍රා ප්‍රසංගයට පුහුණු වෙද්දී සිසින්ද්‍රා මෙම මස 20 වැනිදා ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී"

  1. Please make a video CD of the concert. There would be lots of fans in Sri Lanka as well as oversease to buy. Bathiya De Silva From Melbourne

Leave a reply