බහුභූත සින්දු කියලා ජාත්‍යන්තරයට යන්න බැහැ - ටී.එම්. ජයරත්න

මේ නව වසරේදී අපිට පුළුවන් වෙන්න ඕනේ, වැරදි හදාගෙන ඉදිරියට යන්න. ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ මොන ගැටලු ආවත් නොබෙදී අපි කවුරුත් එකමුතුව කටයුතු කරන්න උත්සාහ කළ යුතුයි. ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සහ නව පරපුරේ ශිල්පීන් හැමදෙනාම සහයෝගයෙන් කටයුතු කරමින් මේ ලෝකවාසීන්ට වැඩ දායක යහපත් ගී නිර්මාණ ඉදිරිපත් කිරීම අවශ්‍ය වී තිබෙනවා. එවිට 2012 වසර අප කාටත් සතුට සාමය ලබා දෙන වසරක් වන බව නොඅනුමානයි.” ඔහු - ආදරණීය ගායන ශිල්පී ටී.එම්. ජයරත්න.

”සංවර්ධනය වෙමින් පවතින රටක කලාකරුවන්ට ලොකු වගකීමක් පැවරෙනවා, ජන ජීවිතයට ප්‍රයෝජනවත් වන කලා කෘති නිර්මාණය කිරීමට. අප නියැලී සිටින ගීත නිර්මාණ කටයුත්තත් ඊට අයත් වෙනවා. පසුගිය කාලය පුරාම වැඩිපුර ගී නිර්මාණ බිහිවී ඇත්තේ ආනන්දය පිණිස පමණක් වීම විශාල අඩු පාඩුවක්.
ගීත ශ්‍රාවකයන්ට ආනන්දය මෙන්ම ප්‍රඥාවද ලබා දිය හැකි යහපත් ගී නිර්මාණ බිහි කිරීමේ මෙහෙවර ඉටු කිරීමට කලාකරුවන් ලෙස අප බැඳී සිටිනවා. යහපත් ගී නිර්මාණයකින් ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලැබිය යුතුයි. මේ බලන්න, එයට උදාහරණයක්.” (ටී.එම්. ‘අඳුරු කුටිය තුළ’ ගීතය ගයමින්)


අඳුරු කුටිය තුළ
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටස තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියන් වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ...!
(පද - ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ)


”අද මේ රටට සමාජයට එවැනි ගී නිර්මාණ උවමනා වී තිබෙනවා. හැත්තෑව දශකයේ බුද්ධියට ප්‍රබෝධය දුන් ‘ප්‍රබුද්ධ ගී’ නිර්මාණය කෙරුණා. එම ගීත තුළින් මිනිසුන් දැනුවත් කෙරුණා. කේමදාස සූරීන්, ජෝතිපාල ලවා ප්‍රබුද්ධ ගී ගායනා කෙරෙව්වා ඒ කාලයේ. මහගමසේකර, ඩෝල්ටන් අල්විස්, මඩවල එස්. රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි ගී පද රචකයින්ගෙන් ප්‍රයෝජනවත් යහපත් සංකල්පනා එම අවධියේ ලියැවුණා. මිනිසුන්ට රට දැය පිළිබඳ, මිනිස් ජීවිතය පිළිබඳ ආදරය වගේම භේද බින්න නොවී එකමුතුව වැඩ කරන්න ආසාව උපදවන හැඟීම් එදා එම ගීත නිසා ඇතිවුණා. විය යුත්තේ සාරගර්භ අර්ථපූර්ණ ගී ගැළපෙන තනු සහ සුදුසු ගැයුම් සහිතව ඉදිරිපත් කිරීමයි.”

ඔබ පවසන්නේ ගීතයෙන් ජීවිතය උගන්වන්න පුළුවන් බවද?
”ඔව්, සාරවත් ගීත නිර්මාණ මඟින් ශ්‍රාවකයින්ට ජීවිතය උගන්වන්න පුළුවන්. එය හරියට දහමකින් කියා දෙනවා වගේ කියා දෙන්න පුළුවන්. අපි එකමුතු වී ඒ ක්‍රමවේදය සොයා ගමු.”

දැන් “සෞන්දර්ය ඇකඩමි” නමින් නව ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.
”එය වෙනම ම කලාවක්. කලාවක් කියනවාට වඩා එය එක්තරා විලාසිතාවක්. නැත්නම් ව්‍යපාරයක් කීමයි නිවැරදි. අනේ පව්, අපේ අනාගත පරපුරට කුමන කලක් යාවිද මන්දා.”

ඔබට සංවේගයක් දැනුණාට දැන් අනාගත පරපුර වෙනුවෙන් වෙන් වූ රියැලිටි වැඩසටහන් රැසක් ම තිබෙනවා නේද?
”නවකයින්ට තම සහජ හැකියාව පෙන්වන්න එවැනි වැඩ සටහන් තිබෙන බව ඇත්තයි. ඒත් ප්‍රශ්නය, ඒවා මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ අනාගත පරම්පරාව යහපත් ලෙස හසුරුවන වැඩ සටහන් ද යන බවයි. මල පිපුණා, පර වුණා. බිම වැටුණා වගේ වැඩක් තමයි ඒවායින් සිදු වෙන්නේ. යහපත් අනාගත පරපුරක් බිහි කරන්න නම් ජයග්‍රාහකයින්ට සුදුසු විෂය සම්බන්ධ දැනුම ලබා දිය හැකි ශිෂ්‍යත්ව පිරිනැමිය යුතුයි. එවිට ඔවුන් මේ ක්ෂේත්‍රයට වැඩ දායක නිපුණයන් වෙනවා. ඔය රියැලිටි වැඩ සටහන් SMS මඟින් කෙරෙන විනිශ්චයෙන් බොහෝ විට සැබෑම දක්ෂයින් කැපී යනවා. රූපයට හෝ මිත්‍රත්වයට ගායක ගායිකාවන් තේරීම වැරදියි.”

ඔබට රියැලිටි වැඩ සටහන් විනිශ්චයට ආරාධනා ලැබුණේ නැද්ද?
”මට ආරාධනා ලැබුණත් මම ගියේ නැහැ. පසුව කේමදාස සූරීන් හට කියලා මාව ගන්න හැදුවත් මම ගියේ නැහැ. සුදුස්සාව තෝරන්න අපේ විනිශ්චයට හැකි විය යුතුයි. එසේ නැතිව ඉර්ඉනිසා අපේ විනිශ්චය අහෝසි වෙනවා නම් ඵලදායක මෙහෙවරක් අපෙන් සිදු වන්නේ නැහැ. ඒ නිසයි මං නොගියේ.”

වත්මන් “ප්‍රාසාංගික කලාව“ පිළිබඳව ඔබට හැඟෙන්නේ මොනවා ද?
”ඔය වචනය රූපවාහිනිය සමඟ බද්ධ වෙලා ආ වචනයක්. ඒත් සත්‍ය නම්, අද අපේ ප්‍රාසාංගික කලාවේ අපේකම නැහැ. උඩ පැනලා, දඟලමින් ගැයුම කලාවක් වන්නේ කොහොමද? උඩ පැනලා ගයද්දී ස්වර ස්ථාවරයේ ඉඳ ගන්න පුළුවන්ද? සරල සංගීතයේ දී වුවද භාවාත්මක ඉරියව් ඕනේ. නවීන තාක්ෂණයේ මෙවලම් උපයෝගී කරගෙන බොහෝ විට ශ්‍රාවක ප්‍රේක්ෂකයින්ව මුලා කිරීමයි අද ප්‍රාසාංගික කලාවේ දී කරන්නේ. දැන් ප්‍රාසාංගික කලාව අපට ගැළපෙන කලාවක් නොවේ. මොන කලාව කළත් එය අපේ සංස්කෘතියට ගැළපෙන්න ඕනේ. නැත්නම් එය වැඩිහිටියන් වශයෙන් අපට අනුමත කරන්න නොහැකි වෙනවා.”

ඔබ මොනවා කිව්වත් මෙම ප්‍රාසාංගික කලාවේ නියුතු නව පරපුරේ ඇතැම් ශිල්පීන් අපේ ගීතය ජාත්‍යන්තරයට ගෙන යන බව පවසනවා නේද?
”ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය පිළිබඳ හරි අවබෝධයක් නැතිව අපේ සමහර නොදරුවෝ ඔහොම කීවාට ඔය බහුබූත ගීත කරලා කරන්න පුළුවන් කටයුත්තක් නොවේ එය. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍යයයි. ඉවක් බවක් අගක් මුලක් නැති ගීත කෑලි අරගෙන ජාත්‍යන්තරයට යන්න බැහැ. මේවා කරන කියන පරම්පරාව මංමුලා වෙලා, දෙලොවක් අතර ඔවුන්ට එහෙත් නැහැ මෙහෙත් නැහැ. ජාත්‍යන්තරයට යාම කෙසේ වුවත් මේ රටේවත් ඔවුන්ගේ ගීතවලට පැවැත්මක් නැහැනේ. ඒ නිසා තමයි දැන් ගීත ශ්‍රාවකයින් පැරණි ගී සොයා යන්නේ. ජ්‍යෙෂ්ඨ ශිල්පීන් මෙන්ම නව පරපුරේ ශිල්පීන් කවුරුත් සාමූහිකව ගෙන ගියොත් මිස ඒකලව අපේ ගීතය කිසිදාක ජාත්‍යන්තරයට ගෙන යන්න කාටවත් බැහැ.”

ගීත ශ්‍රාවකයන්ගේ රසඥතාව දුර්වල වීමකුත් දැනෙන්න තිබෙනවා නේද?
”සාහිත්‍ය විෂය පාසල් අධ්‍යාපනයෙන් අයින් කළ යුගයක් මේ රටේ තිබුණා. එහි ඵල විපාක තමයි අද මේ දැනෙන්නේ. එදා ගැමි කවියා දුටු නෑනා මස්සිනාලාගේ සුන්දර ප්‍රේමය අද කෙලෙසිලා. උදාහරණයකට ගත්තොත් ‘ඉරිදාට පල්ලියේ දී’ වැනි ගීතවලින් මස්සිනාව බිංදුවට ඇද දමලා. තරුණ පරම්පරාවේ රස වින්දනය පහළ වැටිලා. රසඥතාව වර්ධනය කිරීමට අතීතයේ සිටි සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරුන් බොහෝ සේ දායක වුණා.

ඔබ නව නිර්මාණ නොකරන්නේ ඇයි?
”අද මේ ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා නිසා අලුත් ගීත නිර්මාණය කළ නොහැකි වාතාවරණයක් තියෙනවා. තාක්ෂණික උපක්‍රමවලින් ඉතාම සූක්ෂම අයුරින් අපේ නිර්මාණ මංකොල්ල කෑමට ලක් වෙනවා. ජංගම දුරකථන සඳහා ගීත යෙදීමේ සිට සංයුක්ත තැටිවල අලෙවිය දක්වාත් විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරයේ දීත් බොහෝ අසාධාරණ සිදු වෙනවා.

බුද්ධිමය දේපළ නීතිය ක්‍රියාත්මකයි කීවාට එය නිසි අයුරු කෙරෙන්නේ නැහැ. ඉතින් ‘ගිය හකුරට නාඬන්නේ – තියෙන හකුර රැකගන්නේ’ කියලා පාඩුවේ ඉන්නවා. විශේෂයෙන්ම මිනිසුන්ගේ හදවත්වල ලියාපදිංචි වුණු අපේ ගීත යම් වාසනා ගුණයකින් තවමත් රැඳී තියෙනවා. ඒ ටයර්වලින් අපි තාම දුවන්නේ. ඒවා ගල් ටයර් වගේ පැවැත්ම හොඳයි.”

ඔබේ පුතා ඉසුරු ඔබේ ගීත ගායනා කිරීම ගැන ඔබ සතුටු වෙනවා ද?
”පියාගේ ගීත ගායනා කිරිමේ උරුමය පුතාට තියෙනවා. පුතා මගේ ගීත ගායනා කිරීම ගැන මං සතුටු වෙනවා. ඒත් ඒ නිසා පුතා කොටු වෙලා. පුතාට අනන්‍යතාවක් නැති වෙලා. ඉසුරු පුතාට වෙනම ම අනන්‍යතාවක් ඇති වෙනවා නම් තමයි හොඳ. පුතා ඉන්දියාවට ගිහින් සංගීත දැනුම ලබාගෙන ඇවිත් දැන් ගුරුවරයකු ලෙස කටයුතු කරමින් ඉන්නේ. පුතාට ඔහුගේම ගී නිර්මාණවලින් අනන්‍යතාවක් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ඇති කරගන්න හැකි වෙනවා නම් තමයි ඉසුරුගේ අප්පච්චි ලෙස මට වඩාත් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ.”

ඔබේ මතු බලාපොරොත්තු මොනවාද?
”මා දිරා යන පුද්ගලයෙක්. සදාකාලික නැහැ. මොන අභ්‍යාස කළත් ඖෂධ ගත්තත් සදාකාලික වෙන්න බැහැ. මගෙන් කෙරෙන්න ඕනෑ කරන යහපත් ක්‍රියා මොනවාද සොයා විමසා බලා ජාති, ආගම්, කුල භේද නොසලකා ඒවා ඉටු කිරීම තමයි මගේ පළමු බලාපොරොත්තුව. මම බෞද්ධයෙක් වුණාට මගේ ළඟ බයිබලය සහ කුරානය තියෙනවා. පසුගිය නත්තලේදී සිහිපත් කළ යේසුස් වහන්සේ මිනිසාගේ පාපය උදෙසා වද වින්ද අයුරුත් එලෙස වද විඳලත් පසුව තවදුරටත් ‘ඔබේ බර මා පිට තබන්න’ කියා පවසන්න තරම් පේ‍්‍රමණීය වූ අයුරුත් මා කියවා රස විඳ තියෙනවා.


Posted by Ravaya on 12:57 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "බහුභූත සින්දු කියලා ජාත්‍යන්තරයට යන්න බැහැ - ටී.එම්. ජයරත්න"

Leave a reply