Mr. Minister, My name is Sunanda, I am not a terrorist


අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත විවෘත ලිපියක්

ඇමතිතුමනි, My name  is Khan I am not a terrorist  (මගේ නම ඛාන්, මම ත‍්‍රස්තවාදියෙක් නොවෙයි) සිනමා පටය ඔබ නරඹා තිබෙන්නටත් නොතිබෙන්ටත් පුළුවන. දැන් මා ඔබට කියන්නට යන්නේත් එවැනි කතාවකි.‘‘මගේ නම සුනන්ද දේශප‍්‍රිය ය. මම ත‍්‍රස්තවාදියෙක් නොවෙමි’’ යනු එහි තේමාවයි.

නිවියෝක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කරන ලද ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු ඛාන් යන මුස්ලිම් නම දැරූ නිසා පමණක්ම මිනිසෙකුට මුහුණ දීමට සිදු වූ අසාධාරණය ‘‘මගේ නම ඛාන්, මම ත‍්‍රස්තවාදියෙක් නොවෙයි’’ යන සිනමා පටයේ තේමාව වේ. නිවියෝක් නුවර එම ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ම්ලේච්ජ  ප‍්‍රහාරය හේතු කොට ගෙන ඇමෙරිකානු ජනයා තුළ ඇතිවූ බිය මුසු වෛරය ඇමෙරිකාවෙහි ජීවත්වන සාමාන්‍ය මුස්ලිම් ජනයා වෙත මුදා හැරීමට විවිධ අන්තවාදී පිරිස් උත්සාහ කළහ. සිනමා පටය දිග හැරෙන්නේ එම වටපිටාව තුළ ය.

ඔබ අද උත්සාහ කරන්නේ එල්ටීටීඊ සංවිධානයේ ජනඝාතක පිළිවෙත් නිසා සිංහල ජනයා තුළ ඇතිවූ එවැනිම බිය මුසු වෛරය අප වැනි දෙමළ ජනයාගේ මානව හිමිකම් ඇතුළු සියළු මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි පිරිස් කරා එල්ල කිරීමට ය. මා ඔබ යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයකු වශයෙන් ඔබ පමණක් නොව ඔබ යටත් පවත්නා රාජ්‍ය ජනමාධ්‍ය වන්දිභට්ටයින් ද ඇතුළුව ඔබේ බල සේනාවම ය.

ඔබේ ජනමාධ්‍ය පසුගිය සති ගණනාව පුරාම මා සම්බන්ධයෙන් කොතරම් වෛර සහගත අමූලික බොරු ප‍්‍රචාරයන් ගෙන යමින් තිබෙන්නේ දැයි ඔබ දන්නවාද? මූලික ජනමාධ්‍ය ආචාර ධර්මයක් වන විවේචනයට ලක්වන තැනැත්තාගේ අදහස් විමසීම ඔබ/ ඔබගේ බල සේනාව කවර අවස්ථාවක හෝ කර ඇත්ද? ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන කෙරෙන ඔබේ කතා හුදු දේශපාලන ව්‍යාජයන් පමණක් නොවේ ද?

සිනමා පටයෙහි ඛාන්ගේ සහ මන්දිරාගේ පුත් සමීර් ඔහුගේම වයසේ දරුවන් පිරිසක් විසින් පහරදී මරා දමන්නේ එළෙස ඇති කරන ලද වෛරී සමාජ මතවාදයන් නිසා ය. මෙම සිනමා පටය නරඹා එම දරුවාගේ මරණය සහ ඊට අදාළව ඇතිවන ඛේදනීය දාම සිදුවීම් ජාලය විඳ කම්පනයට පත් නොවන අයෙක් සිටිය නොහැකි තරම් ය. පසුගිය දිනයන්හි දී ඔබේ දරුවන් ගැන ද පළවූ වාර්තා මම කියැවීමි. එම පුවත් කියැවීමෙන් ඔබ කොතරම් කම්පනයකට පත් වන්නට ඇත් ද? ඔබ සහ ඔබගේ ජනමාධ්‍ය විසින් මා සම්බන්ධයෙන්  ගෙන යන සහමුලින්ම ගොතන ලද ව්‍යාජ ප‍්‍රචාරයන් නිසා මගේ දරුවන් පමණක් නොව මගේ මා පියන් ද වෙබ් අවකාශය තුල කීවරක් ඝාතනය කර ඇත්දැයි  ඔබ දන්වා ද?

බුදුන් දේශනා කළ පරිදි තමන් උපමාවට ගෙන අනුන් ගැන වරක් හෝ සිතා බලන්නට ඔබට හැකියාවක් ලැබේවායැයි මම ප‍්‍රාර්ථනා කරමි.

ඔබ ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන යළි යළි  කතා කරයි. ආචාර ධර්මානුකූල නොවන අන්තර් ජාල පුවත් අඩවි තහනම් කළ යුතු බවට නිර්දේශ කරයි. ශ‍්‍රී ලංකාවට ම විශේෂ වූ ආචාර ධර්ම මාලාවක් ගෙන එන බවට අනතුරු හඟවයි.

අනෙත් අතට ඔබ එල්ටීටීඊ සංවිධානයෙන් මුදල් රැුගෙන දේශද්‍රෝහී ජනමාධ්‍ය භාවිතයක යෙදුනු බවට නම් සදහන් නොකරන ජනමාධ්‍යවේදින් පිරිසකට චෝදනා කරයි. එම ජනමාධ්‍යවේදීන් දැන් ජීවත්වන්නේ විදේශගතව බව ද කියයි. ඔවුනට නඩු පැවරිය නොහැක්කේ ශ‍්‍රී ලංකාවේ නීතියෙන් ඉඩ නැති නිසා බව ද  කියයි.

ඇමැතිතුමනි, ඔබේ එම ප‍්‍රකාශ පළ කරන ඔබේ ජනමාධ්‍ය එම අවස්ථාවන්හි දී පසුබිමෙහි ජනමාධ්‍ය උද්ඝෝෂනයන්හි යෙදී සිටින මගේ පින්තූර දක්වයි. සනාථ කල නොහැකි චොදනාවකට මගේ ජායාරූප යොදන්නේ  කුමණ ආචාර ධර්මයක් අනුව ද? ඔබ කියන්නේ නීතියෙන් නඩු පැවැරිය නොහැකි නිසා එළෙස මුදල් ලබා ගත් අයගේ නම් ප‍්‍රකාශ නොකරන බවයි. නමුත් ඔබේ ජනමාධ්‍ය එම කතාව පසුබිමෙහි මගේ පින්තූර දක්වයි. ඉන් අදහස් කැරෙන්නේ කුමක්ද? නම් දැක්වීමක් නොවේ ද? ඔබ නොකරන දේ ඔබේ වන්දිභට්ටයින්ට කරන්නට අවසර දී ඇත්තේ මන්ද? බලය ඇති නිසා ඔබට සහ ඔබගේ බල සේනාවට කිසිම ජනමාධ්‍ය ආචාර ධර්මයක් අදාළ වන්නේ නැතැයි කියා ඔබ සිතනවා විය යුතු ය. 

ඔබ ජනමාධ්‍යයේ තිබිය යුතු බස ගැන අවවාද දෙයි. ඒ අතර ඔබේ ජනමාධ්‍ය කිසිදු හිරිකිතයක් නැතිව සනාථ කළ හැකි කිසිදු සාක්ෂියක් නැතිව මා සමබන්ධයෙන් දරුණූ වෛර භාෂාවක් පාවිච්චි කරයි. එම වන්දිභට්ටයින්ට ඔබ ජනමාධ්‍ය ආචාර ත්‍යාග පිරි නමයි.

ඔබේ භාවිතය සහ න්‍යාය වන්නේ විරුද්ධවාදීන්ට පමණක් ආචාර ධර්ම අදාළ කොට ඔබේ ජනමාධ්‍ය භාවිතය තුප්පහි කිරීම ද?

පසුගිය සැප්තැම්බරයෙහි පැවැති ජිනීවා මානව හිමිකම් කවුන්සිල රුස්වීම අතරතුර  මාලදිවයින් ජනාධිපතිවරයා ‘‘සුන්නද දේශප‍්‍රිය රටට ද්‍රෝහි වී ඇතැයි’’ අතේ පැලකරන ලද බේගලයක් යළි යළි ප‍්‍රචාරය කරන ලද්දේ ඔබේ ජනමාධ්‍ය විසින් නොවේ ද?  අනෙක් අයට දේශනා කරන ආචාර ධර්ම එවිට තිබුනේ කොහිද? ජනමාධ්‍යයේ ප‍්‍රථම ආචාර ධර්මය නම් සත්‍යයට ඇති ගරු කිරීමයි. ඔබේ ජනමාධ්‍ය හැම දවසක්ම පාසා බිද දමන්නේ එම ආචාර ධර්මය නොවේ ද? ‘ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට’ යන්න ඇමැතිවරන්ට අදාළ නැත්ද?

මා එල්ටීටීඊ සංවිධානයෙන් එක් සතයක් හෝ ලබා ගෙන ඇත්නම් සාක්ෂි ඇතිව හෙළි කරන සේ මා ඔබගේ ආණ්ඩුවට ප‍්‍රසිද්ධ අභියෝගයක් කොට දැන් බොහෝ කල් ය. සත්‍ය තත්ත්වය නම් ඔබ හෝ ඔබේ ආණ්ඩුව සතුව එවැනි කිසිදු සාක්ෂියක් නැතිවීමයි.  එල්ටීටීඊ සංවිධානයෙන් වැටුප් ලැබූ බවට යුද හමුදාවෙහි සහ පොලීසියේ ඉහළ නිලධාරීන්ට නඩු පැවැරීමට හැකි නම් එළෙස මුදල් ලබා ගත්  බවට ඔබ චෝදනා කරන ජනමාධ්‍යවේදීන්ට නඩු පැවරිය නොහැකි යැයි ඔබ කියන විට  අප පිළිගත යුත්තේ ඇයි? ඔබ යෙදී සිටින්නේ සිනමා පටයෙහි දී කාන් සහ මන්දිරා පුත් සමිර් මරා දැමු ඒ බියකරු සමාජ වටපිටාවම ජනමාධ්‍ය නිදහස සහ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අප වැනි පිරිස් මත එල්ල කිරීමටයැයි මම ඔබට චෝදනා කරමි.

මහින්ද රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් මා දරන්නේ උග‍්‍ර විවේචනාත්මක  අදහස් බව රහසක් නොවේ. ඔබේ වගකීම වන්නේ එම අදහස් දැරීමට මට ඇති අයිතිය ජනමාධ්‍ය ඇමැති වශයෙන් ආරක්ෂා කිරීම ය. ඒ   වෙනුවට ඔබ යෙදී සිටින්නේ එම ඉඩ කඩ අසුරා බිය වැද්දවීමට නොවේ ද? විරුද්ධ අදහස් දැරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම ද ජනමාධ්‍ය ආචාර ධර්මයන්ට අයත් වන බව කරුණාකර මතක තබා ගන්න.

ඔබ අපූරු කතාවක් කිය යි. එනම් අධිකරණයක් හමුවෙහි දී සැකයකින් තොරව කරුණු ඉදිරිපත් කළ යුතු නිසා මෙම චෝදනා ජනතාව අතරට රැගෙන යන බවයි (අයිටීඑන් ‘ඇතුලාන්තය’ වැඩ සටහන). මේ කතාවේ තේරුම කුමක්ද? අධිකරණය හමුවේ සනාථ කළ නොහැකි නිසා ජනතාව අතරට රැගෙන යන බවයි. ඉන් සරළවම අදහස් වන්නේ සනාථ කල නොහැකි කරුණූ මත දේශපාලන වෛර ව්‍යාපාරයක් ගොඩ නගන බව  නොවේ ද?

2009 ජූනි මාසයේ දී වෘත්තීය පත‍්‍රකලාවේදින්ගේ සංගමයේ ලේකම් සහ ත්‍යගලාභී ජනමාධ්‍යකරුවකු වූ පෝද්දල ජයන්ත පැහැර ගෙන ගොස් දරුණු වධහිංසා පමුණුවන ලද්දේ මෙවැනි වෛර ප‍්‍රචාරයන් පසුබිමෙහි ය. අද නිදහස් මාධ්‍ය සටන්කරුවන්ට අභුත චෝදනා නඟන ඔබ එම තිර්ශ්චීන අපරාධයේ වග උත්තරකරුවන් නීතියේ රුහැණට හසු කර තිබේ ද? එවැනි එක් අවස්ථාවක් හෝ තිබේ නම් අපට කියන්න.

අපට බොරු චෝදනා නගන ජනමාධ්‍ය ඇමැතිවරයා වන ඔබට අපේ චෝදනා පදනම් වන්නේ ඇත්ත කරුණු මත ය.

ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ තෙවසරකට පෙර අතුරුදහන් වූ අවස්ථාවෙහි දෙසතියකින් ඔහු පැමිනෙනු ඇතැයි කීවේ ඔබ ය. දෙමසකට පෙර යාපනයේ දී පැහැර ගත් වීරරාජ් සහ කූගන් අතුරුදහන්වි නැතැයි ද ඔවුන් ජිවත්ව සිටින්නේයැයි ද කීවේ ඔබ ය. උදයන් නියෝජ්‍ය කර්තෘ කුගනාදන්ට මරණිය ප‍්‍රහාරයක් එල් කළ අවස්ථාවෙහි ජනමාධ්‍යවේදියකුට පහර දුන් විට තමාට කළ හැක්කේ රෝහලට පැමිණ සුවදුක් විචාරීම පමණක් යැයි කීවේත් ඔබ ය.

කලූ ජනවාරි විරෝධය වැලැක්වීමට පොලූ මුගුරු රැුගත් පිරිස් කොටුව දුම්රිය පොළ ඉදිරියට කැඳවා සිටිනු ජායාරුප සාක්ෂි මගින් වාර්තා වී තිබෙනු දුටුවා ද? ? ඔවුන්ට නොමිලයේ බත් පාර්සල් බෙදා දුන් බව වාර්තා වී තිබෙනු දුටුවා ද? ජනමාධ්‍ය සංවිධානයන්ට පැනවූ වාරණ නීති රාජපාක්ෂික පිරිස්වලට බල නොපෑවේ ඇයි? ජනමාධ්‍ය ඇමැති වශයෙන් පිළිතුරු දිය යුත්තේ ඔබයි.  අහෝ ! කෝ ඔබේ ආචාර ධර්ම?

මේ ලැයිස්තුව තව බොහෝ දිගු බව  මතක් නොකළහොත් එය අඩුවක් වනු ඇත.

2010 නොවැම්බර් මාසයේ දී ජනමාධ්‍යවේදියා යනු කවරකුදැයි නියම නිර්වචනයක් අවශ්‍යයැයි කී ඔබ 2012 ජනවාරි මාසයේ දී කියන්නේ ජනමාධ්‍යවේදියා යනු කවරකුදැයි ඔබ තවමත් නොදන්නා බවයි. හරි පුදුමයි නේද?

සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවිම්වලදී ඔබ විසින් ජනමාධ්‍ය නිදහස, ජනමාධ්‍ය ආචාර ධර්ම සහ එල්ටීටීඊයෙන් මුදල් ලබා ගත් ජනමාධ්‍යවේදින් ගැන යනාදී වශයෙන් කරන ලද ප‍්‍රකාශ එකට තබා බලන්න. ඔබටම ඔබ ගැන දුක හිතෙනවා ඇත.

දේශපාලන සහ මතවාදී වෙනස්කම් ගැන විවාද කරමු. කලූ ජනවාරියේ දී ජනමාධ්‍යවේදීන් මරා දමන ලද්දේ ද නැත්ද මාධ්‍ය ආයතන ගිනි තබන ලද්දේ  නැත්ද එම අවස්ථාවන්හිදී ව්‍යාජ අත් අඩංගුවට ගැනීම් මගින් සැබෑ අපරාධකරුවන් බේරා නොහරින ලද්දේද නැත්ද කියා විවාද කරමු. මගේ දේශපාලනය විවේචනය කිරීමට ඔබට ඇති අයිතිය මම  සුරකිමි. එනමුත් සනාථ කළ නොහැකි කතාන්තර මගින්  මා සම්බන්ධයෙන් වෛර මතවාදයක් ඇති කිරීමට ඔබට අයිතියක් නැත. ව්‍යාජ හේතු මත මට ත‍්‍රස්තවාදී ලේබලයක් ඇලවීමට ඔබට හෝ ඔබේ බල සේනාවට ඇති අයිතියක් නැත.

ඇමැතිතුමනි, මගේ නම සුනන්ද දේශප‍්‍රිය වේ. මම ත‍්‍රස්තවාදියෙක් නොවෙමි.

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
- සුන්නද දේශප‍්‍රිය


සබැදි ලිපි
- උගත් පාඩම් කොමිසන් වාර්තාව උපන්ගෙයි මිය යයි
- විමුක්තියේ නිරුවත - සුනන්ද දේශප්‍රිය
- විප්ලවයක් ලඟ එනවා! ඒකට අපි සැරසෙනවා!!
- 2012- මෙතැනින් කොතැනට ද?

Posted by Ravaya on 5:17 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "Mr. Minister, My name is Sunanda, I am not a terrorist"

Leave a reply