ගඩාෆිගෙන් පසු ලිබියාව


පසුගිය 25වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමා එරට කොංග‍්‍රස් මණ්ඩලය අමතා සිය වාර්ෂික Union Addresss නොහොත් ‘රාජාසනා කතාව’ පැවැත්වීය. (ඇමෙරිකානු ඩිමොක‍්‍රැටීක් ජනාධිපතිවරයකු රිපබ්ලිකන් කථානායකවරයකු සිටින කොංග‍්‍රස් මණ්ඩලයක දී මෙම දේශනය පැවැත්වූ  ප‍්‍රථම අවස්ථාව මේ යැ’යි පැවසේ) සිය රටට අදාළ කරුණුවලට අතිරේක වශයෙන් මෙහි දී ජනාධිපතිවරයා සඳහන් කළේ ඉදිරි වසන්ත ඍතුවේ දී තමා චිලී, බ‍්‍රසීලය සහ එල්සැල්වදෝරය යන රටවල සංචාරය කරන්නට අපේකෂා කරන බවයි. එම සංචාරයේදී අත්සන් කරනු ලබන ගිවිසුම් මගින් අමෙරිකානු තරුණයින්ට ඒ රටවල රැුකියා අවස්ථා උදාවනු ඇතැ’යි ඔහු සඳහන් කළේ ය. ඇෆ්ගනිස්ථානයේ පවතින යුද්ධය ගැන සහ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ ප‍්‍රගතිය ගැන මෙන් ම ඉදිරි කටයුතු ගැන ද විස්තර කළ ජනාධිපතිවරයා අනවසරයෙන් න්‍යෂ්ටික පර්යේෂණවල නිරත වන ඉරානයට හා උතුරු කොරියාවට එරෙහිව ගන්නට නියමිත ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනත් හෙළිදරව් කළ අතර ජපානය, එක්සත් රාජධානිය සහ ඊඝ‍්‍රායෙලය සමඟ සබඳතා වැඩි දියුණු කර ගන්නා ආකාරය ද සවිස්තරව දැක්වීය.

සිරියාවේ වත්මන් වාතාවරණය ගැන ද ජනාධිපති ඔබාමා සිය මන්ත‍්‍රීවරුන් අමතා කරුණු ‘ස්වල්පයක්’ සඳහන් කොට ඇත. ඔහු පවසා ඇත්තේ සිිරියාවේ ජනාධිපති බසාර් අල් - අසාද්ට ද ලිබියාවේ ගඩාෆිට අත්වූ ඉරණමට ම මුහුණ දෙන්නට සිදුවනු ඇති බවයි. ‘මීට අවුරුද්දකට පෙර අමෙරිකානු ලේ සිය දැත්වල තවරා ගත් ලිබියාවේ ගඩාෆි වැඩිම කාලයක් රටක් පාලනය කළ ඒකාධිපතියා ලෙස වැජඹුණු නමුත් දැන් ඔහු යන්නට ගිහිල්ලාය. මානව ගරුත්වය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය.’

මෙලෙස අමෙරිකානු ජනාධිපතිවරයා ලිබියාවට අත් වූ ඉරණම  ම සිරියාවට ද ඉල්ලා සිටියත් ලිබියාවේ මිනිසුන්ට ගඩාෆි මරා දැමීමෙන් අමුතු සෙතක් අත් වී ඇති බවක් නොපෙනේ. ලෝක බලවතා ලෙස පිළිගැනෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා එපරිදි සිරියාව ද ලිබියාව හා සසඳන්නට උත්සාහ කළද ලිබියාවේ අරගලය ඉන් වෙනස් බව පැහැදිලිය. විදේශ උදව් ඇතිව එහෙත් විදේශ සොල්දාදුවන්ගේ ජීවිත හානි කිසිවක් සිදු නොවී ගඩාෆි යවන්නට එරට කැරලිකරුවන්ට හැකියාව ලැබුණු බව අත්තය. එහෙත් ලිබියානු පොදු ජනතාවට සෙත සැලසීමේ සම්පූර්ණ ඉලක්කයට ළඟා වන්නට තව බොහෝ දුරක් යා යුතු බව පැහැදිලිය.

ගඩාෆිගෙන් බලය අල්ලා ගන්නට ලිබියාවේ ඔහුට එරෙහි ගෝත‍්‍රික ජනයා විවිධාකාරයෙන් කණ්ඩායම් සෑදී සටන් රජයේ හමුදාවලට එරෙහි ව සටන් කළෝය. ටි‍්‍රපෝලි අගනුරව කැරලිකරුවන් විසින් අල්ලා ගන්නා ලද්දේ නැටෝ හමුදාවේ සහාය ඇතිවය. එම කැරැුල්ලේ දී මිස්රටා, සින්ටෙන් වැනි ප‍්‍රත්‍යන්ත නගරවලින් පැමිණි තරුණ පිරිස් ද අවි අතට ගෙන ගඩාෆිට එරෙහි ම සටන් වැදුණෝය. (ඒ ආයුධ කොහෙන් ඔවුන්ට ලැබුණාදැ’යි දන්නේ දෙවියන් ම පමණි) දැන් අපහසු වී තිබෙන්නේ ඔවුන් ටි‍්‍රපොලියෙන් ඉවත් කිරීමය. පසුගිය දෙසැම්බර් 20 දිනට පෙර අවි භාර දී ටි‍්‍රපොලියෙන් පිටමංව යන ලෙස ඔවුන්ට දැනුම් දී තිබුණ ද ඔවුන් ඒ නියෝගය මායිම් කරන බවක් නොපෙනේ. කැරලිකරුවන්ගේ කාර්ය නිම වී ඇති අතර ඔවුන් ගම්පළාත්වලට යා යුතු කාලය දැන් එළැඹ ඇතැ’යි ඔවුන්ට ඒත්තු ගන්වන්නට නොහැකි ය. ගඩාෆිගෙන් පසු ලිබියාවේ පාලකයන් ලෙස මුුළු ලොවම දැන් පිළිගන්නා ජාතික අන්තර්වාර කවුන්සිලයේ’ නියෝගවලට අවනත වන්නට ඔවුන් තවමත් සූදානම් නැත. එසේම කැරලිකරුවන් සිතන්නේ ගඩාෆි පලවා හැරියේ තමන්ය. මේ අන්තර්වාර පාලනයට දැන් රිංගාගෙන සිටිනා මහත්වරුන් තමන්ගේ විජයග‍්‍රහණය ඔවුන්ගේ පසුම්බියේ රුවාගෙන ඇත්තේය. යනුවෙනි. ගඩාෆි සමයේ විදේශයන්ට පලා ගොස් තමන් රට නිදහස් කැර ගත්තායින් පසුව මෙරටට ආපසු පැමිණ අන්තර්වාර පාලනය පිහිටුවා ගත් අය යටතේ හමුදාවක රාජකාරි කිරීම මේ පුරෝගාමී කැරලිකරුවන් ප‍්‍රතික්‍ෂේප කළේ එහෙයිනි. ගඩාෆි පාලන සමයේ ඇෆ්ගනිස්තානයට පලා ගොස් එහි සටන් කළ ඉස්ලාමිස්ට් සටන්කරුවකු වන අබ්දෙල් හකිම් බෙල්හාජ් යටතේ ක‍්‍රියාත්මක වන ටි‍්‍රපොලි මිලිටරි කවුන්සිලයට ඔවුන් බඳවා ගන්නට දරන ලද උත්සාහය ද ව්‍යර්ථ විය. එහෙත් මේ වනවිට තත්ත්වය තරමක් දුරට වෙනස් වී තිබේ.

මේ අය සංවිධානාත්මක සන්නද්ධ හමුදාවක් නොවී ය. ඔවුන් හුදෙක් ගඩාෆි පලවා හැරීමේ අභිප‍්‍රාය ඇතිව පමණක් සිටියෝය වූහ. ඔවුන් අතර හමුදාවෙන් පලා ආවුන්, මැරයන් මෙන්ම සරසවි සිසුවෝ සහ රජයේ රැකියාවල නිරත ව සිටියෝ ද වෙති. අවි අතට ගත් මේ තරුණයන් මෙහෙයවන අණ දෙන හමුදාවක වැනි නිලධාරියකු නොමැති අතර එහෙයින් විනයක් ද නොවේ. මේ නිසා ඔවුන් මෙල්ල කිරීම අතිශය අපහසු කාරියකි. ඔවුන් අත දරන අවි ආපසු ලබා ගැනුම ද මහත් ගැටලූකි. පසුගිය ජනවාරි පළමුවන දා ටි‍්‍රපොලි නුවර දීර්ඝ වෙඩි හුවමාරුවක් පැවැතිණි. මහ දවාලේ සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් සිවුදෙනෙක් මියගොස් තවත් සංඛ්‍යාවක් තුවාල ලැබූහ. ටි‍්‍රපොලි මිලිටරි කවුන්සලය විසින් සොරකමට චෝදනා කොට රඳවා ගෙන සිටි මිස්රාටා කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයන් සිව් දෙනෙකු මුදා ගැනීම සඳහා මේ සටන පැවැත්විණි.

සින්ටෙන්වලින් පැමිණ කැරලිකරුවෝ මේ වනවිට ටිපොලි ගුවන් තොටුපොලේ රැුඳී සිටිති. ඒ කණ්ඩායමේ නායක මුක්තාර් අල් -අක්දාර් බීබීසී හා පවසා ඇත්තේ තමන් ලේ වගුරා කළ විප්ලවය අතහැර යානොහැකි බවයි. මේ ගුවන් තොටුපොළ රැුකගැනීම ඔවුන්ගේ කාරියකි. මන්දයත් විප්ලවය තවදුරටත් අනතුරට මුහුණ පා සිටින හෙයිනි.

මේ කණ්ඩායම පමණක් නොවේ ඔවුනට එරෙහිව ක‍්‍රියාත්මක වන පෙර ගඩාෆිට පක්ෂපාත වූ තවත් කණ්ඩායම් අද අවි අතැතිව සිටිති. අන්තර්වාර පාලනයේ සභාපති මුස්තාෆා අබ්දෙල් ජලීල් පෙන්වා දෙන්නේ මෙලෙස අවි අතැති සටන්කාමීන්ගේ කණ්ඩායම් නිදැල්ලේ සිටීම සිවිල් අරගලයකට හේතු විය හැකි බවයි.

ඉරාකයේ සදාම් හුසේන් පලවා හැර එරට බලය අල්ලා ගත්තේ අමෙරිකානු හමුදාව විසිනි. ඒ නිසා ඉස්ලාමිය අන්තවාදී ස්වදේශිකයන්ට සිතූ සේ නටන්නට ඉඩක් නොලැබිණි. එවකට එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයාව සිටි රොනල්ඞ් රැුම්ස්ෆිල්ඞ්ගේ සැලසුමට අනුව ඔහුගේ හමුදා ඉරාකයේ බලය පිළිබඳ ඒකාධිකාරය සියතට ගත්තේය. නමුත් ලිබියාවේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් ය. අමෙරිකා එක්සත් ජනපදය කළේ අමෙරිකානුවන්ට පේන්නට බැරිව සිටි - ජනාධිපති ඔබාමා දැනුදු පවසන පරිදි අමෙරිකානු ලේ සිය දෑතේ තවරා ගෙන සිටි - කර්නල් ගඩාෆිට එරෙහිව ලිබියාවේ මිනිසුන් වීදි බසින විට ඒ මිනිසුන්ට පිටුබලය සැපයීමයි. එයින් වියදම අවම වී ජීවිත හානි නොමැති විය. ඊළඟට ඔවුන් කළේ බෙන්ගාසි නගරය මූලස්ථාන කොට ගෙන කැරැුල්ල මෙහෙයැවූ අය බැහැර කොට මුස්තාෆා අබ්දෙල් ජලීල් ප‍්‍රමුඛ කණ්ඩායම අන්තර්වාර පාලනය වශයෙන් හඳුනා ගෙන සුක්කානම ඔවුන් අතට දී ලිබියාවෙන් පිටව යෑමය.

කැරලිකරුවන් කැරැල්ල මෙහෙය වූවා විනා බලය අල්ලා ගැනීමේ ක‍්‍රමෝපායක් ගැන සිතා තිබුණේ නැත. ඔවුන් අපේක්ෂා කළේ ගඩාෆි පලවා හැරීමෙන් පසු තමන් අතට බලය ලැබෙනු ඇති බවයි. එහි දී ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී ගිය කරුණු දෙකකි. පළමුවැන්න ඔවුන් නායකයකු යටතේ සංවිධානගත වී නොසිටීමය. දෙවැන්න විදේශ බලවේගවල මැදිහත් වීම පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් හා තක්සේරුවක් නොතිබීමය.

දැන් ලිබියාවේ අන්තර්වාර පාලනයට ද ගැටලූ කිහිපයකටම මුහුණ දෙන්නට සිදුව ඇති සෙයක් පෙනේ. පළමුවැන්න නම් ඉහතින් සඳහන් කළ පරිදි කැරලිකරුවන් හා පාලනය අතර එකඟත්වයකට ඒමය. එහි දී බොහෝ කරණු සම්පූර්ණ විය යුතු බව පෙනේ. පළමුවැන්න නම් ලිබියානු අනන්‍යතාව රැකෙන පරිදි බිඳී ගිය රාජධානියේ නටබුන් මත ශක්තිමත් නව රාජ්‍යයක් ගොඩනැගීමයි. යට සඳහන් පරිදි මේ විජයග‍්‍රහණයේ සැබෑ උරුමක්කාරයන් තමන්යැ’යි කැරලිකරුවන් සිතන හෙයින් ඔවුන් අතට බලය හුවමාරු වන පරිදි ඉදිරියේ දී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම දෙවැන්නයි. තවදුරටත් අරගල ඇති නොවන පරිදි ඔවුන් සමඟ බලය හුවමාරු කැර ගැනීම තුන්වැන්නයි. මේ සඳහා ව්‍යවස්ථාදායකය සහ විධායකයට අමතරව හමුදාව සහ රාජ්‍ය සේවය ගැන අවධානය යොමු කළ යුතුවේ. මේ සියල්ල කැරී ගෙන යන අතරවාරයේ දී ගඩාෆි කළ පරිදි ලිබියාවේ ආර්ථිකය නඩත්තු කිරීමද ඔවුන්ට පැවරී තිබේ. ගඩාෆිගේ ලිබියාව කාටවත් ණයගැති සිටියේ නැත. ඔහු ලිබියාවේ තෙල් කර්මාන්තය ආදරයෙන් රැක බලා ගත්තේ ය. ඇතැම් වාර්තාවක දැක්වෙන පරිදි ඒ ඔහුගේ මුදල් තිබුණේ ඒවායේ නිසාය.

මේ අතර වර්තමාන ලිබියාවෙන් වාර්තාවන්නේ එතරම් යහපත් තොරතුරු නොවේ. ලිබියාවේ කවදත් තිබුණේ කැලෑ නීතියයි. දැන් තත්ත්වය වඩාත් උග‍්‍රය. පෙර ගඩාෆිට පක්ෂපාත වූ සිටි පුද්ගලයන් කැරලිකරුවන් විසින් බරපතළ වදයට ලක්කරන බව පැවසේ. මේ නිසා මිනිසුන් සිටින්නේ සෑම විටම බියෙන් හා සැකයෙනි. අධිකරණයක් ක‍්‍රියාත්මක නොවන හෙයින් ටි‍්‍රපොලි හමුදා කවුන්සිලයේ තීන්දුව අවසානාත්මක ය.

ලිබියාවේ හමුදාව එතරම් බලවත් එකක් නොවීය. කර්නල් ගඩාෆි හමුදා කුමන්ත‍්‍රණවලට බියේ එතරම් ශක්තිමත් නොවූ හමුදාවක් පවත්වාගෙන ගියේයැ’යි කියනු ලැබේ. එසේ නම් ඔහු භුක්ති වින්දේ එබඳු හමුදාවක් පවත්වාගෙන යෑමේ විපාකය විය යුතුය. කෙසේවෙතත් මිස්රාටා සහ සින්ටින් කැරලිකරුවන් රජයේ හමුදාවට බඳවා ගන්නට අන්තර්වාර පාලනය දැන් තීරණය කොට තිබේ. ඒ අනුව ඔවුන් මේ  සතියේ ලිබියානු පාබල හමුදාවට බඳවා ගැනෙනු ඇත. යුසෙෆ් මැන්ගඋෂ් නමැති නිලධාරියකු එම හමුදාවට නායකත්වය දෙනු ඇත.

මේ අතර පසුගිය 31දා බීබීසී වාර්තා කළේ ලිබියානු මහ මැතිවරණය එළැඹෙන ජුනි මාසයේ පැවැත්වෙනු ඇති බවයි. අවසන් වතාවට එරට මහමැතිවරණයක් පවත්වන ලද්දේ කවදා දැ’යි කියන්නට නොහැක්කේ පසුගිය 42 වසර තුළ ඒ සියලූ වාර්තා අස්ථානගත හෙයිනි. මෙලෙස ලිබියාව කෙමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට ගමන් කරමින් සිටිනා බවක් පෙනේ. එහෙත් සන්නද්ධ කැරලිකරුවන් සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවත්වා ගෙන යෑම එළ හරකා සහ මී හරකා එක්ව ඇඳුවාක් වනු ඇත.

එස්. නන්දලාල්
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Posted by Ravaya on 6:25 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ගඩාෆිගෙන් පසු ලිබියාව"

Leave a reply