අන්තර්ජාල සේවාව නමින් කෙරෙන ටෙලිකොම් මගඩිය
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් කිහිපයක් දැනට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග්, එයාර්ටෙල්, එටිසෙලාට් හා සන්ටෙල් ඒ සඳහා නිදසුන් වෙති.මීට දශකයකට පෙර කාලයත්, වර්තමානයත් සැසඳූ කල තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය යනු වර්තමානයේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය හා සබැඳි නො එසේනම්, ජනයාගේ දෛනික කටයුතු වෙනස් කරන්නට වුවද සමත් වූ අංශ දෙකක් බව නොකිවමනා ය. මේ සමාගම් ද එකිනෙකා පරයා සිය සේවා පුළුල් කරමින් නිවසේ පරිගණකය හෝ ජංගම දුරකථනය තුලින් අන්තර්ජාලය හා අඩුම වෙලාවකින් හා වැඩිම වේගයකින් සම්බන්ධ විය හැකි “අධිවේගී” අන්තර්ජාල සේවාව (high speed broadband) තමන් සතු බවට හුවා දැක්වෙන වඩා ආකර්ශනීය වෙළඳ ප්‍රචාරක ක්‍රම හරහා වැඩි ග්‍රාහකයින් පිරිසක් තම සේවය හරහා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරති.
කරුණු එසේ වුව ද, මේ අවධානය මෑතක සිට ශ්‍රී ලංකාව සියළුම අන්තර්ජාල සේවාවන් හී වේගය සැලකිය යුතු ලෙස අඩුවීම පිළිබඳව යි. දැනට මාස දෙකකට අධික කාලයක සිට අන්තර්ජාල පහසුකම් තුල මේ වේගය අඩුවීම දැකිය හැකි අතර අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්ථායීබව (stability) බිඳී යාම ද බොහෝ විට දැකිය හැකිය. කොළඹ නගරාසන්න ව මේ ලක්ෂණය තරමක් අඩු වුව ද, නගරයෙන් ඈත් වන්නට වන්නට මේ ප්‍රශ්නය වඩා තදින් දැනෙන්නට වන්නේ ග්‍රාහකයින්ගේ ඉවසීමේ සීමාව ද පරීක්ෂා කරන සෙයකිනි.
ගෘහස්ථ වශයෙන් රැහැන්ගත සම්බන්ධතාවයන් (විරෙඩ් adsl) මෙන් ම ඩොන්ගල් (dongle) ආශ්‍රයෙන් සම්බන්ධ වී ඇති අන්තර්ජාල සම්බන්ධතාවල මෙම තත්වය වැඩියෙන් දක්නට ලැබේ. කෙසේ නමුත්, අන්තර්ජාල පහසුකම් සපයන කිසිදු සමාගමක් මගින් මේ ප්‍රශ්නය මෙතෙක් නිසි ලෙස විශ්ලේෂණය කිරීමක් හෝ තම ග්‍රාහක අදහස් විමසීමක් මෙතෙක් සිදු කර නොමැති බව අපගේ අදහසයි. ඔවුනට අවැසි වන්නේ ග්‍රාහකයාගෙන් බිල අය කර ගැනීම පමණෙකි. තම සමාගම විසින් ග්‍රාහකයා වෙත මුදලට ලබා දෙන සේවාවේ ගුණාත්මක බව පිලිබඳ ව ඇති, පැහැර හැරිය නොහැකි ආයතනික වගකීම ඒ ඒ සමාගම් විසින් ම පිලියෙල කර බලෙන් ම වගේ ග්‍රාහකයාගේ ඇඟේ ගසා තිබෙන “සාධාරණ භාවිත ප්‍රතිපත්තිය” (fare usage policy) මත පටවා ඇඟ බේරාගෙන සිටීම කණගාටුවට මෙන්ම හාස්‍යයට ද කරුණක් වී තිබේ.
තම අන්තර්ජාල සම්බන්ධතාවයේ “සැබෑ අධිවේගය” හෝ ගුණාත්මකබව පිලිබඳ ව මෙරට අන්තර්ජාල ග්‍රාහකයින් විසින් ඒ එක් එක් සේවාවන් හී පාරිභෝගික සේවා අංක (hotline) වලට ඇමතූ විට එම සේවා සහායකයින් (customer support representatives) එක්කෝ එවැනි ප්‍රශ්නයක් නොමැති බව පවසති, එක්කෝ ඔවුන් ලබාදෙන පිළිතුරු වලින් ගම්‍ය වන්නේ අමතන්නා තාක්ෂණ පිළිබඳව අල්ප මාත්‍ර වූ දැනුමක් හෝ නැත්තෙකු ලෙස ඔවුන් සලකන බව ය.
තොරතුරු තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් පෙරටුකරගෙන කෙරන මේ මහා ජාවාරම නැවතීමට සහ එයට එරහිව නැගීසිටීමට කාලය එලබ ඇත, මක්නිසාද යත්, සියලුම ආයතන මුදල් අයකරගනු ලැබුවද, කිසිමවිටක නියමිත අන්තර්ජාල සම්බන්ධතාවයේ “සැබෑ අධිවේගය” හෝ ගුණාත්මකබව ගැන අබමල් රේනුවක් තරම්වත් තැකීමක් නැතිබවිණි. මෙය සැබෑවටම ඇස්පනාපිටම කරන මහා හොර තක්කඩි ක්‍රියාවලියකි. තවද මෙසේ උපයාගන්නා මුදල් වලින් ඉහත ආයතන ලංකාවේ හොදම සහ ගුණාත්මක සේවාව වෙනුවන් සම්මාන ලබාගන්න නිසාය.
0 comments for "අන්තර්ජාල සේවාව නමින් කෙරෙන ටෙලිකොම් මගඩිය"