අන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවුණේ සියලුම පිතිකරුවන්ගේ වරදින් - නායක ඩිල්ෂාන්

දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 43 ට දැවී ගොස් වාර්තාගත අන්ත පරාජයක් හිමිවූ  ප්‍රථම එක්දින තරගය තම ක්‍රිකට් දිවියේ අප්‍රසන්නම තරගය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී. එම්. ඩිල්ෂාන් පවසා තිබේ.
අපි ආවේ මෙහෙම පරදින්න නොවෙයි. පිතිකරු ලැයිස්තුව  යළිත් වගකීම පැහැර හැරියා. මෙම පරාජය හිමිවුණේ සියලුම පිතිකරුවන්ගේ වරදින් යැයි ඩිල්ෂාන් පවසා තිබේ.

මෙම අන්ත පරාජය පිළිබඳව සියලුම ක්‍රීඩකයන් වාඩිවී සාකචිඡා කළ යුතු බවත් කිසිම ක්‍රීඩකයෙකුට  අනෙක් ක්‍රීඩකයන්ට ඇඟිල්ල දිගු කළ නොහැකි බවත් ඩිල්ෂාන් පවසයි.

තම කණ්ඩායම හොඳින් පුහුණුවීම් කළ බවත් එක් දින තරගාවලියට සාර්ථකව ක්‍රීඩා කිරීමට හොඳ සූදානමකින් සිටි බවත් පවසා ඇති ඩිල්ෂාන් පිටිය මැදදී සියල්ල කණපිට පෙරළීම  කණගාටුදායක බව පවසා තිබේ.

අපි එක් දිනකදී සාර්ථක වෙනවා. ඊළඟ දිනයේදී අසාර්ථක වෙනවා. මේ දේවල් ටෙස්ට් තරගාවලියේදීත් සිදුවුණා. ඒ ගැන අපි මීළඟ තරගයට පෙර සාකචිඡා කළ යුතුයි. යැයි ඩිල්ෂාන් පවසා තිබේ.

එම තණතීරුව හොඳ තණතීරුවක් බවත්, වැරදි පහරවල්වලට යාමෙන් මෙම අන්ත පරාජය හිමිවූ බවත් පැවසූ ඩිල්ෂාන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් නිසි එල්ලයට පන්දු යැවූ බවත් කියයි.

තම පන්දු යවන්නන් මෙම තරගයේදී වගකීම ඉටු නොකළ බව පැවසූ ඩිල්ෂාන් දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 260-270 අතර සීමාවේ රඳවා ගැනීමට ඔවුන් අ‍පොහොසත්වූ බව පැවසීය.

තිලාන් නොමැතිවීම ගැන අදහස් දක්වා ඇති ඩිල්ෂාන් තරුණ ක්‍රීඩකයන් එක් දින කණ්ඩායමට එක් කර ගත යුතු බැවින් චන්දිමාල් අංක 4 යොදා මහේල අංක 5 ට යෙදූ බවත් තිලාන් අංක 7 ස්ථානයේ යෙදවීම ප්‍රතිපල රහිත බවත් පවසා තිබේ. ප්‍රශ්නය ඇත්තේ පිතිකරු සංයුතිය නොව ඔවුන් දස්කම් නොදැක්වීම බව ඩිල්ෂාන් පවසා තිබේ.

Posted by Ravaya on 1:53 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවුණේ සියලුම පිතිකරුවන්ගේ වරදින් - නායක ඩිල්ෂාන්"

Leave a reply