අද ක‍්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදය - දුමින්ද නාගමුව (ජනරළ)

අද රට තුළ ක‍්‍රියාත්මක වන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදය බව ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් සම්බන්ධීකාරක දුමින්ද නාගමුව මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පැහැර ගෙන යාම්වලට හා අතුරුදහන් කිරීම්වලට එරෙහි සංවිධාන එකතුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදීය.

ඊයේ යාපනයේ අත් පත‍්‍රිකා බෙදීමට යාමේදී ඊට ආණ්ඩුව විසින් හමුදාව හා පොලිසිය යොදා බාධා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත් විණි.

‘‘අද අවශ්‍යව තිබෙන්නේ ජාතික සමගියේ දේශපාලනය. නමුත් ආණ්ඩුව ඉතාම සීරු මාරුවට උතුරේත් දකුණේත් ජාතිවාදය පෝෂණය කරමින් ඉන්නවා. ඊයේ යාපනයේ අත්පත‍්‍රිකා බෙදීමට යාමේදී අපට මුහුණ දීමට සිදු වූ අත්දැකීම කුමක්ද? වව්නියාවේදී කිලෝමීටර් නවයක් යන්න පැය පහක කාලයක් වැය වුණා. එලෙස අපව ප‍්‍රමාද කරන්න විවිධ උපක‍්‍රම අනුගමනය කළා. සමහර උපක‍්‍රම ලැජ්ජා හිතෙන ඒවා.

වව්නියාවට කිලෝමීටර් කිහිපයක් කලින් පාලමක් කැඩිලා, ඒ නිසා යන්න දෙන්න බැහැ කියලා කිව්වා. මේක බොරුවක් බව අපි දන්නවා. එවැනි බොරු කියන්න මේ පාලකයින්ටත් නිලධාරීන්ටත් කැතක් නැහැ කියාත් අපි දන්නවා. නමුත් අනෙක් වාහන එනවා. අපි ඒ වාහන නතර කර ඇහුවාම ඔවුන් කිව්වා, එවැනි සිදුවීමක් නැහැ කියලා.

ඊළඟට කිව්වා පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා කියලා. එහෙම කියලා වාහන පරීක්ෂා කරනවා. තවත් ටිකක් තැන් ගියාම පාලම් තුනක් පුපුරලා යන්න දෙන්න බැහැ කිව්වා. අපේ වාහන නවත්වාගෙන ඉන්නවා. අනෙක් වාහන යනවා.

ඊයේ යාපනයෙන් මරාගෙන මැරෙන ඇඳුම් හමු වෙලා තිබෙනවා, ආයුධ හමුවෙලා තිබෙනවා, ගල්කටස් හමු වෙලා තිබෙනවා, තුවක්කු හමු වෙලා තිබෙනවා, බෝම්බ හමු වෙලා තිබෙනවා. මේ ඔක්කොම හදිසියේම හමු වෙලා තියෙන්නේ ඊයේ.

 ඕමන්ත මුරපොළේ නවත්වන්නේ අපේ වාහන විතරයි. අනෙක් ඒවා යනවා. අපට යාපනයට යන්න ඉඩ දුන්නා නම් අප කරන්නේ යාපනයේ අත්පත‍්‍රිකාවක් බෙදන එක විතරයි. නමුත් ඊයේ අපට සෑම මුර පොළක් මුර පොළක් ගානේම උද්ඝෝෂණ කරන්න සිදු වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙනවාය කියන රටේ අත්පත‍්‍රිකාවක් බෙදන්න ඉඩ දෙන්නේ නැහැ.

අපේ වහනවල දහසකට ආසන්න පිරිසක් ගියා. ඒ සියලූ දෙනා එක්කෙනා එක්කෙනා අරගෙන විස්තර ලියා ගන්නයි, පරීක්ෂා කරන්නයි උත්සාහ කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ යාපනය නගරයේ කවුරුවත් නැති වෙලාවක අපව ගෙන්වා ගන්න බව පැහැදිලියි. මිනිස්සු ඉන්න වෙලාවක කිසියම් සිදුවීමක් වුණොත් ජනතාව දකිනවා.

අපව පරීක්ෂා කරමින් නතර කර ගෙන ඉද්දී එතන ඉන්න නිලධාරීන්ට ඉහළ නිලධාරීන්ගෙන් දුරකතන ඇමතුම් එනවා අපට ඇහෙනවා, ඔතන රඳවාගෙන හිටියා ඇති දැන් එවන්න, ඊළඟ සෙටප් එක හදලා තියෙන්නේ කියලා.

පුලියන්කුලම්වලට ගියාම කියනවා, යාපනය පාරේ යන්න බැහැ කියලා කිලෝමීටර් පනහක විතර අමතර දුරක් තියෙන අතුරු පාරකින් යන්න කිව්වා. නමුත් ඊට විනාඩි දහයකට විතර කලින් ඊයේ උදේ යාපනයට ගිය අපේ වාහනයක් ඒ පාර දිගේම ආවා, කිසිම බාධාවකින් තොරව.

මේ රට ගෙනියන්න හදන්නේ ඉතාම නරක තැනකට. ශිෂ්‍ය සංගම් කාර්යාලවලට ඇවිත් තර්ජනය කරනවා. ශිෂ්‍යයින්ගේ ගෙවල්වලට ගිහින් තර්ජනය කරනවා. මේ ක‍්‍රියාත්මක කරන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදය. ’’

මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර, සුරේන්ද්‍ර අජිත්, මහින්ද දේවගේ, මහේන්ද්‍රන් යන මහත්වරුද අදහස් පළ කළහ.

Posted by Ravaya on 11:39 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අද ක‍්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදය - දුමින්ද නාගමුව (ජනරළ)"

Leave a reply