ආයෝජන මණ්ඩලය බූදලයක් කරගත් විධායක අධ්‍යක්ෂ

නිදහස් වෙළඳ ආර්ථීකය තුළ මෙරට ඇතිකරන ලද ප‍්‍රමුඛතම ආයතනයක් වන ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, එහි මුඛ්‍ය පරමාර්ථය වූ විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීම පසෙක දමා විදේශ ආයෝජකයන් මඟින් තම මඩිය තරකරගැනීමේ දැක්මකින්.
වර්තමානයේ ක‍්‍රියාත්මක වන බව ආයෝජන මණ්ඩල සේවකයෝ පෙන්වාදෙති. අරමුණූ සහ ඉලක්කයන් පැහැදිලි නැති, නන්නත්තාර ගමනක් යන මෙම ආයතනයේ එම ගමන තවත් වේගවත් වී ඇත්තේ, වර්තමාන සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ප‍්‍රදිනාන්දු  හෙවත් සුප‍්‍රසිද්ධ ‘‘පර්ඩි‘‘ සමඟ හවුල්  වී ඇති තවත් වංචාකාර පුද්ගලයෙකු වන විධායක අධ්‍යක්ෂ ධූරයක් දරන ෂිවාන් ඞී. සිල්වා නිසාය. මොහු මේ වනවිට මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ උපදේශක වී ඇති අතර ආයතනයේ සියළු කටයුතු සිදුවන්නේ රජයට නොව, ඔවුන්ට අවශ්‍ය ලෙසය.

ජපන් ආයෝජනයක් ලෙස ආයෝජන මණ්ඩල අනුමැතියෙන්  මෙරට ආරම්භ කර ඇති ‘‘ඔකායා‘‘ නම් කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ගිංගි සෝමවීර යන අය ඉවත්කර, ඒ සඳහා නව නිලධාරීන් 05 දෙනෙකු ජපන් ජාතිකයින්ගෙන් පත්කිරීම සඳහා ඔවුන්ට මෙරටට පැමිණීමට අවශ්‍ය වීසා ලබාදීමට රු. ලක්ෂ 05 ක මුදලක් මෙම ෂිවාන් ඞී. සිල්වා නමැත්තා ලබාගැනීම පිළිබඳව එම ජපන් ආයෝජකයින් මේ වනවිට අදාල අය වෙත පැමිණිලි කර ඇත. එහෙත් එම පැමිණිල්ල මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් යට ගසා, ෂිවාන් ඞී. සිල්වා නමැත්තා ආරක්ෂා කිරීමට උත්සාහ කරයි.

ෂිවාන් මෙතරම් බලගතු පුද්ගලයෙකු වී ඇත්තේ ඔහු නිතර අරලියගහ මන්දිරය තුළ සැරිසරන ප‍්‍රබල එජාප පාක්ෂිකයෙකු වන නිසාය. හිටපු ජනපති සී.ආර්. ද සිල්වා නොහොත් ‘‘බුල්ලා‘‘ ඔහුගේ මාමා වන අතර බුල්ලා, ජනාධිපතිවරයාගේ හිතවතෙකි. එයට අමතරව විදේශ සේවයේ සිටින අපකීර්තිමත්ම නිලධාරිනියක වන ක්ෂෙනුකා සෙනෙවිරත්න, ෂිවාන්ගේ සොයුරියයි. ඇය මහා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා මහ කොමසාරිස් ලෙස ලංකාව අපකීර්තියට පත්කළ තැනැත්තියකි. මෙම සබඳතා මත ආයතනය තුළ බලගතු වී ඇති මෙම විධායක අධ්‍යක්ෂවරයාගෙන් ආයතනයට ඇති යහපත කුමක්දැයි, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ද මැසිවිලි නගති.

Posted by Ravaya on 11:38 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ආයෝජන මණ්ඩලය බූදලයක් කරගත් විධායක අධ්‍යක්ෂ"

Leave a reply