හෙට අනිද්දා බැසිල් පිටුපසත් කොටි ඉන්නවා කියාවි - දුමින්ද නාගමුව

ආණ්ඩුව තම ව්‍යාපාරය පිටුපස එල්.ටී.ටී.ඊ. සංවිධානය සිටිනවා යැයි කියන්නා සේ හෙට අනිද්දා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා පිටුපසත් එල්.ටී.ටී.ඊ. සංවිධානය සිටින බවට ආණ්ඩුව චෝදනා කළ හැකි යැයි ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් සම්බන්ධීකාරක දුමින්ද නාගමුව මහතා පවසයි. එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව තමන්ගේ නිරුවත වසා ගැනීමට කොටි හම යොදා ගනිමින් සිටින බවයි.
මාද්‍ය හමුවේදී වැඩිදුරටත් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය.

‘‘මෙතෙක් තිබුණු ආණ්ඩුවලට කරන්න බැරි වුණු අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම මේ ආණ්ඩුව කරමින් සිටිනවා. අධ්‍යාපනයේ තිබූ සමාන අයිතිය අයිතිය අහෝසි කරමින් සිටිනවා. දුප්පතුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබන්න තිබූ ඉඩ අහෝසි කරලා වඳ අධ්‍යාපනයක් දෙන්න සූදානම් වෙනවා. සපිරි පාසල් කියලා ව්‍යාපෘතියක් ගෙනාවා. අද ඒක ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. පාසල්වලට වෙන් කළ ප‍්‍රාග්ධන වියදම 50%කින් කප්පාදු කර තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන් අරගල කරන්නේ මේ තත්වයට විරුද්ධවයි. ඔවුන් ආණ්ඩුව ගෙදර යනු කියලා පෝස්ටර් ගැහුවේ නැහැ. ඔවුන් සටන් කරන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව, ශිෂ්‍ය මර්දනයට එරෙහිව, විශ්වවිද්‍යාලවල සුබසාධනය කප්පාදු කිරීමට එරෙහිව. මේවා නතර කරන්න කියලායි සිසුන් කියන්නේ. ඒ අරගලයේ සාපේක්ෂ ජයග‍්‍රහණ තිබෙනවා. උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ ලේකම්වරයා කිව්වේ කවුරු මොනවා කළත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගේනවා කියලා. නමුත් දැන් ඒ ලේකම්වරයාටම කියන්න සිදු වී තිබෙනවා, පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නමින් පනතක් ගෙන එන්නේ නැහැ කියලා.

ශිෂ්‍යයින් අරගලයට කැඳවා ගන්නේ ආණ්ඩුවමයි. තමන් එක්ක එකට ඉගෙන ගන්න සිසුන්ගේ පන්ති තහනම් කළාම ඊට විරුද්ධව අනෙක් සිසුන් සටන් කරනවා. සරසවි තුළ සාමූහිකත්වය තිබෙනවා. අද වගේ ශිෂ්‍ය මර්දනයක් මීට පෙර තිබුණේ නැහැ. මෙවැනි ශිෂ්‍ය මර්දනයක් මීට පෙර ක‍්‍රියාත්මක වුණේ 80දශකයේදී. 2010-2011වසර දෙක තුළ පන්ති තහනමට ලක් වූ සිසුන් ගණන 551ක්. මේ වන විටත් 151කගේ පන්ති තහනම් කර තිබෙනවා. ඒ වගේම සිසුන් 57ක් රිමාන්ඞ් භාරයට පත් කර තිබෙනවා. සිසුන්ට විරුද්ධව පවරන ලද නඩු විශාල ගණනක් තිබෙනවා.

දැන් ආණ්ඩුවේ මාධ්‍ය කියනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පිටුපස ජන අරගල ව්‍යාපාරය ඉන්නවා. ඒක පිටුපස එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබෙනවා කියලා. මේ ආණ්ඩුවම තමයි පසුගිය ඡන්දෙදි කිව්වේ කොටි පරද්දලා ඉවරයි, ඒ නිසා ඡන්දෙ දෙන්න කියලා. ඡන්ද ඉල්ලනකොට කොටි පරද්දලා ඉවරයි. දැන් මර්දනය කරන්න  ඕන වුණාම කියනවා කොටි එක්ක සම්බන්ධයි කියලා.

මේක ජනතා විරෝධී ආණ්ඩුවක්. උසස් පෙළ විභාගය සම්බන්ධ ප‍්‍රශ්නයේදී, එළවලූ කූඩ සම්බන්ධ ප‍්‍රශ්නයේදී, බාල සිමෙන්ති සම්බන්ධ ප‍්‍රශ්නයේදී වගේ අවස්ථා ගණනාවකදීම මේ ආණ්ඩුවේ නිරුවත හෙළි වුණා. ඊනියා විශ‍්‍රාම වැටුප් පනත ගෙන එන්න හැදුවේ තරුණ ජීවිතයක් බිලි අරගෙන. ආණ්ඩුවට ඔය පනත් ගෙන එන්න සිද්ධ වෙනවා. මොකද මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් ණය අරගෙන තිබෙන්නේ ඒවා ගෙන එන්න පොරොන්දු වෙලා. දැන් මේවාට විරුද්ධව ජනතාව අරගල කරන විට, ආණ්ඩුවේ නිරුවත හෙළි වන විට ආණ්ඩුව නිරුවත වහගන්න කොටි හම තෝරා ගන්නවා. කොතන හරි අරගලයක් තිබෙනවා නම් ඒක පිටුපස ජන අරගල ව්‍යාපාරය, ජන අරගල ව්‍යාපාරය පිටුපස එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉන්නවා කියන්න තරමට මේ ආණ්ඩුව බංකොළොත් වෙලා.

මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙන කොට බැසිල් රාජපක්ෂ මහත්තයා පස්සේත් එල්.ටී.ටී.ඊ. එක ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම නිමල් සිරිපාල ද සිල්වා වගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පස්සේත් එල්.ටී.ටී.ඊ. එක ඉන්නවා කියලා කියාවි.

මේ ආණ්ඩුව දැන්  ඕන ජනතාවට තමන්ට වඩා ලොකු හතුරෙක් පෙන්වන්න. ඒ හතුරා පෙන්ව පෙන්වා තමයි පාලනය අරගෙන යන්නේ.

මේ ආණ්ඩුවට මොකද නිතරම ටියුනීසියාවේ, ඊජිප්තුවේ අවතාර පේන්නේ? ආණ්ඩුව දන්නවා ආණ්ඩුවට තිබෙන ජන පදනම කොහොම එකක්ද කියලා. ඒ වගේම මේ ආණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ජනතා ද්‍රෝහී එකක් කියලාත් ආණ්ඩුවම දන්නවා.  ඒ නිසා මේ මර්දනය කරන්න හදන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්වත් ජන අරගල ව්‍යාපාරයවත් නොවෙයි. අද මේ කොටි සීල් එක ගහන්න පුළුවන්ද ඒක වළංගුද කියලා බලන්නේ. ඊට පස්සේ ආණ්ඩුවට විරුද්ධ වෙන  ඕනෑම කෙනෙකුට ඒ ලේබල් එක ගහන්නයි මේ සැරසෙන්නේ.’’

මෙම මාධ්‍ය හමුවට ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික සුජිත් කුරුවිට මහතාද මාධ්‍ය හමුවට සහභාගි විය.

Posted by Ravaya on 11:07 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "හෙට අනිද්දා බැසිල් පිටුපසත් කොටි ඉන්නවා කියාවි - දුමින්ද නාගමුව"

Leave a reply