‘‘ජනාධිපතිතුමාට පුලූවන්නම් ඇයි අපිට බැරි’’ ක‍්‍රීඩා ඇමතිට නිලධාරීන්ගෙන් ටොක්කක්

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සම්මේලනවලට ඉදිරිපත් වීමේදී වසර පහක් එකදිගට සම්මේලනවල තනතුරු දැරූ නිලධාරීන්ට මේ වසරේ නිලවරණයට නැවත ඉදිරිපත් වීමේදී වාරණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව ක්‍රීඩා සම්මේලන කීපයකම නිලධාරීහු ඒ පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර සිටියහ.

ප්‍රධානතම සම්මේලනයක ප්‍රධානියෙක් සඳහන් කර සිටියේ වසර පහක් එම තනතුරුවල රැඳී සිටි නිලධාරීන්ට හයවැනි වසරට තම සේවය ලබා දීම සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව නොදීම අසාධාරණයක් බවකි. මේ පිළිබඳව කරුණු දන්වා සිටි එම නිලධාරීයා ‘අපි අපේ කාලය ඇතුළත ස්වේච්ඡාවෙන් උපරිම ලෙස අපේ සේවය කරනු ලැබුවා. අපි ක්‍රීඩාවට ආදරේ නිසයි මුලින්ම තනතුරුවලට පිවිසුණේ. ඒ වගේම වසරින් වසර ක්‍රීඩාව වෙනුවෙන් උපරිම සේවයක් කළා. ඉතින් අපි මේ වසරෙත් ඉදිරිපත් වෙලා තව කළයුතු වැඩකොටසක් ඉටුකරන්නයි හිටියේ. අපිට ඇයි අවසර නොදෙන්නේ. අපේ පාලන කාලය තුළ අපි සේවයක් කරලා නැත්නම් ක්‍රීඩා ඇමැතිතුමාගේ බලතල අනුව අපිව නැවැත්වූවාට කමක් නැහැ. වැඩකරන අපිව නවත්වන්න හිතුවේ කාගේ උවමනාවට ද? ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ඇමැතිතුමාට, මන්ත්‍රීතුමාට ඒ තනතුරු සඳහා ඉදිරිපත්වෙන්න වාර ගණනේ සීමාවක් නැත්නම් ඇයි ක්‍රීඩාවට පමණක් එවැනි වාරණයක්. සුදුසු අයව කැමති නම් සාමාජිකයන් තෝරාගනිවී. මේ අදහස ගැන අපි දකින්නේ මේ “මානව අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස” යැයි පැවසීය.

ක්‍රීඩා සම්මේලනවලට ඉදිරිපත්වූ පලියට තනතුරුවලට පත්වෙන්නේ නැහැ. ක්‍රීඩාවට ඉකුත් වසර පහක් තිස්සේ සේවය කරලා නැත්නම් ඒ අය අපිව ප්‍රතික්ෂේප කරාවි.

“එනිසා අපි බලෙන් පත්වන්න යන්නේ නැහැ.
අපිව ඉදිරිපත් වීමෙන් නවත්වන්න නීතිරීති වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මේක අපේ අයිතිවාසිකමක් ඉදිරිපත්වීම” ඒ නිලධාරින් තිදෙනෙක් දක්වා සිටි අදහස් වේ.

මේ අතර තවත් සම්මේලනයක ප්‍රධානියෙක් සඳහන්කර සිටියේ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍යවරයා දෙවරක් හිතා බැලිය යුතු බවයි. අපි වැඩ කරන කොටසක්. යම් විදියකින් වැඩ නොකරන තනතුරුවලට චාරිකාවලට පමණක් ඇලුම්කරන පිරිසක් පත්වුණොත් වෙන්නේ ක්‍රීඩාවට හානියක්. ඇතැම් සම්මේලනවල ප්‍රධාන නිලධාරීන්, ජාත්‍යන්තර සංගම්, දකුණු  ආසියාතික සංගම් සහ ආසියාතික සංගම්වල තනතුරු දරනවා.

ඒ අයට ඒවා ලැබිලා තියෙන්නේ රට වෙනුවෙන්. ඒ අය දරන තනතුරුවලට. එම තනතුරුවලින් ඉවත් වුණා නම් අර ජාත්‍යන්තරව ලැබි ඇති තනතුරු වෙනත් රටකට යනවා. එවිට ඒ හරහා ලබාගත යුතු ආධාර අපිට අහිමි වෙනවා.

ක්‍රීඩා සම්මේලනවල තනතුරුවලට ඉදිරිපත්වීමේදී වාර ගණනට වාරණයක් දාන්න එපා. ඉදිරිපත්වූ අය දක්ෂනම් අවංක නම් සුදුසුනම් පත්කර ගනීවි. ඒ නිසයි අපි කියන්නේ මෙම නීතිය ගැන තවදුරටත් හිතා බලා තීරණයට එළඹෙන්න කියලා තවත් ප්‍රධාන ජාතික ක්‍රීඩාවක නිලධාරියෙක් එසේ සඳහන් කර සිටියේය.

මෙවර සම්මේලනවල කාලය දෙවසරක් දක්වා දීර්ඝ කිරීමටත්, ක්‍රීඩා සම්මේලනවලට දේශපාලනඥයන්ගේ පැමිණීම වැළැක්වීමටත් ප්‍රධාන තනතුරු සඳහා ඉදිරිපත් වන අයට කොන්දේසි කීපයක් පැනවීමටත් කටයුතු කරන බව පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියේය.

ඉදිරිපත්වන නිලධාරීන් සඳහා පැනවූ කොන්දේසි අතර වසර පහක් අදාළ සම්මේලනයේ තනතුරු දැරූ නිලධාරීන්ට මෙවර තනතුරුවලට ඉදිරිපත්වීමට නොහැකි වන නීතියක්ද ගෙන එන බව එහිදී වැඩිදුරටත් අනාවරණය විය.

Posted by Ravaya on 4:30 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "‘‘ජනාධිපතිතුමාට පුලූවන්නම් ඇයි අපිට බැරි’’ ක‍්‍රීඩා ඇමතිට නිලධාරීන්ගෙන් ටොක්කක්"

Leave a reply