තේරීම් කමිටුවේ නොතේරීම්

දකුණු අප‍්‍රිකාව සමඟ වූ ටෙස්ට් තරගාවලිය නිමා වී එක්දින තරගාවලිය ආරම්භ වී තිබේ. අප මේ සටහන ලියන්නේ දෙරට අතර පැවැත්වීමට යෝජිත පළමු එක්දින තරගය ආරම්භ වීමට වරුවක පමණ කාලයක් ඉතිරිව තිබිය දීය.


මෙම තරගාවලිය නායක තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයේ සුදුසු නුසුදුසුකම් තීරණය කරනු ලබන තීරණාත්මක තරගයක් ලෙස බොහේ විට වර්ග කෙරේ. ලෝක ශූරතා තරගාවලියෙන් අනතුරුව පැවැති තරග මාලා ත‍්‍රිත්වයම (එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය) පරාජයට පත්ව සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මෙම තරගාවලියට මුහුණ දෙන්නේ දැඩි චකිතයකින් යුක්තවීම වැළැක්විය නොහැකිය. නායක ඩිල්ශාන් මේ අතුරින් වඩාත් ම අසරණ යාය. එක් අතකින් ඔහුගේ පිතිකරණයේ අසමත්කමත්, අනෙක් අතින් තම ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා ලකුණු අතර ස්ථාවර නොවීමත් ඔහු මේවන විට මුහුණ පා සිටින දරුණුතම ප‍්‍රශ්නය ලෙස සැලිකය හැකිය.

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ යන් අතුරින් මහේල ජයවර්ධන මේ වන විට ක‍්‍රිකට් පිටියේ රගන භූමිකාව ඩිල්ශාන්ගේ බලවත් සංතාපයට හේතු වී ඇතිවාට සැක නැත. මහේල සැබැවින් ම දක්ෂයෙකි. එහි දෙකක් නැත. එහෙත් මහේලගේ පිත්ත දිගින් දිගට ම ක‍්‍රියාත්මක නොවන්නේ නම් තවදුරටත් මහේලට තම ස්ථානයේ හිමිකම ලබාදීම යුක්තිසහගතද?

එම ප‍්‍රශ්නය මේ වනවිට වර නැගුමට අවස්ථාව හිමිව තිබෙන්නේ දිනේෂ් චන්දිමාල් ද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක සාධකයක් බවට ප‍්‍රවිෂ්ඨව ඇති බැවිනි.

එවන් තත්ත්වයක් තුළ උපුල් තරංග වුවද ඉක්මනින් සාර්ථක පිතිකරුවෙක් බව ඔප්පු නොකළහොත් ඔහුගේ ස්ථානය ද අස්ථාවරවීමට පවතින ඉඩ වැඩිය. පසුගිය තරග දෙස විමසිල්මත් වීමේ දී උපුල්ගේ සාර්ථකත්වයක් අප දුටුවේ නැත. ආරම්භක පිතිකරුවෙක් යනු ආවට ගියාට ලකුණු ලබා ගන්නෙක් නොවිය යුතුය.

කෙසේ වෙතත් මේ ක‍්‍රීඩකයන් තිදෙනා (මහේල, උපුල් සහ දිනේෂ්) පන්දුවට පහරදීමට පැමිණෙන ස්ථාන යම් වෙනසකට භාජනය කළ යුතුයැ’යි අප යෝජනා කරමු. එසේ යෝජනා කරනුයේ නායක ඩිල්ශාන් ආරම්භක පිතිකරු ස්ථානයේ ම රඳවමිනි. ඩිල්ශාන්ගේ පිතිහරඹය දැන් ආවෝගියෝ න්‍යායට අනුගත වී තිබෙන බැවින් ඔහුට ආරම්භක පිතිකරුවා ම හැරෙන්නට වෙනත් ආදේශයක් නැත. එහෙත් මහේලට එවන්නක් නැත. ඔහුට  ඕනෑම තැනක ක‍්‍රීඩා කිරීමේ හැකියාව පවතී. මහේලගේ අක‍්‍රීයය ඉනිම් ගොඩනැගීමට ඔහු මැද පෙළට තල්ලූ කිරීම සුදුසුය යන්න අපගේ මතයයි. එසේම සංගක්කාර ද එවැනන්කට නුසුදුසු ම නොවේ. නමුත් එය කළයුත්තේ අංක 4 සහ 5 තීරණය කිරීමෙන් පසුවය.

අපි අපේ කඩා වැටෙන මැදපෙළ ගොඩගත යුතුය. එබැවින් අප සොයා ගතයුත්තේ මැද පෙළට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි ක‍්‍රීඩකයන්ය. එතැනදී අමතක කළ නොහැකි චරිත වන්නේ මහේල සහ සංගක්කාරය. ඒ අනුව අපගේ යෝජනාව වනුයේ මහේලත්, සංගක්කාරත් මැද පෙළට පැමිණ ආරම්භ පිතිිකරණය ඩිල්ශාන් -උපුල් හෝ ඩිල්ශාන් දිනේෂ් හෝ නම් කරන ලෙසත් අංක 3 පිතිකරු ලෙස උපුල් හෝ දිනේෂ් යොදා ගත යුතු බවත්ය. මෙම  තීරණය ගනු ලබන්නේ නම් මහේල මෙන් ම සංගක්කාරද පෙර මෙන් නොව නැවත වගකීමකින් යුක්තව කටයුතු කරනු ඇතැයි සිතිය හැකිය. මේ ක‍්‍රීඩකයන් මට්ටු කිරීමට නම් අඩුම තරමින් අප එවැනි අත්හදා බැලීමකට හෝ යා යුතුය.

අපේ ක‍්‍රිකට් ඉතිහාසයේ අප දැක ඇති හොඳම මැද පෙළ පිතිකරුවන් වන්නේ අර්ජුන රණතුංග සහ හෂාන් තිලකරත්න ය. ඔවුන් කළ සේවයේ හිඩැස අදටත් පවතී. දැනට පවතින තේරීම් අනුව නම් මේ හිඩැස පිරවිය හැකි සුදුසුම දෙදෙනා වනුයේ මහේල සහ සංගක්කාර ය. ඇතැම් විට තිලාන් මෙම කණ්ඩායමේ සිටියේ නම් එම අඩුව පිරවීමට ඔහුට ද හැකියාව තිබුණි.

නමුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව ක‍්‍රීඩකයන් තේරීමේ දී මේ බව සිතන අයුරක් දක්නට නොමැත. ඔවුන් කරනුයේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙදෙනා මත ම දිගින් දිගට ම විශ්වාසය තබා කටයුතු කිරීමය. තම තමන්ගේ මතයන් සනාථ කිරීම උදෙසා පමණක් කටුයතු කිරීමය. ඔවුන්ට ක‍්‍රිකට් අවශ්‍ය නැත. එනිසා ක‍්‍රිකට් බලන්නට පැමිණෙන්නේ ද නැත.

එසේ වුවද කොමිස් මුදලට ක‍්‍රීඩකයන් තරග මාලාවට ඇතුළත් කිරීම නම්, එදා සිට ම කරති. එය සිදුනොවිය යුත්තකි. මේ සඳහා වහාම තිත තැබීම වත්මන් පාලක කමිටුවේ වගකීමකි. නමුත් එවැනි දෙයක් නතරවේදැ’යි සැක සහිතය. ඒ අලූත් බෝට්ටුවේ සිටින්නේත් පරණ බෝට්ටුවේ ම සිටි පිරිස් ම වන බැවිනි.

-    සත්‍යජිත් වතුගෙදර
-    රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

Posted by Ravaya on 3:08 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තේරීම් කමිටුවේ නොතේරීම්"

Leave a reply