තවත් යුද්ධයක් ආපහු ඇරඹෙනවා - විමුක්ති ජයසුන්දර

චිත‍්‍රපටය කියන්නේ ලෝකයේ තියෙන මිල අධිකම කලාව. ඒ වුණත් අපේ ළමා වියේ (70-80 දශකවල) චිත‍්‍රපටය ආත්ම ප‍්‍රකාශයනය කර ගන්න වෙහෙසවුණු බොහෝ පිරිස් හිටියා. මිලි මීටර් 16, 8 ප‍්‍රමාණවලින් එවැනි උනන්දුවක් තිබුණු අය චිත‍්‍රපටත් කළා. ධර්මසේන පතිරාජ වගේ වෙනත් විදිහට හිතු තරුණ අධ්‍යක්ෂකවරු තමයි. මේ පරපුරේ පරමාදර්ශ වුණේ. 80 දශකය අවසාන වන විට මේ සිනමාවේ ස්වර්ණමය අවධිය අවසාන වුණා. ඩොනල්ඞ් කරුණාරත්න වගේ සිනමාවේ දැවැන්තයෝ මේ කඩා වැටීමේ ප‍්‍රතිඵලයක් විදිහට රට අතඇරලා ගියා. ඊට පස්සේ සිනමාව ඇත්තටම කඩා වැටුණි. ‘83 කෝලාහලේ දී සිනමා ශාලා ගිනි තැබුණා. චිත‍්‍රපට කියලා යමක් සිද්ධවුණේ කුණුහරුප ඇතුළත් ඇතැම් චිත‍්‍රපට. එහෙත් 20 වන සියවසේ අන්තිම දශකයේ ඉඳං මෙරු මතුවෙනවා වගේ කලාත්මක පරිචයකින් යුතු සිනමා පරපුරක් බිහිවෙනවා. ඔබ ඒ අතර එක්කෙනෙක්. ප‍්‍රසන්න විතානගේ, හඳගම, ජයන්ත චන්ද්‍රසිරි, බූඩි ආදී වශයෙන් ගත්තහම ඒ නම් වැලත් දිගු එකක්, කඩා වැටුණ සිනමාවේ නටබුන් අතරින් මේ හරවත් සිනමා පරපුර බිහිවෙන්නෙ කොහොමද?
89ට කලින් උතුරේත්, දකුණේත් තරුණයාට ප‍්‍රශ්නය වුණේ ප‍්‍රකාශනය අහිමිවීම නේ. ඒ කලාවේ ප‍්‍රකාශනය අහිමිවීම එක්තරා දුරකට ඔවුන් දේශපාලනය කිරීම හරහා පිරිමසා ගත්තා. කලාව ප‍්‍රගුණ කරමින් ඉදිරියට යා යුතු තරුණයෝ දේශපාලනය තම මාධ්‍ය බවට පත්කර ගත්තාම, සෙල්ලප්පෙරුම වැනි අයගේ විනෝද කටයුතු විතරයි සිනමාව වශයෙන් ඉතිරි වුණේ. ඒත් එක්කම සැබෑ කලාවට හතුරු ආර්ථික තත්ත්වයකුත් දරුණු වාරණ තත්ත්වයකුත් රටේ ඇතිවුණානේ. තරුණ කලාකරුවන්ට හෘදය සාක්ෂිය සමඟ ප‍්‍රශ්නයකුත් තිබුණානේ. රිචඞ් සොයිසා වගේ කලාකරුවෝ ඒ හෘදය සාක්ෂියට එකඟව වැඩ කරලා අවසානයේ මැරුම් කනවා. ඒක අපිට වෙච්ච වැරදීමක් කියලාත් හිතෙනවා. කලාව අඛණ්ඩව කෙරෙන්න  ඕනෑ. රටේ මොන දේශපාලන වාතාවරණයක් ඇති වුණත් කලාව කරන මිනිස්සු කලාව කළ යුතුයි. කලාවට තියෙන තැන මොන වාතාවරණයක් තුළ වුව රැුක ගත යුතුයි. සමහර විශිෂ්ට කලාකරුවෝ ඉතාම දරුණු ඒකාධිපතියන්ගේ පාලන කාලයෙන්හිදීත් කලාව කරලා තියෙනවා. ඒවා ඉතිහාසය හරහා අද දක්වා ඇවිල්ලත් තියෙනවා. ඒත් ඒක අපේ රටේ හරියට වුණේ නෑ. මේ නිසා තමයි එක කාලෙක හොඳ සිනමාවේ රික්තකයක් එන්නේ. සල්ලිකාරයෝ චිත‍්‍රපට අධ්‍යක්ෂණය කරන්නයි. සල්ලිකාර නළු නිළියො චිත‍්‍රපට නිෂ්පාදනය කරන්නයි ආදි වශයෙන් පැමිණෙන්නේ මේ රික්තක යුගයෙදී. ඒත් ඒ රික්තකය අවසන් කරලා අපේ පරම්පාරාවේ පිරිසක් සිනමාට එනවා. එහි සමාරම්භකයා ප‍්‍රසන්න විතානගේ. අපි චිත‍්‍රපට බලනවා. හදාරනවා. කථා කරනවා. ඒත් යමක් කර  ගන්න බෑ. එහෙත් ප‍්‍රසන්න මැනැවින් සිනමාවේදය හදාරලා සිනමාවට එනවා. ඒක නව සිනමා අරුණෝදයට ප‍්‍රබල බලපෑමක් වුණා. ඔහු ඒ සඳහා විශාල පූර්ව සූදානම්වීමක් වෙනවා. ඒ එක පැත්තක්.

රටේ යුද්ධය වෙනුවට සාම කතා බහක් ඇතිවෙනවා. රාවය, විවරණ වැනි පත්තර සඟරා හරහා සංවාදයක් දියත් වෙනවා. විභවි වැනි ඉහළ මට්ටමේ සංස්කෘතික ආයතන බිහිවෙනවා. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන වැනි අය මේ දැනුම සමාජ ගතකිරීමට විශාල මෙහෙයක් කරනවා. මේ සියල්ලේම ප‍්‍රතිඵලයක් විදිහට තමයි 94 ආණ්ඩු වෙනසකුත් ආවේ. ඒ ප‍්‍රබෝධය කලාව පැත්තෙන් තවමත් ඉස්සරහට යනවා. අපි යුද්ධය ගැන කථා කළා. ප‍්‍රසන්න පුරහඳ කළුවර තුළින් මම ‘සුළඟ එනු පිණිස’ තුළින් ඒ දේ කතා කළා. අපි හිතුව මන්ත‍්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව ඇතුළේ යුද්ධය ගැන කථා කරන්න පුළුවන් නම් කලාකරුවාට ඊට වඩා ලයිසන් එකක් තියෙනවානෙ කියලා. ඒත් ඒක එහෙම නෑ කියලා තේරුණේ අපේ සිනමා කෘතිවලට ඇතිවුණු එරෙහිවීම් වලින්. ප‍්‍රසන්නටවත්, හඳගමටවත්, මටවත් ඒවායෙන් බේරිලා ඉන්න බැරි වුණා. ‘අක්ෂරය’ මුළුමනින්ම තහනම් වෙනවා. ප‍්‍රසන්න ‘පුරහඳ’ කළුවර වාරණය කළාම මේ සිස්ටම් එකේම තියෙන ආයුධ පාවිච්චි කරමින් එයට සාර්ථකව අභියෝග කරනවා. ඊට පස්සේ ජාතිකවාදී දක්ෂිණාංශික බලවේග වෙනත් විදිහේ ප‍්‍රහාරයන් ටිකක් සූදානම් කර ගන්නවා. විදේශීය බලවේග, එන්ජී ඕ ඒ ආදී වශයෙන් මගේ ‘සුළඟ එනු පිණිස’ නිසා මම දවසින් එල්ටීටීඊකාරයෙක් බවට පත්වුණා. මේ අලූත් ප‍්‍රවාහය බලවත් වුණා. අක්ෂය තහනම් වුණා. මගේ චිත‍්‍රපටය භාගයක් තිරගත වෙමින් තිබෙද්දී අතරමග නතර වුණා.

දැන් තියෙන්නේ නැවතත් භයානක තත්ත්වයක් ඒ තත්ත්වය යටතේ මේ දේශපාලන ක‍්‍රියාකාරිත්වය මැනවින් තේරුම් අරගෙන නේද සිනමාව කරන්න වෙන්නෙ? රටේ කවදාවත් නැති තරමට කලාව වාරණයට ලක් කරන්න පුළුවන් පසුබිමක් ඇතිවෙලා තියෙනවා.

ඔව්. ඒත් මිනිසුන්ට විසින් රැගගෙන ඉන්න විමුක්ති අවකාශයකුත් ඉතිරිවෙලා තියෙනවා. සාම්ප‍්‍රදායික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බොහෝ දේ දුර්වලව හරි තවමත් තියෙනවා. මේ වගේ පසුබිමකයි නිර්මාණ කරන්න වෙන්නෙ කියලා අපි තේරුම් ගත යුතුයි.

මේ වගේ වාරණ තත්ත්යක් යටතේ ඔබට හා ඔබේ සිනමා පරම්පරාවට නිර්මාණ කාර්යයේ නියැලෙන්න පන්නරය ලැබුණේ කොහොමද?

දකුණේ හා උතුරේ ඇතිවන අරගලයේ පන්නරයත් ඒ හා සමගාමීව, පියසීලිලා, සුචරිතලා, සුනිල් විජේසිවර්ධනලා ආදී විචාරක පරම්පරාවත්, පතීලා වගේ සිනමාකරුවන් කළ අරගලවලිනුත් ලැබුණු ආවේශය අපට බෙහෙවින් උපකාර වෙනවා. ඒ අය තමයි අපට වැඩ කරන අවකාශයක් හැදුවෙ. අපට වැඩ කරන්න ලයිසන් එක අරං දුන්නේ ඒ අය. තියෙන තත්ත්යට එහා විකල්ප අදහසක් දැරීම කලාකරුවාගේ වගකීමක් ආදී වශයෙන් අදහසක් සමාජය තුළ රෝපණය කළේ ඔවුන්. සිනමාව, කලා, දේශපාලනය තුළ බහා එදා හොඳින් සාකච්ඡා වුණා. අද කතා කරන මානව හිමිකම්වලට එදා ඒ අය අතින් තමයි නිර්වචන ලැබුණේ.

යුද ජයග‍්‍රහණයට පූර්ව ආසන්න කාලයෙන් පසුව සමාජයේ මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්ෂේත‍්‍රයේ වැඩ කළ අයගේ කටවල් වැහුවානේ. උදාහරණයක් විදිහට ජයදේව උයන්ගොඩ වගේ කෙනෙක් ඒවා ගැන කතාකරන්නෙම නැති තරම් නේ. ඒත් කලාකරුවන්ගේ ප‍්‍රකාශනය එහෙම වහන්න බැරිවුණා. අක්ෂරය තහනම් කළා. ඒත් තරුණයො තමන්ගේ අභිමත මාර්ග ඔස්සේ චිත‍්‍රපට තවමත් හදනවා.

අපේ පරම්පරාවේ ආදර්ශකයන් ලෙස සැලකිය හැකි ධර්මසේන පතිරාජ වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වැනි සිනමාකරුවන්ට වඩා ඊළඟ පරම්පරාව නියෝජනය කරන ප‍්‍රසන්න, හඳගම ඔබ වැනි අයට ජාත්‍යන්තර තලයේ අවකාශයක් විවර වෙනවා. එයත් ඔබලාට සිනමාවේ යෙදී සිටීමට ශක්තියක් සැපයෙනවා නේද?
ඔව්. සිනමාකරුවා හෝ වෙනයම් කලාකරුවකු නිශ්චිත භූගෝලීය රාමුවක සිරවිය යුතුය කියලා නියමක් නෑනේ. පතිරාජලා උසස්ම ගණයේ චිත‍්‍රපට හැදුවා. ඇත්තටම ලෙස්ටර්ගෙන් පස්සෙ හිටිය උසස්ම චිත‍්‍රපටකරුවා පතිරාජනේ. ඒත් ජාත්‍යන්තරය ඔහු ගැන දන්නෙ නෑ. සාම්ප‍්‍රදායික සිනමා සම්මාන උළෙල කිහිපයකට තම චිත‍්‍රපට යැවීමෙන් පමණක් ඔහු සෑහීමකට පත්වුණා. ඇත්ත වශයෙන්ම මගේ විශ්වාසය හැටියට අදුර් ගෝපල් ක‍්‍රිෂ්ණන් වැනි සමහර සමකාලීන ඉන්දීය හෝ කලාපීය සිනමාකරුවන්ට වඩා පතිරාජ නිර්මාණ ශීලීයි. ඒත් අදුර්ලා ජාත්‍යන්තර සිනමාවේදී මුණ ගැහෙනවා. සාකච්ඡුා වෙනවා. ඒත් පතිරාජ අපට ජාත්‍යන්තර සිනමාවේදී මුණ ගැහෙන්නෙ නෑ. ඒකට හේතු ගොඩක් තිබුණා. අන්තර් ජාලය වගේ පහසුකම් පතීලගේ යුගයේදී විවෘත වෙලා තිබුණේ නෑ. ජාත්‍යන්තරය සමඟ සුභඳතා අද තරම් දියුණු නෑ. ඇත්තටම අපි ආපහුහැරිලා බැලූවොත් ප‍්‍රසන්න විතානගේ තමයි මේ සියල්ල අපට හඳුන්වල දීලා ජාත්‍යන්තරයට දොර විවෘත කළේ. පතිරාජලාගේ යුගයේදී ඔවුන් ජාත්‍යන්තරයට සිය නිර්මාණ විවෘත කරලා තිබුණා නම් අපට අපේ වැඬේ හොඳටම පහසු වෙනවා.

ඔබ සිනමාකරුවෙක් විදියට අවශේෂ කලාවන්ගේ අන්තර් පෝෂණය ලැබුවෙක්ද?

සැබවින්ම. අපි චිත‍්‍රශිල්පිය ගනිමු. ඈත යුගයේ ඉඳන්ම චිත‍්‍ර ඇන්දා. චිත‍්‍ර අපි දැක්කා. ඒත් චිත‍්‍ර ශිල්පියෝ සිය නිර්මාණ හරහා සමාජ කතිකාවක කොටස්කාරයො වුණේ. ජගත් වීරසිංහලා වගේ චිත‍්‍ර ශිල්පියෝ දැනුවත්ව ඒ කාර්යයට අත ගැහුවාට පස්සෙනේ. ඒවා අපේ සිනමා ආගමනයට අපේ සිනමා සම්ප‍්‍රදාය සකස් කර ගැනීමට බලපෑමක් වුණා. අනෙක් කලා ක්ෂේත‍්‍රයනුත් එහෙමයි අපට බලපෑවේ.

ඔබගේ ‘සුළඟ එනු පිණිස’ චිත‍්‍රටය අරගෙන බලමු. එය ලංකාවේ හොඳින් අලෙවිවන සිනමාධාරාවට අයත් එකක් නොවේ. ඒත් ඔබ අතින් එය හැදුණා. මේ අලෙවිය ගැන කාරණය ඔබ නොතකා හිටිනවාද?

මෑත කාලෙ හොඳින් දුවපු චිත‍්‍රපටයක්නෙ ‘අබා’ එත් එහි නිෂ්පාදකයා කියනවා ඒ චිත‍්‍රපයට පාඩුයි කියලා. එහෙම නම් ලංකාව තුළ ලාබ ලබන්න චිත‍්‍රපට හැදීම ලේසි වැඩක් නොවේ. ඒ අමාරු වැඬේ කරනවාට වඩා කලාත්මකව සාර්ථකවන, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව චිත‍්‍රපට හැදුවොත් එය වඩා වැදගත්නේ. මම හොයාගෙන එන නිෂ්පාදකයන්ට කියන්නෙත් ඒ දේමයි. වඩාත් තිරසාරව සිනමාවේ කලාත්මක මූලයන් පරිපූර්ණව තියාගෙන සිනමාවේ නියැලීමට ප‍්‍රසන්නත් හඳගමත් අපි වගේ අයත් දරන උත්සාහයන් අපේ කලාපයේ හැම රටකම දකින්න පුළුවන්. ඔවුනුත් ඒ මාර්ගයෙ ගිහින් සාර්ථක වෙලා තියෙනවා. ආත්ම ප‍්‍රකාශනයක් සිනමා කෘතියක් බවට පත්කිරීමේ අවස්ථාව අප හැමෝටම ලැබිල තියෙනවා. එය වරක් නොව කීපවරක් සාර්ථක වෙලත් තියෙනවා. ඉතින් අමාරු වුණත් ඒ පාරෙම යන්න පුළුවන්කම තියෙද්දී අපි ඇයි ඉන් ඉවත් වෙන්නේ.

ඔබේ චිත‍්‍රපටයේ සිංහල නාමය ‘සුළඟ එනු පිණිස’ වුණත් එහි ඉංගිරිසි නම The Forsaken Land (මුඩුබිම) ඇයි ඔබ මුඩුබිම වශයෙන් චිත‍්‍රපටය නම් කළේ.

මේ යුද්ධයට බලපාපු සුවිශේෂ මානව කාරණා ගණනාවක් තිබුණත් සිංහල අන්තවාදී පාර්ශ්වයනුත්. දෙමළ අන්තවාදී පාර්ශ්වයනුත් කරන අරගලය භුමියක් වෙනුවෙන් කරන සටහක් ලෙස ඌනනය කෙරුණා. මව්බිම, නිජබිම, මාතෘභූමි, රණබිම ආදී වශයෙන් දෙපාර්ශ්වය විසින්ම වර නැගුණු ඒ බිම මම හැඳින් වූයේ ‘‘මුඩුබිම’’ නමින්. ඒ හැඳින්වීමෙන්ම දෙපාර්ශ්වයෙන්ම අවි ගැනීම අර්ථ ශුන්‍යයක් ලෙස මගේ වියමන තුළින් ප‍්‍රකාශ කළා. ලෝකයේ වෙනත් රටවල යුද්ධය පාදක කොට තැනුණු චිත‍්‍රපට Action (ක‍්‍රියාදාම) චිත‍්‍රපටයි. එහෙත් අපේ යුද්ධය ගැන කෙරුණු චිත‍්‍රයට මානුෂීය අරුතක් ගැබ්වුණු යුද්ධයෙන් බැටකන පීඩිතයන්ගේ විලාපය ගැබ්වුණු ඒවා. යුද්ධයෙන් කවුරු දිනුවත් පීඩිතයන්ට පරාජය අත්වී හමාරයි. මොකද යුද්ධය පවතින්නේ බලාපොරොත්තු දේශයක් වෙනුවෙන් නොවේ. මුඩුබිමක් වෙනුවෙන්. මේ චිත‍්‍රපටය හැදෙන කාලයේ යුද්ධයක් නෑ. සාමය වෙනුවෙන් සූදානමක්  තියෙනවා.

මුඩුබිමක් දෙපැත්තෙ යුද්ධයකට අවශ්‍ය භෞතික හා මානුෂික අවිආයුධ සුදානම්ව තියාගෙන ඉන්නවා. මේක ලෝකයේ යුද්ධ ගැන හැදුණු චිත‍්‍රපටවල නොකියවුණු දෙයක්. මං හිතුව මේ තත්ත්වය සිනමාරූපීව ඉදිරිපත් කිරීම ලෝකයේ ඉස්සරහට යන්න හොඳ විදිහක් කියලා.

ජගත් වීරසිංහගෙ චිත‍්‍රවල බියුටි එක සඳහා කියලා ඔහු එක පින්සල් පාරක්වත් ගහන්නේ නෑනේ. ඔබගේ චිත‍්‍රපටයේත් මේක පේ‍්‍රක්ෂක ආකර්ෂණයට සුදුසුයි කියලා ඇතුළත් එක දර්ශනයක්වත් නෑනේ.

වාණිජ සිනාමාවෙන් ලස්සන කිරීම කියලා වෙනම අර්ථයකින් ගන්නේ.

හැබැයි ලෙස්ටර්ගේ සිනමාවේ ඒක තියෙනවා. උදාහරණයක් බැද්දේගම. එහි යක් නැටුම ආදිය.

ඔව්. ඒක එහෙම වුණා. ලස්සන දැකීම හදන්න  ඕනෑ දෙයක් නොවේ. පේ‍්‍රක්ෂකයා හා රසිකයා දකින්න  ඕනෑ දෙයක්. ජගත්ලා චිත‍්‍ර ශිල්පිය හරහා ඒ දැනීම තමන්ගේ රසිකයන්ට, අපිට කලින් දුන්නා.

කලාවේ කැතක් කියලා දෙයක් නෑ. ලස්සන කියලා දේකුත් නෑනේ.

ඒක ඇත්ත. බිභත්ස්‍යයත් (පිළිකුලත්) රසයක්නේ.

ඔබ වෙනුවෙනුත්... ඔබට විරුද්ධවත් බොහෝදෙනා කථා කළා. සමහරවිට ගහ බැන ගන්න අවස්ථාවලට ආසන්න වුණා. රටේ එහෙම වෙද්දී ඔබ මොකවත්ම ඒවා මැදිහත්වීමක් කළේ නෑ. කළ එකම දේ කෘතිය මුදාහැරීම විතරයි. ඔබට දැඩි විශ්වාසයක් තිබුණද මේ සියලූ තත්ත්වයන්ට තම නිර්මාණයම උත්තරක් වේවි කියලා.

මේ චිත‍්‍රපටයට කෙරෙන මානව අනීතික ක‍්‍රියාකාරිත්වය හරහා ‘නොවැම්බර් ව්‍යාපාරය’ බිහිවෙනවා. එහෙත් ඒ හැරුණු කොට එතෙක් මානව අයිතීන්, ප‍්‍රකාශනයේ නිදහස අරබයා අරගල කළ සියල්ලම එතෙක් ඇති වූ අලූත් තත්ත්වයට මුහුණ නොදී නිහඬ වෙනවා.

හඳගම ගේ ‘අක්ෂරය’ තහනම් කළ වෙලාවේ එයා ඒකට විරුද්ධව සමාජ බලවේග ඒකරාශී කරලා අධිකරණයටත් ගියා. ඒත් ඊට සමකාලීනව ඔබ ගේ ‘සුළඟ එනු පිණිස’ ට ‘අක්ෂරය’ට විරුද්ධ වූ සමාජ කණ්ඩායම්ම එරෙහි වෙද්දී ඔබ සටන් නොකර නිහඬ වුණා. ඇත්තටම මේ ගැන ඇතැම් උදවියගේ දෝෂාරෝපණයටත් ඔබ ලක් වුණා.

http://a3.sphotos.ak.fbcdn.net/photos-ak-snc1/v2857/179/33/14625617597/n14625617597_2463055_482311.jpg
අක්ෂරය තහනම් වූ කාලයත්, මගේ චිත‍්‍රටයට විරුද්ධව යම් යම් දේ ඇතිවුණ කාලයත් එකම අවදියක්. එහිදී සමාජයේ සම්පූර්ණ තත්ත්වයම රණකාමී ස්වරූපයක් ගෙන තිබුණා. ඒ වෙලාවේ හොඳම දේ ලෙස මට පෙනුනේ නිහඬවීමයි. ඒක උපක‍්‍රමයක්. ඒ රණකාමී පරිසරය බැහැර වූ විට යළි චිත‍්‍රපටයට හිමිතැන ලැබෙනවා. අක්ෂරයේදී එහෙම වුණේ නෑ. ඒ අවධියේ බහුතර මතයට එරෙහිව හඳගම නැගිට්ටා. උසාවි ගියා. අන්තිමට සිදුවුණේ කවදාවත් චිත‍්‍රපට වාරණය නොකරපු උසාවිය පළමුවරට චිත‍්‍රපයක් තහනම් කිරීමයි. අනාගතයේදී අධිකරණය චිත‍්‍රපට වාරණය කිරීමේ පූර්වාදර්ශය ගන්නේ අක්ෂරය චිත‍්‍රපටය වාරණය කිරීමෙන්. එදා ඒ අවස්ථාවේ ස්වරූපය හඳුනාගෙන අක්ෂය වෙනුවෙන් සටන් නොකර හිටියා නම් සමහර විට අද චිත‍්‍රපටය පෙන්නන්නත් තිබුණා.

මෙම සුළඟ එනු පිණිසට පස්සේ චිත‍්‍රපට දෙකක් කළා. එකක් ‘‘අහසින් වැටේ’ අනික ‘මස්රූම්’, ‘අහසින් වැටේ’ ටොරාන්ටෝ උළෙල නියෝජනය කළා. එය වැනිස් චිත‍්‍රපට උළෙලත් නියෝජනය කළා. ඒත් ඒ චිත‍්‍රපටය තාමත් ලංකාවේ පෙන්නුවේ නෑ. අක්ෂරයෙන් පස්සෙ ඇති වුණු වාතාවරණය තුළ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම හරිම අපහසුවක් වුණා. ඒ චිත‍්‍රපටය හැදෙන්නෙ යුද්ධය ඉවර වෙන්න අවුරුද්දකට කලින්. මං දැනගෙන හිටියා මේ යන විධියට යුද්ධය ඉවර වෙනවා. කියලා. චිත‍්‍රපටයෙන් කියවෙන්නෙත් ඒකයි.

ඒත් තවත් යුද්ධයක් ආපහු ඇරඹෙන බව තමා මං කියන්නේ. තරුණයන්ට හැමදාම තියෙන ප‍්‍රශ්නය. එනම් අවුරුදු 20කට සැරයක් යළි යළි ඇතිවන ලේ වැගිරීම සිදුවෙනවා. ඒක නතර කර ගන්න අපි වෑයම් කරන්නේ නෑනෙ. නැගිටීමක් ඇතිවූ ගමන් එය පරාජය කරලා සුපුරුදු විධිහට තව අවුරුදු 20ක් අපි ඉස්සරහට යනවා. හරි නම් වෙන්න  ඕනෑ යුද්ධය පරාජය වූ විගසින් යුද්ධයට බලපෑ හේතු සොයා ඒවාට පිළියම් යෙදීම නේ. කලාවෙ කියන්නේ රටක සමාජයක මතක පොත නැති කළාම පාලකයන්ට  ඕනෑ දෙයක් කරන්න පුළුවන් නේ.

කොහොම ද ඔබ බෙංගාලය වෙනුවෙන් චිත‍්‍රපටයක් හදන්නේ?

මගේ පළමු චිත‍්‍රපට දෙක දැකපු බෙංගාල චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් මට කිව්වා මං ඔයාට නිෂ්පාදකයෙක් හොයා දෙන්නම් ඇවිල්ලා අපිට චිත‍්‍රපටයක් කරන්න කියලා. ඉතින් නිෂ්පාදකයෙක් හමුවුණා. ඔහු කිව්වා  ඕනෑම නිදහසක් පාවිච්චි කරන්න මං සල්ලි වියදම් කරන්නම් කියලා. චිත‍්‍රපටය නිෂ්පදනය වුණා මගේ කැමරා ශිල්පි චන්න දේශප‍්‍රිය’ හැර අනෙකුත් සියලූම ශිල්පීන් බෙංගාලි සිනමාවේ නිරත උදවියයි.

-    චන්ද්‍රරත්න බණ්ඩාර
 http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc1/6926_161401107597_14625617597_3607226_7048621_n.jpg

Posted by Ravaya on 2:47 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තවත් යුද්ධයක් ආපහු ඇරඹෙනවා - විමුක්ති ජයසුන්දර"

Leave a reply