මේ වසරේ මගෙත් එක්ක සෙල්ලම් බැහැ - ක්‍රීඩා ඇමැති

මේ වසරේදී ක්‍රීඩා සම්මේලනවලට පත්වෙන නිලධාරීන් තමන් ලබාගත් තනතුරුවල කැපවීමකින් සේවය නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට සිදුවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ජාතික ක්‍රීඩා පනත අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි සෑම ක්‍රීඩා සම්මේලනයක්ම තම සම්මේලනයේ වාර්ෂික නිලවරණ මාර්තු මස 31 වැනි දිනට පෙර අවසන් කළ යුතු වේ. මෙවර පැවැත්වීමට නියමිත නිලවරණ ගැන සඳහන් කර සිටි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙවර සම්මේලනවල මුල් පුටුවලට ඉදිරිපත් වීමට බලා‍පොරොත්තු වන නිලධාරීන් වෙනුවෙන් විශේෂ කොන්දේසි මාලාවක් කෙටුම්පත් කර ඇති අතර එය ඉදිරි දිනවලදී ක්‍රීඩා පනතට එක් කිරීමට කටයුතු යොදන බවද පැවැසීය.කෙටුම්පත් කිරීමට යෝජිත නව යෝජනා අතර, ක්‍රීඩා සම්මේලනයක නිල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කිරීම, ක්‍රීඩා සම්මේලනයක ‍ලේකම් සහ සභාපති ලෙස දිගටම වසර පහක් සේවය කර ඇති නිලධාරීන් නැවත නිලවරණ සඳහා ඉදිරිපත් වීම වැළැක්වීම, ප්‍රධාන තනතුරු සඳහා ඉදිරිපත් වන නිලධාරීන් දේශපාලනඥයින් නොවීම, යම් කිසි විෂමාචාරයක් සඳහා අධිකරණයෙන් දඬුවම් නොලැබූ අයවීම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ කිසිම ක්‍රීඩාවක ජාතික මට්ටමේ සිටින දූ දරුවන් නොසිටීම, ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක යෙදී නොසිටීම වැනි කරුණු කීපයක් යොමු කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

“ලබන මාර්තු මාසයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයට ප්‍රබල අවශ්‍යතාවයක් වූ ජාතික ක්‍රීඩා පනත ක්‍රියාත්මක වෙනවා. එතැන් සිට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පාලනය වන්නේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති රාමුව යටතේය. ක්‍රීඩා සම්මේලන තම ක්‍රීඩාව නංවාලීම සඳහා තම වගකීම් භාර ගත යුතුයි. ඔවුන් කරන්නේ ස්වේචිඡා සේවයක්. එහෙම වුණත් ඒ තනතුරුවලට ඔවුන් පත්වන්නේ සිය කැමැත්තෙන්. එබැවින් විෂය, තමන්ගේ වගකීම ඉටුකිරීමට අදිටන් කර ගත යුතුයි. මේ අවුරුද්දේ මාත් එක්ක සෙල්ලම් බැහැ. සෑම ප්‍රධාන සම්මේලනයකම අධීක්ෂණ කරන්න මම ක්‍රීඩා අමාත්‍යංශයෙන් අධීක්ෂණ නිලධාරියෙක් බැගින් පත් කරනවා. ඒ අය එම සම්මේලනවල පාලනය ගැන සම්මේලනවල ගනුදෙනු, මුදල් කටයුතු ගැන, ජාතික ශූරතා පැවැත්වීම, අනුග්‍රාහකයින් ලබාගැනීම, පුහුණු සංචිත පවත්වාගෙන යාම, විදේශ තරගවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම, නිලවරණ පැවැත්වීම මගේ එම නිලධාරින් අධීක්ෂණය කළ යුතුයි. මා වෙත මාසිකව ප්‍රගති වාර්තා ඉදිරිපත් කළ යුතුයි. යනුවෙන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ක්‍රීඩා අමාත්‍ය අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියේය.

Posted by Ravaya on 12:58 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මේ වසරේ මගෙත් එක්ක සෙල්ලම් බැහැ - ක්‍රීඩා ඇමැති"

Leave a reply