දකුණු අප‍්‍රිකාවේදී වැටීම - නැගිටීම

ක‍්‍රිකට් ඉඩෝරයට සිහින් පොද වැස්සක් පවතින වූ සේය. දෙවැනි ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණය පොඩි ගැම්මක් සිත් තුළ ට කාවැදීමට සමත්ව තිබේ. එහි සම්පූර්ණ ගෞරවය තිලාන් සමරවීරට සහ දිනේෂ් චන්දිමාල්ට හිමිවිය යුතුය.

දිනේෂ්ගේ ඉණිම මෙරට බොහෝ ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයන් බලා පොරොත්තු වූ ඉණිමකි. එතෙක් රූපවාහිනියෙන් ඈත්ව සිටි බොහෝ ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයෝ නැවත රූපවාහිනී අසලට කැඳවීමට දිනේෂ් සමත් විය. එය ප‍්‍රශංසනීයය.

දිනේෂ් ටෙස්ට් පිටියට භෞතීස්ම වන්නේ ක‍්‍රිකට් තේරීම් කමිටු නිලධාරින්ගේ නිවැරදි දැක්මක් නිසා නොවේය යන්න අපගේ මතයයි. අප එවන් මතයක සිටිනුයේ ඔහුට බොහෝ ටෙස්ට් තරග මග හැරවීමට ඔවුන් කටයුතු කළ නිසායය. ටෙස්ට් තරග මගියෙක් පමණක් වූ දිනේෂ් එක්දින ක‍්‍රීඩකයෙක් ලෙස පමණක් කටයුතු කර ගැනීමට මේ තේරීම් කමිටු නිලධාරියෝ උත්සුක වූහ. නමුත් දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් තරගයේ පසුබෑම ඒ සියල්ල වෙනස් කළේය.

එතෙක් එක්දින ක‍්‍රීඩකයෙක් සේ වර්ග කරමින් සිටි දිනේෂ් දෙවැනි ටෙස්ට් තරගයේ දී දැක් වු දක්ෂතා තේරීම් කමිටු නිලධාරීන්ට දුන් දඬුවමක් වැන්න. පුදුමය නම් පළමු පෙළ තරගවල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50කට වැඩි දිනේෂ් මේ දක්වා ම මේ තේරීම් නිලධාරියෝ අමතක කිරීමය. නාය යන ක‍්‍රිකට් කණ්ඩායමට  දිනේෂ් කදිම පිළියමක් බව බොහෝ මාධ්‍ය මෙන් ම ක‍්‍රිකට් ‘විශ්ලේෂක’ විශාරදයෝ පෙන්වා දුන්න ද තේරීම් කමිටු නිලධාරින් ඇසූ පිරූ තැනැත්තන් බැවින් එවැන්නක් කළේ නැත.

මේ සටහන තැබෙන්නේ තෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට හෝරා දෙක තුනක් තිබිය දීය. එනිසා ටෙස්ට් තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබඳව පාරම්බෑමක් කළ නොහැකි ය. නමුත් ක‍්‍රිකට් කැමති හිත් තුළ ඇත්තේ තරගයේ ජයග‍්‍රහණයක සේයාය.

තවත් වසර දෙකක දී පමණ නැත්තට ම නැති වෙන්නට යන තත්ත්වයට පත්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව, ගොඩ ගැනීමට නම් දිනේෂ් සහ සමරවීර තැබූ පියවර ඉදිරියට ගෙන යෑම අනෙකුත් ක‍්‍රීඩකයන්ගේද යුතුකමකි.

එසේ නොවන්නේ නම් එකිනෙකාට එකිනෙකාගේ පැවැත් ම පිණිස පමණක් ක‍්‍රීඩා පිටියේ දී යමක් කිරීම ප‍්‍රමාණවත් වේ. නිමා වූ තරගයේ දී කුමාර සංගක්කාර ද නැවත ලකුණු අතරට පිවිසී ම ප‍්‍රසංශනීය. එසේම ම මේ තීරණාත්මක මොහොතේ මහේල මෙන්ම නායක ඩිල්ශාන්ද මීට වඩා යමක් කළ යුතුය යන්න අපගේ මතයයි. නමුත් එවන් දෙයක් සිදුවන පාටක් නැත. ඊට ආදේශකක ද නැත.

මේ තත්ත්වය යටතේ දිනේෂ් මෙන් ම සමරවීර ද කළ මෙහෙයේ ප‍්‍රශංසනීයත්වය සුලූ පටු නොවේ. සමරවීර ඩුබායි හි පැවැති ටෙස්ට් තරගාවලියට නම් නොකරන්නේ ඔහුගේ දක්ෂතා මඳවීම හේතුවෙන් යැයි පැවැසූ හ. නමුත් මහේලගේ අබාධයක් යැයි පවසමින් තිලාන් දකුණු අප‍්‍රිකා සංචාරයට කැඳවති. ආබාධිත මහේල මෙන් ම ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවූ සමරවීර ද අද එකට පිටියේ ය. මේ බොරුව තේරීම් කමිටුවේ ද නැත්නම් වෙනත් කෙනෙකුන් ගේ ද? කෙසේ වෙතත් මේ බොරුවෙන් ගම්‍ය වන්නේ මොවුන්ට නිවැරදිව කණ්ඩායම තෝරා ගැනීමට තිබෙන නොහැකියාව ම මිස අන් කවරක්ද?

සමරවීර පිළිබඳව ද අපට ප‍්‍රශ්න තිබුණි. ඒ සමරවීරගේ එක්දින කැඳවීමය. අප කිසිදු විටක සමරවීරගෙන් එක්දින තරග රටාවක් බලාපොරොත්තු නොවුවෙමු. නමුත් ක‍්‍රිකට් බලධරයෝ සමරවීර එවැන්නකට යොමු කළහ. මතකය නිවැරදි නම් එක් පළාත් හෝ පළමු පෙළ තරගාවලියක තිලාන් සිටියේ තදින්ම  පන්දුවට පහර දෙන්නෙක් ලෙසය. ඇතැම් විට සමරවීරගේ ටෙස්ට් දක්ෂතා කඩා වැටීම එය ම හේතු වන්නට ඇත.

නමුත් නිමා වු ඉනිමත් සමඟ සමරවීරගේ පෙර රිද්ම ය අප ඔහු වෙතින් දුටිමු. සමරවීර නැවත්ත කදිම ටෙස්ට් ක‍්‍රීඩකයෙක් බව ඔප්පු කර අවසන්ය. තේරීම් කමිටුව සේම සමරවීර ද එය තේරුම් ගත යුතුය.

කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකා සංචාරය ළඟා වෙද්දී අපි අපේ කණ්ඩායම උග‍්‍ර පිතිකරු හිගයට මුහුණ පා සිටින බවක් කීවෙමු. නමුත් තේරීම් කමිටුවට එහි වගක්වත් තිබුණේ නැත. අවසානයේ සිදුවූවේ වැඩි විශ්වාසයක් තබන ලද ක‍්‍රීඩකයන් අසාර්ථක වෙද්දී ඉවත දමා සිටි ක‍්‍රීඩකයන්ට පෙරහරේ නටන්නට සිදුවීමය.

එය පිතිකරු අංශයෙන්ය. තේරීම් කමිටුවේ පන්දු යවන්නෝ තේරීම ද හරි අගනේය. ඔවුන් කණ්ඩායමට නම් කරන්නේ කකුල් කොර වු වුන් ය. සතියක් ක‍්‍රීඩා කිරීමට බැරි ආබාධිතයෝය. එසේම හීයටක් වේගයෙන් ඉලක්කයට පන්දු යවන ක‍්‍රීඩකයෙක් පැමිණියත් අපේ තේරීම් කමිටුවට දිල්හාර තරම් කෙනෙක් නැත. දකුණු අප‍්‍රිකාවේ තිබෙන වේගවත් තණතිලි මත ක‍්‍රීඩා කිරීමේ දී දිල්හාර මෙම තරගාවලිටය නම් කිරීම තරමක් දුරට සාධාරණය. එහෙත් ඔහු දෙවැනි තරගයේ පළමු ඉණිමේ පන්දු යැවීමට පිවිසෙන්නේ හය  වැනියා ලෙස නම්.. ඒ කුමක හේතුවක් නිසා දැයි තේරීම් කමිටුවෙන් විමසිය යුතු නොව්ද?

ගමේ ගුණපාල ක‍්‍රිකට් ගැන දන්නා තරමින් වත් ක‍්‍රිකට් ගැන නොදන්නා මේ අම්බරුවන් කරනුයේ තමන්ට අනුගත කණ්ඩායම් නම් කිරීම ය. එමගින් සිදු වූ වින්නැහිය නම් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී අපට හිමි ස්ථානය අප විසින් ම අහිමි කර ගැනීමය. ඊට ක‍්‍රිකට් තේරීම් කමිටුව සේම අපේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝද වගකිව යුතුය. (මේ අවස්ථාවේ නායකයාගේ වගකීම පිළිබඳව අපි කතා නොකරමු. ඒ මීට ප‍්‍රථම අප මේ නායකයාගේ පුළුවන්කාරකම ප‍්‍රශ්නයකර ඇති නිසාය.) නමුත් වගේ වගක් නැත. තවමත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝ ම වන්දනා තත්ත්වයේ තබා සිටීම මේ මොහොතෙත් සිදුවන්නකි.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව බේරා ගැනීමට නම් ඉක්මන් වෙනසක් අවශ්‍යයව තිබේ. ඒ වෙනස ජ්‍යෙෂ්ඨයෝ ද නවකයෝද යන්න නොව දක්ෂයෝ ද අදක්ෂයෝ ද යන නිර්ණායකයෙන් තීරණය විය යුතුය.

සත්‍යජිත් වතුගෙදර - රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Posted by Ravaya on 5:32 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "දකුණු අප‍්‍රිකාවේදී වැටීම - නැගිටීම"

Leave a reply