මරු ඡන්ද ප‍්‍රතිඵලේ ඕයි - විමලනාත් වීරරත්න


මැතිවරණ දෙපාර්තමේන්තුවේ වැඩකර මොකක් හරි හුටපටයක් නිසා ඉන්ටඩික් වූ කොම්පියුටර් අංශයේ හාදයෙක් ජනාධිපතිතුමා හම්බවෙන් ආවේය. මිනිහා වැඳ වැටී ජනාධිපතිතුමාට කීවේ ගෙදර තත්ත්වය හෙන අවුල් කොහොමහරි ජොබ් එකක් සෙට් කර දෙන්න කියාය. ඒවගේ අසක්කුවකදී ලේසියෙන් මිනිහෙක් අතනාරින ජනාධිපතිතුමා ඡුන්ද දෙපාර්තමේන්තුවේ මෑන්ට කීවේ මොක්ක හරි කරන්න බලමු කියාය. කිව්වත්වගේ ජනධිපතිතුමා ඉතා ඉක්මනින්ම මෑන්ට වෙනත් රාජ්‍ය ආයතනයක කොම්පිටර් අංශයේ රැකියාවක් අරන් දුන්නේය. ඔය සිද්ධිය වුණේ පසුගිය නොවැම්බරයේය. දෙසැම්බරයේ උසස් පෙළ ප‍්‍රතිඵල පිටවුණේය. මුළු රටේම ප‍්‍රතිඵල ජෑම් වී තිබුණි. සමහර බ‍්‍රයිටන්ට සදා සොත්ති වනලෙස එෆ් තුන ලැබී තිබුණු අතර හෙන වළකාරයන්ට ඒ දෙකයි බී එකයි වගේ මාර රිසල්ට් ලැබී තිබිණි. තවත් සමහරුන්ට එෆ් තුනක්වත් එවන්නට විභාග දෙපාර්තමේන්තුව කාරුණික වී නොතිබුණි. රිසල්ට් උඩු යටිකුරුවීමෙන් ඉසැඞ් ස්කෝර් එකද දිස්ත‍්‍රික් ?න්ක් එකද ෆුල් අඤ්ඤකොරොස් විය. බන්දුල, එස්බී හා හිටපු භාග කොමසරිස් ටීවී එකට ඇවිත් ප‍්‍රතිඵලවල ඔය කියන තරං අප්සට් එකක් නැතැයි කීහ. එස්.බී කීවේ අවශ්‍යනම්  ඕනෑම අයදුම්කරුවකු තම විභාග ප‍්‍රශ්න පත‍්‍රය තිබෙන තැනට වුණත් එක්කං යන්නං විභාග දෙපර්තමේන්තුවට එන්න කියාය. උස්ස පෙළ කරන්න ඉන්න එවුනුත් දැන්ම රී කරෙක්ෂන් දාලා තියන මට්ටමට වැඬේ නැගලා ගියේය. රුසියන් භාෂා ප‍්‍රශ්න පත‍්‍රයට කිසිදු ප‍්‍රතිඵලයක් ඇවිත් නොතිබුණු දුර බැහැර ගෑනු ළමයකු ඒක අවඥාසහගතව ටීවී එකට කී අතර රුසියානු බෝල්ෂෙවික් පක්ෂයේ හා ලංකා ගුරු සංගමයේ නායක ජෝසප් ස්ටාලින් කීවේ රුසියානු භාෂා ප‍්‍රශ්න පත‍්‍රයට ප‍්‍රතිඵල නැතිවීම අදවන විට රුසියානු පෙඩරේෂන් පමණක් නොව අසර්බයිජානය, සයිබීරියාව ලැට්ටියාව, මෝල්දාවියාව, කසකස්ථානය ඇතුලූ සියලූ රාජ්‍යන් හෙළා දකින බවය.

ජනාධිපතිතුමාගේ පූසාත් මෙරව උසස් පෙළට වාඩි වී ප‍්‍රශ්න පත්තර තුනම ඇනගෙන අමු හෝක්කා වී සිටියේය. රිසල්ට් කොහොමද කියා ජනාධිපතිතුමා ඇසූ විට පූසා කියා තිබුණේ එෆ් දෙකයි කියාය. උඹටත් අර රුසියන් භාෂාව කළ ගෑනු ළමයට වගේ අනික් සබ්ජෙක්ට් එකට රිසල්ට් ඇවිත් නැද්ද කියා ඇසූවිට පූසා කීවේ ඇවිත් තියනවා ඒකත් එෆ් කියාය. ජනාධිපතිතුමා කීවේ උඹලට උගන්නන්න වියදං කරපුවා වතුරෙ ගියා. කමක්නෑ රී කරෙක්ෂන් දාලා බලපං කියාය. පූසා ඇසුවේ අනුර ලොක්කට කියලා මොකුත් කරගන්න බැරිද කියාය. ජනාධිපතිතුමා කීවේ පිස්සුද ඒ යකා ඒවගේ දේවල් කරන්නෙ නැහැ කියාය. ඒ පාර පූසා ජනාධිපතිතුමාගෙන් රුපියල් හත්සියපනහක් ඉල්ලාගෙන රීකරෙක්ෂන් දැමූ අතර එස්.බී.කියපු විධියට ප‍්‍රශ්න පත්තරය තියන තැනට ගොස් ඒකට ලකුණු දී තිබෙන පිළිවෙල ගැන දැනගැනීමටද පූසා ට සිතක් පහළ විය. මේකෙත් කොම්පියුටර් ජිල්මාට් වෙනවානම් කැරකිලා එස්තුනක්වත් ආවානම් ගොඩ කියා කල්පනා කර කර ගිය පූසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොඩ වුණේය. ආ වරෙං වරෙං කියා පූසාව පිළිගත් එස්.බී. ඇසුවේ උඹ මොකද තකහනියේ මේපැත්තේ කියාය. රී කරෙක්ෂන් දැම්මා කී පූසා ප‍්‍රශ්න පත්තර තියන තැනට මාව එක්ක යන්න බැරිද කියා එස්.බීගෙන් ඇසුවේය. එස්.බී. ඇසුවේ පිස්සුද ප‍්‍රශ්න පත්තර තියන තැනට උත්තර ලියපු එවුං එක්කං යන්නෙ කොයි රටේද කියාය. එහෙනං එදා කිව්වෙ කී පූසාට පිළිතුරු නොදුන් එස්බී පූසාගෙන් ඇසුවේ මොකද රී කරෙක්ෂන් දැම්මේ රිසල්ට් එක වර්චර වෙලාද කියාය. එෆ් තුනේ කතාව කිව්වොත් ඒක ජනාධිපතිතුමාත් ලැජ්ජාට පත්වෙන වැඩක් නිසා පූසා කීවේ කම්බයින්ඞ් මැත්ස්වලටයි පිසික්ස්වලටයි සී දෙකක් තියෙනවා. කෙමිස්ටි‍්‍රවලට එස් එකක් ඇවිත් ඒකයිබලන්න හිතුණේ කියාය. අයියෝ හොඳටම මදි රිසාල්ට් එකක්නෙ. ජනාධිපතිතුමාගේ පූසා වුණාම ත‍්‍රී ඒස් ගන්නම වෙනවනෙ කී එස්.බීට පූසා කීවේ ඔයා මේ මඟුලක් කියනවා, විදුහල්පතිත් ළඟතියාගෙන ප‍්‍රශ්න පත්තරවටල උත්තර ලියන්න අපිට ඒ.සී. කාමර ලැබෙන්නේ නැහැ කියාය. ගෙදර එකාව පාච්චල් කරන්න එපා බං කී එස්බී මිනිහා දැන් ජ’පුරෙ එම්.ඒ. එකතුත් කරනවාලූ නේද කියා ඇසුවේය. ගෙදරදී තාත්තන්ඩිත් එකක් හෙන පොයියක් ගහනවා මං අහගෙන කී පූසාට එස්.බී. කීවේ මෑන්ව ගයිඞ් කරන්නෙ වීසීමයි කියාය. පූසා කීවේ අප්පට සිරි එම්.ඒ එකට රෙජිස්ටර් කරගන්නකොට ඒයකා අපේ එකාගෙන් කන්‍යාභාවය චෙක් කරාද දන්නෑ කියාය.

යං එහෙනං විභාග දෙපාර්තමේන්තුවට කී එස්.බී. පූසාව නිල රථයට නංවා ගත්තේය. වෝඞ් ප්ලේස් එකේ සිට කොටා පාර පැත්තෙන් රාජගිරියට එන ගමන් එස්බී පූසාගෙන් ඇසුවේ ඉන්දියන් ෆොරීන් මිනිස්ටර්ට ලොක්කා මොකක්ද අර ‘තර්ටීන් ප්ලස් වන්’ කතාවක් කියලා තියෙන්නේ කියාය. පූසා කීවේ ඉතිං මොකද දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දෙන්න  ඕනෙ නේන්නම් කියාය. එස්.බී කීවේ ඒ වුණාට පහුගිය සතියෙත් කිසිම බලතලයක් දෙන්න බැහැ කියලා ටී.එන්.ඒ කාරයන්ට කිව්වනේ කියාය. ඔව් ඒ වුණාට දෙමළ ජන අයිතීන් පාගගෙන ඉන්න එක මහ නින්දිත වැඩක් කියා එස්.බීගෙන් ගන්න තියන උදව්ව පවා නොසලකා පූසා, මෑන්ට හෙන ආඩපාලියක් කීවේය. හරි ඉතිං ඔය Plus One කියන්නේ මොකක්ද කියා ඇසූ එස්.බීට පූසා කීවේ 13ට තව මොනවාහරි එකතු කරලා ඒකට තවත් මොනවා හෝ අලයක් වගේ එකක් එකතු කිරීම ප්ලස් වන් නම් වේ කියා. කෝ ඉතිං මේ දේශපාලන විසඳුමට කාල  රාමුවක්වත් දාලා නැහැනේ කී එස්.බීට පූසා කීවේ ජනාධිපතිතුමා කිව්ව ටයිම් පේ‍්‍රම් එක අමතක වෙලයි ඉන්දියන් ෆොරින් මිනිස්ටර් මීඩියාවලට ඇඩ‍්‍රස් කරලා තියෙන්නේ කියාය. රාජගිරිය හංදියේ කලර් ලයිට්ස් ළඟ තද බ්‍රෙක් පාරක් ගහනගමං එස්.බී. ඇසුවේ හරි ඉතිං කවදද ඔය රෙද්ද ගේන්නෙ කියාය. පූසා කීවේ මේක ඉම්ප්ලිමන්ට් කරන්නේ තුන්දාහස් දොළහේ ජනවාරියේ නිසා සමගාමී ලැයිස්තු අලූතින් හදාගෙන අනික් වැඩ ටික කරගන්න කල් තියනවා කියාය. මොකුත්ම දෙන්න බැහැ කියා ළඟදී කී කතාව යළි මතක් කළ එස්.බීට පූසා කීවේ ඒක වීළුවට කියපු කතාවක් කියාය. මේකත් ඒ විළුවෙම කෑල්ලක්ද දන්නෑ කී එස්.බී. අනතුරුව පූසාට යාප්පුවෙන් කීවේ අපේ මිනිස්ටි‍්‍රස්වල මොනවා හරි වෙනසක් වෙන්න යනවානම් ඔන්න කියපං හොඳේ කියාය. පූසා කීවේ බන්දුට නම් ළඟදීම පාරිභෝගික අමාත්‍යාංශයට යන්න වෙයි කියාය. එතකොට ජොනී කියා ඇසූ එස්.බීට පූසා කීවේ මෑන් එඩියුකේෂන් එකට දායි කියාය. අප්පට සිරි මොන අවුලක් හදාගනිද මන්දා කියූ එස්.බීට පූසා කීවේ අවුල ඇතිවීමෙන් පසු අවුලට මග හා අවුල නැතිකිරීමේ මාර්ගය ජනාධිපතිතුමා පෙන්වා දෙයි කියාය. මේ ඒක නෙවෙයි පූසෝ විභාග ගාණකට බැස්ටිය දුන්නු අනුරයා යුද අධිකරණයටවත් යවන්න ලොක්කගේ අදහසක් නැද්ද කියා ඇසූ එස්.බීට පූසා කීවේ මිනිහට මොකක් හරි එඩියුකේෂන් ඉන්ස්ටිටියට් එකක විභාග අවුල ලිහා දීමේ වගකීම පවරන්න යනවා කියාය.

එස්.බීගේ පූසාත් විභාග දෙපාර්තමේන්තුවට ආහ. ඒ වනවිට බන්දුලට වැන්ද කොමසාරිස්තුමා කාමරේ සිටියේය. එස්.බීත් පූසාත් දුටු ගමන් කොමසාරිස්තුමා කීවේ ජනාධිපතිතුමා දාපු විද්වත් කමිටුව මාර ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා කියාය. අනතුරුව එතුමා කීවේ කොහොමහරි ඉලෙක්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ කොම්පියුටර් සෙක්ෂන් එකේ වැඩ කරපු පොරක් විභාග දෙපාර්තමේන්තුවට රිංගලා ප‍්‍රතිඵල අප්සට් කරලා තියෙන්නේ ඒ යකා කියාය. අප්පට සිරි ඉලෙක්ෂන් එකේ ඉන්ටඩික් වෙච්ච හාදයෙක් රස්සාවක් හොයාගෙන එහේ ආවා. ජනාධිපතිතුමා ඌව කොහාට හරි දැම්මා කී පූසා ඌ එහෙනං විභාග ප‍්‍රතිඵලත් ඡුන්ද ප‍්‍රතිඵල වගේ කරන්න ඇති කියා ඔළුවෙ අතගසා ගත්තේය. දැන් සී.අයි.ඞී.ය ඒ හාදායාගෙන් ප‍්‍රශ්න කරගෙන යනවා කී කොමසාරිස්තුමා තවත් මොනවා හරි කියන්න හදනකොටම නිව්ස් එකක් ආවේය. අනුර තුන හතරක් වෙනස් කරන්න උපදෙස් දුන් විට ඡන්ද ප‍්‍රතිඵල සීරු මාරු කරන පුරුද්දට විභාග ප‍්‍රතිඵල සේරම වගේ මෑන්ගේ අතින් වෙනස් වී ප‍්‍රතිඵල හුටපටය සිදුවී ඇති බව එහි දැක්විණි.

- රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

සබැදි ලිපි
- පාතාලය නැසීමේ පාතාල චින්තනය

Posted by Ravaya on 4:23 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මරු ඡන්ද ප‍්‍රතිඵලේ ඕයි - විමලනාත් වීරරත්න"

Leave a reply