13 ප්ලස් යළිත් - කේ.ඩබ්ලිව් ජනරංජන
ඉන්දියාවේ විදේශ සම්බන්ධතා ඇමති එස්.එම්. ක‍්‍රිෂ්ණා විසින් ‘13 ප්ලාස්’ නැවත්ත කරළියට ගෙනෙනු ලැබ තිබේ. පසුගිය 17වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් පසු වහාම පැවැත් වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ඔහු කීවේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා, 13ට වැඩි විසඳුමක් සඳහා කටයුතු කරන බවට තමාට එකඟ වූ බවය. විදේශ ඇමති ජී.එල්.පීරිස් මහතාද ඒ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට එක් වී සිටියේය. ‘මා ජනාධිපතිවරයා සමඟ මේ ගැන සාකච්ඡා කළා. ඔහු 13ට වැඩි විසඳුමක් සෙවීමේ තම කැපවීම ගැන සහතික කොට සිටියා.’ ඉන්දීය විදේශ ඇමතිවරයා පැවසීය. ලංකාව විවිධ අවස්ථාවලදී 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම මත පදනම් වූ අර්ථවත් බලය බෙදිමේ දේශපාලන විසඳුමක් ගැන සහතික වී ඇති බවද ඔහු වැඩිදුරටත් කීවේය. කෙසේ වුවත්, කාරණයේ ඇති සංකීර්ණභාවය නිසා 13ට වැඩි විසඳුමක් ක‍්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ ජනාධිපතිවරයා වෙත කාල රාමුවක් නියම කිරීම අපහසු බවද, එවැන්නක් නියම කිරීම යථාර්ථවාදී නොවන බවද මේ කාර්යයට එවැන්නකින් සහායක් නොලැබෙන බවද ඉන්දීය විදේශ ඇමතිවරයා කීවේය.
ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරය මේ මොහොතේ ලංකාවට කාරණා කිහිපයක් අතින් වැදගත් එකකි. ඔහු ලංකාවට පැමිණි පසු මුලින්ම හමුවූවෝ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුය. පළමුව ඔවුන් හමුවන්නේ නැතිව ජනාධිපතිවරයා හමුවී, දෙවනුව ඔවුන් හමුවන ලෙස ලංකා ආණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමක් විදේශ ඇමතිවරයා විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලදැ’යි ද වාර්තා වෙයි. පළමුව දෙමළ සන්ධානය හමුවී පසුබිම් තත්ත්වය ඔවුන්ගෙන් දැනගෙන ජනාධිපතිවරයා හමුවීම තම අභිලාෂය බව ඉන්දීය විදේශ ඇමතිවරයා පැවසූ බවද කියැවෙයි. කෙසේ වෙතත්, ඉන්දීය ඇමතිවරයා ලංකාවට පැමිණි විගස තයිපොංගල් උත්සවයක් සඳහා සූක්ෂම ලෙස ඉතාම කෙටි කාලයකට හෝ ඔහු ජනාධිපති මන්දිරයට ගෙන්වා ගැනීමට ආණ්ඩුවේ බලධාරීහු සමත් වූහ.
ජනාධිපතිවරයා හමුවීමට පෙර, 16වැනිදා ඉන්දීය විදේශ ඇමතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් හමුවී ඔවුන් කියන දේ සාවධානව අසා සිටි බවද, සන්ධානයේ මන්ත‍්‍රීවරුන්, පොලිස් හා ඉඩම් බලතල සහිත 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම ගැන ඔහුට දැඩි ලෙස අවධාරණය කළ බවද ආරංචි මාර්ග කියයි.
ඉන්දීය විදේශ ඇමතිවරයාගේ ආගමනය සිදුවන්නේ දෙමළ සන්ධානය හා ආණ්ඩුව අතර පැවැත්වෙන ද්විපාර්ශ්චික සාකච්ඡුාවල පැවැත්ම අවදානම් අඩියක පවතිද්දීය. විශේෂයන් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීම සම්බන්ධයෙන් දෙපාර්ශ්ව අතර බලවත් නොඑකඟතාවක් පවතිද්දීය. මේ කාරණය නිසා හා ඔවුන් පාර්ලිමේන්තු තේරීම් කමිටුවට පැමිණීමට එකඟවන තුරු දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා නවතා දමන්නට ආණ්ඩුව තීරණය කර ඇති බව ජාතිකවාදී සිංහල ඉංග‍්‍රීසි පුවත්පත්වල වාර්තා පළවී තිබිණි. මේ පසුබිම තිබියදී, සිය ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ඉන්දීය විදේශ ඇමතිවරය, දේශපාලන විසඳුමක් සඳහා වූ පාර්ලිමේන්තු තේරිම් කමිටුවට පාර්ශ්විකව ආණ්ඩුව හා දෙමළ සන්ධානය අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යැමේ වැදගත්කමද බලාපොරොත්තුවද අවධාරණය කළේය. ඒ අනුව පැහැදිලි වන්නේ, ‘තේරීම් කමිටුවට ආවේ නැත්නම් දෙමළ සන්ධානය සමඟ’ සාකච්ඡා ඉදිරියට ගෙනයන්නේ නැතැ’යි කියන ලංකා ආණ්ඩුවේ අදහසට වෙනස් මතයක් ඉන්දීය ආණ්ඩුව දරන බවය.
13ට වැඩි දේශපාලන විසඳුමක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා එකඟවූයේදැ’යි තහවුරු කරන්නට හෝ ප‍්‍රතික්ෂේප කරන්නට මේවන තෙක් ආණ්ඩුව ඉදිරිපත් වූයේ නැත. කිසියම් හෙයකින්. ජනාධිපතිවරයා ඒ සඳහා එකඟ වී තිබේ නම්, එය ඉතාම වැදගත් කාරණයකි. මීට පෙර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් ආසන්නතම ස්ථාවරය වී තිබුණේ. 13ට වැඩි විසඳුමක් කෙසේවෙතත්, 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් හා ඉඩම් බලතලවත් පළාත් සභාවලට ලබානොදීමයි. අවසාන වරට 13ට වැඩි විසඳුමක් සම්බන්ධයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයා කතා කර තිබුණේ යුද්ධය අවසන් වූ මුල්කාලයේදී පමණි. ආණ්ඩුවේ ජාතිවාදී බලවේගවල බලපෑමෙන් සහ ජනාධිපතිවරයාගේම පෞද්ගලික අදහසද අනුව ඉන්පසුව සිදුවූයේ ක‍්‍රම ක‍්‍රමයෙන් එම ස්ථාවරයෙන් ඉඩම් පොලිස් බලතල නොදීම දක්වා පල්ලම් බැසීමයි.
13ට වැඩි ස්ථාවරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජාතිකවාදී පාර්ශ්වයන්හි ප‍්‍රතිචාරය කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. ඒවා 13ට වැඩි විසඳුම සඳහා එදිරිව සිටිනු ඇති බව පමණක් සිතිය හැක. විශේෂයෙන්, ආණ්ඩුවේ කටයුතුවලදී හොඳ නරක දෙවරක් හිතාබලා තමන්ට ආවේණික ස්ථාවරයක් ගැනීමට ජාතික හෙළ උරුමය පසුගිය කාලයේ තීන්දුවකට පැමිණ තිබිණි. එහි අනියම් අදහස, අවශ්‍ය අවස්ථාවන්හිදී ආණ්ඩුවට විරුද්ධ වියයුතුය යන්නයි. එහෙත් එහි ප‍්‍රමාණය තීරණය වන්නේ විරෝධයේ තීව‍්‍රතාවත්, එයින් ආණ්ඩුවට ඇතිකරන බලපෑමත් මතය. විමල් වීරවංස ඇමතිවරයාද මේ 13ට වැඩි තීරණයට විරුද්ධ වනු ඇතැ’යි සිතිය හැකි නමුත් පදනම් විරහිත, හුදෙකලා ඔහුගෙන් තීරණයාත්මක බලපෑමක් ආණ්ඩුවට එල්ලවනු ඇතැ’යි සිතිය නොහැකිය. මීට පෙරද ඔහු 13වැනි සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම කොටසක් නිසා අප විසින් පිළිගතයුතුව ඇතැ’යි කියූ. ජනාධිපතිවරයාට අවශ්‍ය ස්ථාවරයන් ඉහළ හඬකින් පුනරුච්චාරණය කිරීමේ ඉතිහාසයක් ඇත්තකු බව සියල්ලෝම දනිති.
අනෙක් අතට 13ට වැඩි විසඳුම වැදගත් වන්නේ, ලබන මාර්තු මාසයේදී ජිනීවාහි රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය නිසාය. මෙතෙක් ලංකාවට නොපැමිණි ආකාරයේ ජාත්‍යන්තර බලපෑමක් එහිදී ලංකාවට එල්ල වනු ඇතැ’යි ලංකාවේ ආණ්ඩුව තැතිගන්මෙන් යුතුව විශ්වසා කරයි. විශේෂයෙන් පසුගිය සැප්තැම්බරයේ කවුන්සිල සැසිවාරයේ දී කැනඩාව ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එන්නෙට තැත් කළ අවස්ථාවේදීද මේ ආතතිය කිසියම් ආකාරයකින් දක්නට ලැබිණි. එවැනි බලපෑමක් නිසි ලෙස එල්ල වුවහොත් එයින් ගැලවීමට. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් ගැන නොතකන, ස්වෛරීභාවය ඉදිරියට දමා රටේ ජනතාව පාගාගෙන සිටින තමා වැනිම දුර්දාන්ත මර්දනීය වෙනත් රාජ්‍යවල සහාය ලබාගන්නවා විනා අන් විකල්පයක් ලංකාවට නැත. එසේ වන්නේ. ඒ ජාත්‍යන්තර බලපෑමෙන් මිදෙන්ට අවශ්‍ය තරමට, රට තුළ කිසිම යහපත් ප‍්‍රතිසංස්කරණයක් ඉහත කී ක්‍ෂේත‍්‍රවල කරන්නට ලංකා ආණ්ඩුව සමත්වී නොතිබීම නිසාය. කවුන්සිල සැසිවාරයේදී වසරකට දෙවර බැගින් පුනරුච්ඡාරණය කරන ‘ජාතික මානව හිමිකම් සැලැස්ම’ ක් සකස් කොට ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මේ දක්වාම පියවරක් ගෙන නැත. නාඳුනන පුද්ගලයන් විසින් කරන ලද විවිධාකාර ඝාතන හා පැහැරගැනීම් සිය ගණනක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් නීතිය හමුවට ගෙනඑන්නට කිසිම සූදානමක් නැත. සුදු වෑන්වලින් පැමිණි බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම තවමත් අඩුවක් නැතිව සිදුවෙයි. තැනින්න තැන අතරහැර දමන ලද, උන්හිටි තැන් අධිආරක්ෂක කලාපවලට උදුරා ගනු ලැබූ, අවතැන්වූ දෙමළ ජනතාවගේ තත්ත්වය නගාසිටුවන අර්ථවත් වැඩපිළිවෙලක් තවම නැත. ලංකාවේ මානව හිමිකම්වල තත්ත්වය, නීතියේ ආධිපත්‍යයේ තත්ත්වය එන්න එන්නම පිරිහෙනවා මිස යහපත් පෙනුමක් නැත. පැරණි වැරදි හදාගැනීමේ කිසිම පියවරක් නැත.
ආණ්ඩුව මෙතෙක් කල් ජාත්‍යන්තර ප‍්‍රජාවට කියමින් සිටියේ ජාත්‍යන්තරය විසින් නගන චෝදනාවලට අදාළව විමර්ශනය කිරීමට උගත් පාඩම් හා ප‍්‍රතිසංන්ධාන කොමිසමක් ලංකාව විසින්ම පත්කර ඇති නිසා එහි වාර්තාව ප‍්‍රකාශයට පත්කරන තුරු කල් දෙන ලෙසය. දැන් එහි වාර්තාවද පැමිණ තිබේ. කවර අඩුපාඩුකම් තිබුණද එම වාර්තාවෙන් අවධාරණය කර ඇති නිර්දේශයන් පවා පහසුවෙන් ක‍්‍රියාත්මක කළ හැකි තැනක ආණ්ඩුව නැති බව පැහැදිලි වෙයි. ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක කරන්නට නම්, ආණ්ඩුවේ ව්‍යූහයේ බලවත් වෙනස්කම් කරන්නටද සිදුවෙයි. උගත් පාඩම් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් හා ස්වාධීන පොලිස් කොමිසමක් යෝජනා කරන විට ආණ්ඩුවේ වර්තමාන ක‍්‍රියාකරීත්වය ඇත්තේ මුළුමනින්ම ඊට විරුද්ධවය. 17වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකරන ලද කිසියම් අකාරයකට ස්වාධීන වූ පොලිස්. අධිකරණ සේවා, මැතිවරණ හා රාජ්‍ය සේවා කොමිසන් පවා, මහින්ද රාජපක්ෂ මහතාගේ තනි වුවමනාවට ගෙන ආ 18වැනි සංශෝධනය විසින් මුළුමනින්ම ජනාධිපති ගැතිභාවයේ පතුළට ඇද දමන ලද්දේය. උගත් පාඩම් කොමිසම, අර්ථවත් බලය බෙදීමක් ගැන කතාකරන විට මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ජාතිකවාදී පර්ශ්වකරුවනුත් කියන්නේ පොලිස් හා ඉඩම් බලතලවත් නැති පළාත් සභාවක් ගැනය. උතුරු පළාත් සභාවට මැතිවරණ පැවැත්වීම ගැන කිසිම අදහසක් නැත. උගත් පාඩම් කොමිසම තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන නීතිමය ප‍්‍රතිපාදන යෝජනාකරන විට ආණ්ඩුව ඉන්නේ මුළුමනින්ම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ නීතිය අයිතියට ප‍්‍රතිපක්ෂවය. යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් ගැන හුදෙකලාව ගෙන පරීක්ෂා කර දඬුවම් දෙන ලෙස කොමිසම නිර්දේශ කළත්, ඒවා ගැන පරීක්ෂා කරන්නට තරම් සුදුසු ස්වාධීන විමර්ශන ආයතන පද්ධතියක්වත්, ඒ ගැන විභාග කිරීමට සුදුසු ස්වාධීන අධිකරණ පද්ධතියක්වත් ලංකාවේ නැත. ඒ ආයතන නිසි ලෙස ප‍්‍රමිතියට සකස් නොකොට, අපරාධ පරීක්ෂණ හා නඩු විභාග පැවැත්වීම වනාහී හොරුන්ගේ අම්මාගෙන් පේන ඇසීමකට වැඩි යමක් නොවේ. ඉතින්, ලබන මාර්තුවේදී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මුහුණ දෙන්නට යන්නේ මෙවැනි නොහැකියාවන් රැුසක් තමා වෙතම තබාගෙනය. තමා කළ යහපත් දේවල්යැ’යි කියන්නට කිසිමක් ලංකාවට නැත.
ඉන්දියාව වැනි රටක් වුවද එවැනි අවස්ථවක කිනම් ස්ථාවරයක් ගන්නේද යන්න ගැන නිශ්චිත අදහසක් ලංකාවට නැත. මීට පෙරද ජාත්‍යන්තරව තීරණාත්මක අවස්ථාවල ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් සිටියේ විමර්ශනශීලී නිහඬ ස්ථාවරයක මිස, කොන්දේසි විරහිතව ලංකාවට උදව් දෙන ස්ථාවරයක නොවේ. 13ට වැඩි විසඳුමක් ගැන මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එකඟතාව, ඉන්දියාවේ සිතද පහදවාගෙන මේ අසීරුතාවන්ගෙන් කිසියම් ආකාරයකට ගොඩ ඒමේ ව්‍යායාමයක්ද විය හැකිය. ඒ අතර. අමෙරිකාව, එංගලන්තය, කැනඩාව වැනි දෙමළ ඩයස්පෝරාවේ පීඩනයට හසුව සිටින රටවල හොඳහිත ද තමා වෙත යොමුකර ගැනීමේ අදහසක්ද 13ට වැඩි විසඳුමේ එකඟතාව තුළ තිබිය හැකිය.
එසේ වුවද 13ට වැඩි විසඳුමක් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම මහින්ද රාජපක්ෂ මහතාට පහසු දෙයක් නොවේ. සිය පාර්ශ්වික බලවේගවල බලපෑමටත් වඩා එවැන්නක් සඳහා ඇතුළතින්ම පෙළඹවීමක් ඔහුට නැති නිසාය. ජීවිත හා දේපළ තොග ගණනින් වන්දි ගෙවා අත්පත් කරගත් දෙමළ ජනතාවගේ සාම්ප‍්‍රාදායික වාසභුමි වෙන්ත ආකාරයකින් ඔවුනට හිමිකර දෙන්නට මහින්ද රාජපක්ෂ මහතාගේ ජාතිකවාදී මනස අවස්ථාවක් සලසා දෙන්නේ නැත. එවැනි තීරණයක් ගැනීමේ ඉදිරි දේශපාලන දර්ශනයක් ඔහු විෂයෙහි නොපවතියි. ඒ අර්ථයෙන්, 13ට වැඩි විසඳුම සඳහා ‘කාල රාමුවක් නොමැතිය.’ යන්න අවධාරණය කිරීම, එක් පැත්තකින් ආණ්ඩුව තුළ සිටින ජාතිකවාදී බලවේගවලට, ‘කියන තරම් වැඩකැරෙන්නේ නැතැ’යි පෙන්වන්නට කරන අනියම් සංඥාවක්ද විය හැකිය.
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.
සබැදි ලිපි
- පාතාලය නැසීමේ පාතාල චින්තනය - කේ. ඩබ්ලිව්. ජනරංජන
- වගකියන්නේ කවුද? - කේ. ඩබ්ලිව්. ජනරංජන
0 comments for "13 ප්ලස් යළිත් - කේ.ඩබ්ලිව් ජනරංජන"