ශ‍්‍රී ලංකාවේ දූෂිත රාජ්‍ය වැය ගැන විග‍්‍රහයක් - ජේ.සී. වැලිඅමුණ

පාඩම් ගන්නේ චීනයෙන්ද ටියුනීසියාවෙන්ද?

මාස කීපයකට පෙර ජනතාවගෙන් ආ උද්ඝෝෂණ හේතුවෙන් චීන රජයේ කැබිනට් මණ්ඩලය වන රාජ්‍ය සභාව අමාත්‍යාංශ ඇතුලූ රාජ්‍ය ආයතන 98කට රාජ්‍ය උත්සව, විදේශ සංචාර හා රාජ්‍ය වාහන සඳහා කැරෙන වෙන් කිරීම් සහ වියදම් ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස දැනුම් දුන්නේය. රජයේ වියදම් විශාල ලෙස අවභාවිත කැරෙන්නේ මේ දේවලින් බව චීනය දැනගෙන සිටියේය. දිගු කලක සිට දූෂන ක‍්‍රියාත්මක වන්නේ මේ තුළිනි. මේ තත්ත්වය බොහෝ රටවලට පොදු බව සිතාගත හැකිය.


මා මේ චීන උදාහරණය ඉදිරිපත් කළේ නාස්තිය ගැන විවේචන ඉදිරිපත් කිරීමට බටහිරින් ආ සංකල්පයක්ම නොවන බව පෙන්වීමටය. තමන්ගේ රටවල ගැටලූ හඳුනාගන්නා නායකයෝ ඒ සඳහා විසඳුම් සොයති.

ශ‍්‍රී ලංකාව තුළ බොරු නාස්ති නැති තැනක් නැත. රාජ්‍ය නායකයාගේ හෝ ඇමතියකුගේ උපන් දින සාදයේ සිට නොවැදගත් සුළු කටයුත්තක් දක්වා රටේ මුදල් නාස්තිය දැකගත හැකිය. ජනාධිපතිගේ දෙවන ධුර කාලය ඇරඹීම සනිටුහන් කිරීමට සති 2ක් උත්සව පැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය දෙපාර්තමේන්තු හා රාජ්‍ය සංස්ථා ප‍්‍රධානීන්ට උපදෙස් දුන්නේය. මිලියන ගණනින් පැළ සිටවූ  අතර දැවැන්ත පුවරු 10,000ක් සකස් කොට රාජ්‍ය ගොඩනැගිලි රාත‍්‍රිය පුරා ආලෝකමත් කරනු ලැබීය. පන්සල්වල පැවැත්වුණු බෝධි පූජාවල වියදම දරන ලද්දේ රජය විසිනි. උත්සවලට අවහිර නොවනු පිණිස විශේෂ ආරක්ෂක විදිවිධාන යොදවනු ලැබීය. සියලූම රාජ්‍ය ආයතන සතියක් පුරාම කටයුතු කළේ මේ සම්බන්ධයෙනි. මෙබඳු නාස්ති කිරීම්වලට එරෙහිව කිසිදු රාජ්‍ය ප‍්‍රධානියකු කිසිවක් පැවසුවේ නැත. එක ආයතනයක් උත්සවලට මිලියනයක් වැය කළේ නම් මුළු ගණන මිලියන 100 ඉක්මයි.

මේ ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්ෂක අංශ කරන වියදම්වලට අමතරවය. මහ බැංකු අධිපති ඇතුලූ 150 දෙනෙක් කැරිබියන් දූපත්වල සාන්තකිට්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා තරග ලබාගැනීමට ගිය ගමන ගැන සිතන්න. ශ‍්‍රී ලංකාව හා 117 ගුණයක් විශාල  ඕස්ටේ‍්‍රලියාවෙන් පැමිණ ඇත්තේ 20 දෙනෙකු පමණි. එජා සමුළුව ඇමතීමට රාජ්‍ය නායකයා යනවිටත් සිය ගණනක් දේශපාලනඥයෝ, රාජ්‍ය නිලධාරීහු, හිතවත්හු ඥාතීහු, රූපලාවන්‍ය ශිල්පීහු මහජන මුදල්වලින් පිරිවරට යති. ගොස් තරුපහේ හෝටල්වල ලැගුම් ගනිති. රාජ්‍ය නිලධාරීන් ලබන සංචාරක වියදම් ද ලබාගනිති. රටේ සංචාරයක් සඳහා දේශපාලන පත්වීම් වන මහ බැංකු අධිපතිට හෙලිකොප්ටර් භාවිත කිරීමට ලැබේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2011 දෙසැම්බරයේදී ඇමරිකාවෙන් බෙල් 412 හෙලිකොප්ටර් යානා 2ක් මිලට ගත්තේ විශේෂ අමුත්තන්ගේ සංචාරක ගමන් සඳහාය. මේ ආරක්ෂක හේතු නිසා නොව පශ්චාත් යුද සමයේ සුබෝපභෝගී සංචාරයන් සඳහාය. මේවා කරන්නේ කාගේ මුදලින්ද? බලයෙන් පහවූ ටියුනීසියාවේ බෙන් අලීගේ පුද්ගලික ජෙට් යානා එකතුවට සමීපවීමට කිසිවෙක් සිහින දකිමින් සිටින්නේද? මේ ගැන මොනවා කිව්වත් මේ වැය කරන්නේ ඔබගේ අපගේ මුදල් බව අමතක නොකළ යුතුය.

රජයේ පිරිවැය ගැන ඇති කරුණු 6 තුළ ප‍්‍රධානම වන්නේ පිරිමැස්මේ ප‍්‍රතිපත්තියයි. ඊට අනුව මුදල් වැය කිරීමේදී රජය සියලූ නාස්තිවලින් වැලකිය යුතුය. මින් අදහස්වන්නේ වැය කිරීමේදී මසුරු විය යුතු බව නොවේ. රජයේ පිිරිවැය වැඩි කළ යුත්තේ බොරු සෝබන නාස්ති දෙවරක් වැය කිරීම් වළක්වාගෙනය. මහජනයා වෙහෙස මහන්සියෙන් උපයන දේ. බදු වශයෙන් ගන්නා රජයට ඒවා තේරුමක් නැතිව වැය කිරීමට අයිතියක් නැත. මේ බොරු නාස්ති යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම නැත්නම් නාස්තිකාර වියදම් යන්නය.

රජයේ මුදල් නාස්ති කිරීමේත් අයථා ලෙස තමන් උපයා ගත් මුදල් අත දිගහැර වියදම් කිරීමෙත් වෙනසක් තිබේ. මේ ලිපියෙන් කියවෙන්නේ මුල් කරුණු පිළිබඳවය. සමහර පුද්ගලයන් දේශපාලන බලය තුළින් එක රැුයකින් කෝටිපතියන් වූ සැටි ගැන අපි කතා නොකරමු. ඡුන්දයෙන් පත්වූ නායකයන්ට නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට රාජ්‍ය මුදල් අත දිග හැර වැය කිරීමට  ඉඩ ලැබෙන්නේ කෙසේද? රාජ්‍ය මුදල් වගවියයුතු සාධකයකි. ව්‍යවස්ථාවේ 148 ෙඡ්දයේ රාජ්‍ය මුදල් ගැන පූර්ණ පාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට බව සඳහන් කර ඇත. මෙය පාර්ලිමේන්තු ක‍්‍රමයේ මුලිකම සිද්ධාන්තයකි. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් ගැන වගවීම පිළිබඳව මෙසේ සඳහන්ය.

‘රටේ මූල්‍ය සම්පත් අවසාන වශයෙන් රටේ නිදහස හා බැඳී ඇත. එය රටේ ස්වාධීනත්වය සඳහා පවතින බලගතු යාන්ත‍්‍රණයකි. පාර්ලිමේන්තුව යම් ලෙසකින් රාජ්‍ය මුදල් ප‍්‍රදානයන් පිළිබඳ පාලනයෙන් ගිලිහුණ හොත් වැසියාගේ නිදහස අර්ථශූන්‍ය වේ.’

ව්‍යවස්ථා සම්ප‍්‍රධායයන්ට හා නීතියට අනුව රාජ්‍ය මුදල් ආරක්ෂා කරගැනීම පිළිබඳ පුර්ණ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව බොරු සෝබන සඳහා මුදල් නාස්ති කිරීම වැනි අයථා කටයුතු වළක්වා ගැනීමේ වගකීම ඇත්තේද පාර්ලිමේන්තුවටය. අපගේ පාර්ලිමේන්තුව මෙහිදී මෙතරම් දුර්වල වී ඇත්තේ මන්දැ’යි අප සොයා බැලිය යුතුය. මේ සඳහා හේතු 5ක් මට පෙනේ.

1. ව්‍යවස්ථාමය තත්ත්වය පාර්ලිමේන්තුව විධායකය යටතට පත්වී තිබේ. විධායකයට පාර්ලිමේන්තුව හරහා කරගත නොහැකි දෙයක් නැත.

2. පාර්ලිමේන්තුව විකෘති වී තිබීම. රජයේ සහ විපක්ෂයේ සිටින්නන් කවුදැ’යි නිශ්චය ලෙසින් ඔබ දන්නේද?

3. ශක්තිමත් පාරදෘශ්‍ය මූල්‍ය කමිටු ක‍්‍රමයක් නොවීම. අමාත්‍යාංශයක වගකීම පැවරිය හැකි ප‍්‍රධාන ගිණුම් නිලධාරි ක‍්‍රමයක් නොපවතී. උදාහරණයක් ලෙස කිසිම පාර්ලිමේන්තු කමිටුවකට ආරක්ෂක ලේකම් කැඳවා වියදම් ගැන ප‍්‍රශ්න කළ හැකිද?

4. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ ගුණාත්මක මට්ටම, රජයේ දේපළ හා නිදහසට වඩා ඔවුන් වෑයම් කරන්නේ සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවීමටය. බොරු සෝබන ඔවුන්ගේ ජීවිතවලද ප‍්‍රධාන අංගයක් වී ඇත.

5. මූල්‍ය කමිටු කරනු ලබන සොයාගැනීම් පිළිබඳ සාර්ථක පසුවිපරම් කිරීමක් නොමැත.

මුදල් ඇමතිවරයාගේ වගකීම ගැන මීළඟට බලමු. පාර්ලිමේන්තුව මගින් මුදල් වෙන්කිරීමෙන් පසුව ඒ මුදල් බෙදාහැරීම පිළිබඳ අධිකාරිත්වය පැවරෙන්නේ මුදල් ඇමතිට හා භාණ්ඩාගාරයටය.  ඕනෑම වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක මුදල් ඇමති විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන අතර අපගේ රටේ නම් දශකයකට අධික කාලයක සිට මුදල් ඇමතිකම දරන්නේ ජනාධිපතිය. භාණ්ඩාගාරය භාර ඇමතිවරයා මුදල් කමිටුවල ප‍්‍රශ්න කිරීම්වලට ලක් නොවේ. මුදල් භාර ඇමති අනික් අතින් ආරක්ෂක ඇමති ආදී වශයෙන් වැඩියෙන්ම මුදල් වැය කරන්නා වේ. මෙබන්දෙක් පිරිවැයේ වෙනස්කම් ගැන වගකීමෙන් කටයුතු කරන්නේ කෙසේද? විගණකාධිපති විගණනය කිරීමට පෙර පිරිවැයේ වැරදි ගැන භාණ්ඩාගාරය සැලකිලිමත් විය යුතුවේ. රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවල තුන්වන පරිච්ෙඡ්දයේ රජයේ මුදල් කළමනාකරණය හා වගවීම පිළිබඳව භාණ්ඩාගාරය කටයුතු කළයුතු අන්දම ගැන උපදෙස් දී ඇත. එමෙන්ම රජයේ මූල්‍ය මෙහෙයුම් සියල්ල ද එය විසින් සලකා බැලිය යුතුව තිබේ. යම් යම් අඩුපාඩු තිබුණත් මූල්‍ය රෙගුලාසි නිසි ලෙස ක‍්‍රියාත්මක කළේ නම් බොරු නාස්ති විශාල ලෙසින් වලක්වා ගැනීමට තිබුණි.

මේ කිසිදු ආයතනයක් පුද්ගලයන්ගේ වගවීම නොමැතිව ක‍්‍රියාත්මක කළ නොහැක. සියලූම පුද්ගලයන්ට රාජ්‍ය මුදල් පාලනය කිරීමටත් ආදායම් මූලාශ‍්‍රවලට ළංවීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ආයතනයක් හෝ රටක් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ එය පාලනය කරන පුද්ගලයන්ගේ දැනුම හෝ සුදුසුකම් මත නොව ඔවුන්ගේ අවංකභාවය මතිනි. මූල්‍ය පාලනය කරන බලධාරීන් ඇමතිවරුන්, මන්ත‍්‍රීවරුන්. භාණ්ඩාගාර නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් අවංකව තමන්ගේ සේවාවන්හි යොදෙන්නේ නම් දේශපාලන නායකත්වය නිවැරදි කරගැනීමට ඉඩ තිබිණි. මෙබඳු අවංක නිලධාරීන් ඉහළ තැන්වල සිටි නම් වැසියාගේ අයිතිය ඉක්මවායෑමට ඉඩ නොලැබෙණු ඇත. මුදල් අමාත්‍යාංශයට හෝ ආරක්ෂක අමාත්‍යාංශයට වුවත් නාස්ති ගැන නොතකා සිටීමට අවස්ථාව නොලැබෙනු ඇත.

දරුණු දූෂන හා නාස්ති

බොරු සෝබන නාස්ති සඳහා රජයේ මුදල් වැය කරන එකම රට ශ‍්‍රී ලංකාව නොවේ. එහෙත් වර්තමානයේ අපේ රටේ තත්ත්වය ඉතාම උග‍්‍රය. සාධාරණ අවශ්‍යතා සඳහා මුදල් සම්පත් වැය කිරීම පැහැදිලිව හඳුනාගත හැකිය. එමෙන්ම ඉහළ මට්ටමේ නාස්තිවලට ඊටම ආවේණික ලක්ෂණ ඇත. රැවටීම හා දූෂණය එහි රජයයි. ඒවා සිදුවන්නේ නීතියටද ඉහළින් මේ කටයුතු අයහපත් පාලනය හා බැඳී පවතී. එහි ප‍්‍රධාන ලක්ෂණ මෙසේය.

1. දූෂිත දේශපාලන කල්ලි මුදල් වියදම් කිරීමට සුදුසු අවස්ථාවක් ව්‍යාපෘතියක් සොයා ගනී.

2. ‘ජාතික’ හා ආර්ථික වැදගත්කමින් යුතු සැලසුම් රාජ්‍ය ප‍්‍රචාරක යාන්ත‍්‍රණයේ සහාය ඇතුව ඇති කිරීම.

3. දේශපාලන නායකත්වය.

4. මේවා ගැන කරන පාර්ලිමේන්තු මට්ටමේ හෝ නීති මට්ටමේ සොයා බැලීම්වලට බාධා ඇති කිරීම.

5. විරුද්ධ උද්ඝෝෂණයක් පැනනැගුණහොත් ඊට විකල්ප හමුදා හෝ පොලිස් සූදානමක් කල් ඇතුව ඇතිකර ගැනීම.

රජයේ නාස්තිකාර වැඩ කටයුතු ගැන මේ කරුණු සොයා බලන ලෙස පාටකයාගෙන් ඉල්ලා සිටීමි.

බෙල් හෙලිකොප්ටර් මිලට ගැනීම, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ තැනීම, හම්බන්තොට ගුවන්තොටුපොළ, නැගුම නමින් අවසන් වන සියලූම ව්‍යාපෘති, පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා ලංසු තැබීම.

ගඩාෆිගේ පාලන තන්ත‍්‍රය පෙරලූයේ ඔහුගේ නාස්තිකාර වැඩ අයහපත් පාලනය හා දූෂණ නිසායැ’යි කියැවේ. එහෙයින් අපගේ දේශපාලනඥයන් පාඩම් උගනීද?

දූෂණය, බොරු සෝබන නාස්ති හා බලය අයථා ලෙස යෙදවීම රඳා පවතින්නේ ඒවා ඉවසා සිටින හෝ ඊට එරෙහිව සටන් කරන ජනතාව හේතුවෙනි. මේ ඔඩු ගිය ගැටලූ විසඳිය හැක්කේ ව්‍යවස්ථාවෙන් හෝ නීතියේ වෙනසකින් යැ’යි සමහරු සිතති. සමහරුන්ට විසඳුම් පෙනෙන්නේ අධිකරණය තුළය. ගැලැඞ්ස්ටෝන් පෙන්වා දෙන ලෙසට රටේ මුදල් අවසාන ලෙසට බැඳී ඇත්තේ රටේ නිදහස සමඟය. ඒවා රැකගත යුත්තේ රටේ සාමාන්‍ය ස්ත‍්‍රී පුරුෂයන් විසිනි. දූෂනයෙන් හා බොරු නාස්තියෙන් තොර රටක සිහිනය අලූත් වසරේවත් සැබෑ කරගැනීමට උගත් විනිසුරු වදනක් මෙහි බහාලමු. ‘මුලින්ම අප සොයන්නේ නිදහසයැ’යි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මට නිතර සිතෙන්නේ අප ව්‍යවස්ථාව මත නීතිය මත, උසාවි මත නොරැඳිය යුතු බවය. මේවා ව්‍යාජ බලාපොරොත්තුය. ඇත්තෙන්ම බොරු අපේක්ෂාවන්ය. නිදහස පවතින්නේ ස්ත‍්‍රී පුරුෂයන්ගේ හදවත් තුළය. එය නැතිවුවහොත් ව්‍යවස්ථාවට නීතියට උසාවියට කළ හැකි දෙයක් නොවනු ඇත. එය එහි තිබේ නම් ව්‍යවස්ථාව නීතිය හෝ උසාවිය නොතිබුණත් කම් නැත.

- පරිවර්තනය හේමන්ත රණවීර
- රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Posted by Ravaya on 11:15 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

1 comments for "ශ‍්‍රී ලංකාවේ දූෂිත රාජ්‍ය වැය ගැන විග‍්‍රහයක් - ජේ.සී. වැලිඅමුණ"

  1. Dear Sir,
    ගඩාෆිගේ පාලන තන්ත‍්‍රය පෙරලූයේ ඔහුගේ නාස්තිකාර වැඩ අයහපත් පාලනය හා දූෂණ නිසායැ’යි කියැවේ. එහෙයින් අපගේ දේශපාලනඥයන් පාඩම් උගනීද?
    Article letters are very light and difficult to read them. Please try to put dark letters or big size letters.
    Thankyou,
    A reader
    AKA

Leave a reply