සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමේ හිටපු සභාපති අබාන්ස් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක තනතුරට

ප්‍රධාන විධායක නිලධාරිනී මනෝ අලස් විශ්‍රාම යයි

මහ බැංකුව විසින් මූල්‍ය ආයතන සඳහා පනවා ඇති නියමයන්ට අනුව අබාන්ස් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ මනෝ අලස් මහත්මිය වසර 06ක සේවයකින් පසුව පසුගියදා විශ්‍රාම ලැබුවාය.

ඇය මෙයට පෙර වසර 36 ලංකා බැංකුවේ සේවය කර විශ්‍රාම යන විට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරේ සේවය කරනු ලැබූ අතර ඉන්පසුව ඇය L.B. ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා ලෙස සේවයට එක්වූවාය.

ඉන්පසු 2005දී අබාන්ස් ෆිනෑන්ස් පෞද්ගලික සමාගමේ සභාපතිනිය වන අබාන් පෙස්ටොන්ජි මහත්මියගේ ආරාධනයෙන් අබාන්ස් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා වශයෙන් වැඩ භාරගත් අතර ඇය අබාන්ස් ෆිනෑන්ස් ආයතනයේ දියුණුවට විශාල සේවාවක් කළ කෙනෙකි. 2011 වාර්ෂික වාර්තා තරගයේදී සහතිකයත් ඇයගේ සේවා කාලය තුළ ලබා ගන්නා ලදී. 2011 නොවැම්බර් මස වනවිට අබාන්ස් ෆිනෑන්ස් ආයතනයේ මුළු වත්කම මිලියන 2423.9 වන අතර මුළු තැන්පතු ප්‍රමාණය මිලියන 1,514.8ක් වේ. ශාඛා 09ක් ඇති අතර ප්‍රධාන ව්‍යාපාර ස්ථානය වනුයේ නො. 400, ගාලුපාර, කොළඹ - 03 යන ලිපිනයේය. ප්‍රධාන ව්‍යාපාර වනුයේ කල්බදු, කුලී සින්නක්කර, ව්‍යාපාරික ණය, පෞද්ගලික ණය හා අනෙකුත් මූල්‍යමය අවශ්‍යතා සඳහා සේවා සැපයීමයි.

මහ බැංකුවේ නියමයන්ට අනුව අබාන්ස් ෆිනෑන්ස් ආයතනයේ ආරම්භක සභාපතිනිය වන අබාන්ස් පෙස්ටොන්ජි මහත්මියද විශ්‍රාම ලැබුවාය. ඇය අබාන්ස් සමූහ ව්‍යාපාරයේම සභාපතිනිය ලෙස මෙම ව්‍යාපාරය දියුණුවට අවශ්‍ය නායකත්වය හා අවශ්‍ය උපදෙස්ද ලබාදුන්නාය. ඇයගේ සමුගැනීමෙන් පසු ඇයගේ වැඩිමහල් පුතු වන රූසි පෙස්ටොන්ජි මහතා අබාන්ස් ෆිනෑන්ස් ආයතනයේ සභාපති ලෙස පත්විය.

2012.01.01 දින සිට අබාන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නව කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබූ කිත්සිරි වනිගසේකර මහතා වසර 30 මූල්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි අයෙකි.

ඔහු මෙයට පෙර මහනුවර සිංහපුත්‍ර ෆිනෑන්ස් ආයතනයේ සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂවරයා විය. සභාපති ලෙස ඔහුගේ සේවා කාලය වන 1990 සිට 2007 සැප්තැම්බර් වනවිට එම ආයතනය මධ්‍යම පළාතේ පිහිටා තිබුණද එහි නාමය ලංකාව පුරා ප්‍රචලිත කිරීමට ලංකාවේ පිළිගත් ව්‍යාපාරයක් බවට පත්කිරීමට කිත්සිරි වනිගසේකර මහතාගේ නායකත්වය මූලිකවූ අතර ඔහුගේ විශ්‍රාම ගැන්වීම සිදුවනවිට සිංහපුත්‍ර ආයතනයේ මුළු වත්කම මිලියන 3500කට හා තැන්පතු මිලියන 2400ක්ද හා වෙළෙඳ ලාභය වාර්ෂිකව මිලියන 150 දක්වා වර්ධනය කිරීමට හැකි වීමෙන් ඔහුගේ මූල්‍ය ක්ෂේත්‍රයේ හැකියාව දැනුම සඳහා උදාහරණ ලෙස ගත හැක.

ඔහු 2005 වසරේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පවත්වන ලද තරගයේදී හොඳම ව්‍යවසායකයා ලෙස ප්‍රාදේශීය වශයෙන් (රිදී සම්මානය) ද මුළු දිවයිනේම ලෝකඩ සම්මානයද ලබාගෙන ඇත.

කිත්සිරි වනිගසේකර මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වන විට 2009 ජූනි 01 දින සිට අබාන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරමින් සිටියේය.

අබාන්ස් නව අධ්‍යක්ෂ මණ්ඩලය.

රූසි පෙස්ටොන්ජි මහතා (සභාපති), කිත්සිරි වනිගසේකර මහතා (කළමනාකාර අධ්‍යක්ෂ) සරොෂි ඩුහාෂ් මිය, චන්න පතිරණ මහතා, වී.කේ. වොක්ෂි මහතා, ටී. සෝමේෂ්වරන් මහතා.

Posted by Ravaya on 2:33 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමේ හිටපු සභාපති අබාන්ස් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක තනතුරට"

Leave a reply