ලෝක් පාල් පනත යළි කරළියට


පසුගිය අගෝස්තු මාසයේදී මන්මෝහන් සිංග් ගේ පාලනයෙන් ඉදිරිපත් කළ ලෝක් පාල් පනතට එරෙහිව මාරාන්තික උපවාසයක් ඇරඹු දූෂණ විරෝධී ජනතා ව්‍යාපාරයට නායකත්වය දුන් අන්නා හසාරේ එම උපවාසය අත්හැරියේ ශීත සෘතුවේ ලෝක් සභා සැසිය අවසන් වීමට පෙර ජනතා ලෝක් පාල් පනතක් සමම්ත කරන බවට රජයෙන් ලබා දුන් පොරොන්දුවක් මතය. ලෝක් සභාවේ දේශපාලන පක්ෂ සහ හසාරේගේ කණ්ඩායම සහභාගි වූ සාකච්ඡාවට කීපයකින් ලෝක් පාල් පනතක් පිළිබඳව එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවීමෙන් පසුව මන්මෝහන් සිංග් පාලනය ඉදිරිපත් කළ පනත දූෂණ විරෝධී ජනතා ව්‍යාපාරයේ නායකයින්ගේ දැඩි විරෝධයට ලක් විය. එය ඉල්ලා අස්කරගත් රජය හසාරේ කණ්ඩායම සමග සාකච්ඡා කොට ජනතා සංවිධානවල අදහස්ද ඇතුළත් කර ගන්නා ලෝක් පාල් පනතක් ශීත සෘතුවේ ලෝක් සභා සැසිය අවසන් වීමට පෙර සම්මත කරගැනීමට එකඟ විය. ඒ අනුව ශීත සෘතුවේ සැසි වාරය සතියකින් දීර්ඝ කිරීමෙන් පසු ඉදිරිපත් කළ පනත ලෝක් සභාවෙන් සම්මත කෙරිණ. එම පනත බොහෝ විචාරකයින් පෙන්වා දෙන ආකාරයට කරුණු කීපයකින් අගෝස්තු මාසයේ ඉදිරිපත් කළ පනතට වඩා පසුගාමී වුවත් ලෝක් සභාවෙන් සම්මත කරගැනීමට මන්මෝහන් සිංගේ ගේ රජය සමත් වූයේය.

මන්මෝහන් සිංග්ගේ පාලනයෙන් ඉදිරිපත් කළ ලෝක්පාල් පනත අන්නා හසාරේගේ කණ්ඩායමේ විරෝධයට ලක්වුවද ලෝක් සභාවෙන් සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගැනීම අගෝස්තු මාසයේ දුන් පොරොන්දුව ඉටු කිරීමක් වන්නට ඉඩ තිබිණ. එහෙත් එය නීතිගත වීම වැළැක්වූයේ රාජ්‍ය සභාවෙන් සම්මත නොවීම නිසාය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ රාජ්‍ය සභාවේ බහුතරයක් මන්මෝහන් සිංගේ නායකත්වයෙන් යුතු සන්ධානයට නොමැති නිසා විපක්ෂයේ දැඩි විරෝධයට ලක්වූ පනත ඡන්ද වීමසීමට ඉදිරිපත් නොකොට සැසිවාරය අවසන් කිරීමය. ඒ අනුව එය නව සැසි වාරයේදී නැවත ඉදිරිපත් කරන තෙක් පසුපසට කෙරේ. මීට පෙර ජනතා නියෝජනයේදී ස්ත‍්‍රීන්ට කෝටාවක් වෙන් කිරීම සඳහා ඉදිරිපත් කළ පනතට අත්වුයේද මෙවැනිම ඉරණමකි. සන්ධානයේ සමහර පක්ෂවල විරෝධය නොතකා එම පනත ලෝක් සභාවෙන් සම්මත කර ගත් නමුත් රාජ්‍ය සභාවෙ ඡන්ද විමසීමකට එම පනත ඉදිරිපත් නොකිරීමෙන් එය හමස් පෙට්ටියට වැටිණ. ලෝක් සභාවේදී මෙම පනතට සන්ධානයේ පක්ෂ වන සමාජවාදී පක්ෂය තෘණමුල් කොංග‍්‍රසය යන පක්ෂ දෙකත් බහුජන් සමාජ් පක්ෂයත් විරුද්ධ නොවු නමුත් රාජ්‍ය සභාවේදී ඔවුහු ඊට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළහ. එමනිසා මන්මෝහන් සිංග් රජයට ගත හැකි වඩාත්ම ආරක්ෂිත පියවර වූයේ පනත ඡන්ද විමසීමකට ඉදිරිපත් වීම වැළැක්වීම පමණි.

එහෙත් වැදගත්ම කරුණවන්නේ ස්ත‍්‍රී නියෝජන පනතේදී මෙන් මන්මෝහන් සිංග්ගේ රජයට ලෝක් පාල් පනත සම්බන්ධයෙන්ද නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හැකිද යන්නයි. ඉන්දියානු ජන සමාජයේ පිළිලයක් බවට පත්ව ඇති දූෂණ හා වංචා පිළිබඳව ඇති චෝදනා පහසුවෙන් බැහැර කිරීමට හෝ අමතක කිරීමට හැකි තත්ත්වයක් නැත. සමහර බරපතළ චෝදනා සම්බන්ධයෙන් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත අධිකරණ ක‍්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒවා සම්බන්ධයෙන් මධ්‍යම රජයේ කැබිනට් ඇමතිවරුන් පවා සිරභාරයට පත්වූහ. මෙම දූෂණවලට අදාල මුදල් ප‍්‍රමාණය කෝටි ප‍්‍රකෝටි ගණන් වන නිසා ජනතාව තුළ ඇති විරෝධය ද සුළු පටු නොවේ. මෙය ඉතා හොඳින් පැහැදිලි වූයේ පසුගිය වසරේ මැද භාගයේදී අන්නා හසාරේ දූෂණවලට එරෙහිව පියවර ගැනීමට රජයට බල කෙරෙමින් උපවාසයක් ආරම්භ කළ අවස්ථාවේදීය. දෙවැනි නිදහස් සටන වශයෙන් නම් කළ එම විරෝධතා ව්‍යාපාරයට ඉන්දියාවෙත් සෑම ප‍්‍රාන්තයකින් මෙන්ම සෑම ජනකොටසකින්ම සහාය පළ විය. පාලක කොංග‍්‍රස් සන්ධානයට එරෙහි දැවැන්ත ජනතා  ව්‍යාපාරයක් බවට පත් වෙමින් තිබුණ එය නතර වූයේ හසාරේ කණ්ඩායමේ යෝජනා පදනම් කර ගන්නා ලෝක් පාල් පනතක් ඉදිරිපත් කරන බවට මන්මෝහන් සිංගේ පාලනය දුන් පොරොන්දුවක් අනුවය.

ශිෂ්ට සමාජයක  ඕනෑම කෙනෙකු පිළිකුල් කරන දූෂණ හා වංචා වැළැක්වීමේ අවශ්‍යතාව ගැන කිසිදු දේශපාලන පක්ෂයක හෝ සමාජ සංවිධානයක විරෝධයක් නොවූ නමුත් ගැටලූව මතුවූයේ පනතේ විෂයපථය හා එම ආයතනය සතු විය යුතු බලතල ගැනය. ලෝක් පාල් ආයතනයේ විමර්ශනවලට ඉන්දියාවේ අගමැති හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ඇතුළු සියලූ දෙනා ඇතුළත් විය යුතුයැයි හසාරේ කණ්ඩායම යෝජනා කළත් රජය ඊට එකඟ වූයේ නැත. එමෙන්ම ජනතා සංවිධානවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන සකස් කර ඇති ජනතා ලෝක් පාල් පනත රජය පිළිගත යුතුයැයි හසාරේ කණ්ඩායම කියා සිටි නමුත් රජය ඊට එකඟ වූයේ නැත. ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ බලතල පැවරී ඇත්තේ ලෝක් සභාවට නිසා ජනතා සංවිධානවලට එම බලය ලබාදිය නොහැකි යැයිද රජයේ පාර්ශ්වයෙන් තර්ක කෙරිණ. අගමැතිවරයාගේ වැඩ කටයුතු විමර්ශනය කිරීමට ලෝක් සභාවට බලය පැවරීම පාර්ලිමේන්තුවට වඩා උසස් ආයතනයක් නිර්මාණය කිරීමක් ලෙස කොංග‍්‍රස් රජයෙන් චෝදනා එල්ල විය. කෙසේ වුවත් අන්නා හසාරේගේ කණ්ඩායමෙන් ඉදිරිපත් වූ සමහර යෝජනාද ඇතුළත් වන ලෝක් පාල් පනතක් ඉදිරිපත් කිරීමට රජය එකඟ වූයේය.
දෙසැම්බර් මාසයේ අග සතියේදී ලෝක් සභාවට ඉදිරිපත් වූයේ එවැනි පනතක් යැයි මන්මෝහන් සිංග් පාලනයෙන් පැවසුවද අනා හසාරේ ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම එය අනුමත කළේ නැත.

ඔවුන්ගේ ප‍්‍රධාන චෝදනාව වූයේ කොංග‍්‍රස් සන්ධානයේ රජය ඉදිරිපත් කළ පනත අනුව ලෝක් පාල් සභාවට සාමාජිකයින් පත් කිරීම පිළිබඳවය. සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් එම සභාවේ බහුතරයක් රජයට පත් කිරීමට ඉඩසැලසෙන නිසා එය ස්වාධීන හා අපක්ෂපාත නොවනු ඇතැයි හසාරේගේ කණ්ඩායම චෝදනා කරති. මෙම පාලන සභාවට වෙනත් පසුගාමී පන්ති (OBC) වල නියෝජනයක් ලබාදීමට මන්මෝහන් සිංග් රජය එකඟවීම නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ විය. ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මෙවැනි සමාජ කණ්ඩායම්වලට රජයේ පත්වීම් ලබාදීමේදී සියයට 27ක නියෝජනයක් වෙන් කළ යුතුය. ඒ අනුව මුස්ලිම් ජන කොටසට හිමි වන්නේ සියයට 4.5ක නියෝජනයකි. එහෙත් මන් මෝහන් සිංග්හාගේ පාලනය ලෝක් සභාවේ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව ඔවුන්ට සියයට 10ක නියෝජනයක් වෙන් කිරීමට එකඟ වූයේය.

භාරතීය ජනතා පක්ෂයේ දැඩි විරෝධයට ලක් වූ මෙම පියවර වෙනස් නොකරන්නේ නම් ලෝක් පාල් පනත රාජ්‍ය සභාවෙන් සම්මත කර ගැනීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන්නේ යැයි අනතුරු හැඟවීමක්ද කළේය.
මෙම පනත යටතේ ස්ථාපිත කෙරෙන ලෝක් පාල් ආයතනයට විමර්ශන කටයුතු සඳහා මධ්‍යම විමර්ශන කාර්යාංශය මත යැපීමට සිදු වුවද ඒ පිළිබඳ පාලන බලයක් ලෝක්පාල් ආයතනයට හිමි නොවීමද හසාරේගේ කණ්ඩායමේ විවේචනයට ලක්ව ඇති කරුණකි. දැනට පවතින තත්ත්වය අනුව සී.බී.අයි. නමින් හැඳින්වෙන මධ්‍යම විමර්ශන කාර්යාංශය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ අභිමතය අනුවය. ඒ අනුව සාධාරණයක් ඉටු වන්නේද යන්න බොහෝ දෙනා මතු කරන ප‍්‍රශ්නයකි. මීට අමතරව ලෝක් පාල් ආයතනය ප‍්‍රාන්ත රාජ්‍ය මට්ටමේ ක‍්‍රියාත්මක වීම තීරණය වන්නේ ඒ අදාළ ප‍්‍රාන්ත රජයේ අනුමැතිය අනුවය. එයද ලෝක් පාල් ආයතනයේ බලතල හීන කිරීමේ අරමුණෙන් ඇතුළත් වගන්තියක් යැයි චෝදනා ඉදිරිපත් කර ඇත. හිටපු අධිකරණ ඇමැතිවරයෙකු මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වන ශාන්ත භූෂාන් පෙන්වා දෙන ආකාරයට මෙම වගන්තිය ලෝක් පාල් ආයතනය දුර්වල කිරීමේ අරමුණෙන් මන්මෝහන් සිංග් පාලනය හිතාමතාම ඇතුළත් කරන ලද්දකි. මීට පෙර ලෝක් සභාවෙන් සම්මත කර ඇති දූෂණ වැළැක්වීමේ පනත මෙවැනි විශේෂයක් නැතිව ප‍්‍රාන්ත රාජ්‍ය තුළ ක‍්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දේ.
දූෂණ සහ වංචා පිටුදැකීම සඳහා ලෝක් පාල් පනතක් ගෙන ඒමට මූලික වශයෙන් අන්නා හසාරේ ඇතුළු සිවිල් සමාජ සංවිධාන ක‍්‍රියා කළද දේශපාලන පක්ෂ ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වූ බවක් නොපෙනේ.

ප‍්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙවැනි පනතක අවශ්‍යතාව අවිවාදයෙන් පිළිගත් නමුත් එහි විෂය පථය හා ක‍්‍රියා පටිපාටිය ගැන එවැනි එකඟතාවක් පළ කළේ නැත. ලෝක් පාල් පනත සම්මත කර ගැනීමට නොහැකි වූයේ භාරතීය ජනතා පක්ෂයේ විරෝධය නිසායැයි කොංග‍්‍රස් පක්ෂය චෝදනා කරයි. අනෙක් අතට කොංග‍්‍රස් සන්ධාන රජයේ දේශපාලන පක්ෂ අතරද පනත ගැන එකඟතාවක් නොමැත. ඉදිරිපත් වී ඇති පනතට දේශපාලන පක්ෂවලින් දෙසීයකට ආසන්න සංශෝධන සංඛ්‍යාවක් යෝජනා වී ඇති අතර හසාරේගේ කණ්ඩායමද සංශෝධන 34ක් ඉදිරිපත් කළහ.
පාලක කොංග‍්‍රස් සන්ධානය පිළිගෙන ඇත්තේ ඉන් එක සංශෝධනයක් පමණි. මේඅනුව ලෝක්පාල් පනතටද ස්ත‍්‍රී නියෝජනය පිළිබඳ පනතට අත් වූ ඉරණම අත්වීමට බෙහෙවින් ඉඩකඩ පවතින නමුත් ඉන් දූෂණ හා වංචා පිළිබඳව ජනතාව තුළ ඇති පිළිකුල හා අප‍්‍රසාදය යට කළ හැකි යැයි සිතිය නොහැක.

- සටහන - මහින්ද හත්තක (ලංකාදීප)


ලෝක් සභාවඅන්නා හසාරේට පක්ෂපාතී පිරිස්හසාරේගේ පිරිස දිල්ලිවල පැවැත්වූ උද්ඝෝෂණයක්


අන්නා හසාරේ

Posted by Ravaya on 7:12 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ලෝක් පාල් පනත යළි කරළියට"

Leave a reply