4000කට වැඩි පිරිසක් පෙරළුණු සුපිරි නැව කොස්ටා කොන්කෝඩියා

නැවක් අනතුරකට පත් වූ අවස්ථාවක් පිළිබඳ කතා කරන සෑම විට ම ඕනෑ ම කෙනෙකුට මුලින් ම සිහි වන්නේ ‘ටයිටැනික්’ නැවේ ඛිෙදවාචකයයි.‘ටයිටැනික්’ තරම් ම දරුණු ප්‍රතිඵලයක් ඇති නොවුණත් බරපතළකම අතින් ටයිටැනික් නැවේ අනතුරට පමණක් දෙවන වන නැව් අනතුරක් පසුගිය දා ඉතාලියෙන් වාර්තා විය. එනම් කොස්ටා කොන්කෝර්ඩියා නම් ඉතාලි නෞකාව ඉතාලියේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වීමයි.

මගීන් තුන් දහසක් සහ දහසකට අධික සේවක පිරිසක් සමග දින හතක ගමනක් අරඹමින් පසුගිය සිකුරාදා (13) ඉතාලියේ රෝම නගරය ආසන්නයේ පිහිටි චිවිටවේක්‍යා වරායෙන් පිටත් වූ කොස්ටා කොන්කෝර්ඩියා නැව ඉන් පැය තුනකට පමණ පසුව අනතුරට ලක් වූයේ බටහිර ඉතාලියේ ඊසොලා දි ජීල්යෝ දූපතෙහි වෙරළට ආසන්නයේ පිහිටි ගල් පරයක ගැටීමෙනි. අනතුරට ලක් වීමත් සමග නැව ක්‍රම ක්‍රමයෙන් පැත්තට පෙරළීමට පටන් ගෙන තිබුණි.

රාත්‍රී දහයට පමණ මෙම අනතුර සිදු වූයේ නැවේ මගීන් රාත්‍රී ආහාරය ගනිමින් සිටිනාතුරේ ය. අනතුරෙහි බැරෑරුම්කම අවබෝධ වීමත් සමග නැවෙන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ ද සමහර මගීන්ට ජීවිතාරක්ෂක බෝට්ටු-වලට නැගී නැවෙන් පිට වීමට ඉඩ ලැබි ඇත්තේ අනතුර සිදු වී පැය දෙකකට ද පසුව බව පැවසේ. මේ අතර, තමන්ව බේරා ගනු ලබන තෙක් බලා සිටීමට තරම් ඉවසීමක් නොතිබුණු මගීන් සිය දෙනෙකු පමණ නැවෙන් මුහුදට පැන ගොඩබිම බලා පිහිනා ගොස් ඇත. ඊසොලා දි ජීල්යෝ දූපත් වැසියන් ඔවුන් සාදරයෙන් පිළිගෙන සත්කාර කර තිබුණි.

අනතුර සිදුවීමෙන් පසුව නැව තුළ සිර වී සිටි මගීන් සෙවීමේ මෙහෙයුම් දිගට ම ක්‍රියාත්මක විය. මධුසමය ගත කිරීම සඳහා පැමිණ සිටි දකුණු කොරියානු යුවළක් එසේ නැව තුළ සිර වී සිට අනතුර සිදු වී පැය විසි හතරකට ද පසුව බේරා ගනු ලැබිම විශේෂ සිදු වීමක් විය. මෙම අනතුරෙන් මිය ගිය හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ අතර තවත් 29 දෙනෙකුට පමණ කුමක් සිදු වූයේ ද යන්න තවමත් තහවුරු කරගෙන නැත. ආරක්ෂා සහිතව ගොඩ බිමට පැමිණිය ද අදාළ නිලධාරීන්ට තම නම් ලබා නොදී පිටව ගිය අය ද එම 29 දෙනා අතරට ඇතුළත් වන බව වාර්තා වේ. මෙම අනතුරෙන් තුවාල ලැබූවන්ගේ ගණන 70ක් පමණ බව පැවසේ.
වසර හයක් තිස්සේ කොස්ටා කොන්කෝර්ඩියා නැවේ කපිතාන් ලෙස කටයුතු කළ ඉතාලි ජාතික ෆ්‍රැන්චෙස්කෝ ස්කෙටිනෝ මෙම අනතුරෙන් දිවි බේරාගෙන තිබුණි. එහෙත් ඉන්පසුව ඔහු පත් වූයේ අනතුරෙන් තමන් මිය ගියේ නම් වඩා හොඳයැයි සිතෙන තත්ත්වයකට ය. ඒ, නැවේ සිටි මගීන් සියලු දෙනා ආරක්ෂාකාරී ලෙස ඉවත් කිරීමට පෙර කපිතාන්වරයා නැව අත්හැර ගිය බවට ඇති වූ සැකය මත ඔහු ‍පොලිස් අත් අඩංගුවට පත් වීම නිසාය. අනතුරේ වගකීම ද කපිතාන්වරයා වෙත පැවරීමට නැව අයත් සමාගම උත්සාහ කර තිබුණි. වසරකට 52 වරක් එකම නාවික මාර්ගයේ ගමන් කරන කොස්ටා කොන්කෝර්ඩියා නෞකාව මෙවර පමණක් අනතුරට ලක් වූයේ වෙනදා පුරුදු මාර්ගයෙන් පිට පැන ගමන් කළ නිසා විය යුතු බවට සැක පළ වී තිබේ. ඒ අනුව, අනතුරක් සිදු කිරීම, මගීන් අනතුරේ දමා පැන යාම සහ බහු මනුෂ්‍ය ඝාතනය යන චෝදනා කපිතාන්වරයාට එල්ල වී ඇත.

ලොව විශාලතම නැව් සමාගම වන කානිවල් කෝපරේෂන්  ඇමෙරිකානු සමාගමට අයත් කොස්ටා කොන්කෝර්ඩියා නැව ඉතාලියේ කොස්ටා නැව් සමාගම මගින් පාලනය කෙරෙන්නකි. ඉතාලි සමාගමක් විසින් නිර්මාණය කරන ලද මෙම නැවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 450කි. මෙම නැව ඉදි කරන අවස්ථාව වන විට එය එතෙක් ඉදි වී තිබූ විශාලතම ඉතාලි නෞකාව ද විය. නැවට “කොන්කෝර්ඩියා” ලෙස නම් තබා ඇත්තේ යුරෝපානු ජාතීන් අතර සමගිය, එකමුතුකම සහ සාමය දිගටම රැඳී තිබේවා යි ප්‍රාර්ථනා කිරීමක් වශයෙනි.

කොස්ටා කොන්කෝර්ඩියා නෞකාව මගීන් ප්‍රවාහනයට එක් වූයේ 2006 වසරේ දී ය. අඩි 952ක දිගින් යුත් එය තට්ටු 17කින් සමන්විත ය. ඩීසල් එන්ජින් හයකින් බලය ලැබෙන මෙම නැව ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර 43ක් පමණ ය. ටොන් 114,500ක් බර කොස්ටා කොන්කෝර්ඩියා නැව ආරක්ෂාව සම්බන්ධයෙන් අති විශේෂ අවධානයක් යොමු කර නිර්මාණය කර ඇත. කොස්ටා නැව් සමාගම සතු නැව් 16 අතුරින් විශාලතම නෞකාව වූ මෙහි මගීන් 3,700කට ගමන් කළ හැකි ය. එහි ගමන් කළ හැකි සේවක පිරිස 1,100ක් පමණ වේ. ඒ අනුව එහි ගෙන යා හැකි උපරිම පුද්ගලයන් ගණන 4,800ක් පමණ ය.

කොස්ටා කොන්කෝර්ඩියා නැවේ සවාරියක් යාම අධි සුඛෝපභෝගී හෝටලයක නිවාඩුවක් ගත කරන්නාක් හා සමාන අත්දැකීමකි. මෙම නැව කාමර 1,500කින් සමන්විත වූවකි. ඉන් 505කට පෞද්ගලික සඳළුතල පැවති අතර තවත් කාමර 55ක සිට කෙළින් ම ස්පා එකකට ඇතුළු විය හැකිය. මීට අමතරව පෞද්ගලික සඳළුතල සහිත කාමර කට්ටල (ස්වීට්) 58ක් ද මෙම නැවේ තිබුණි. සාගරය මැද දී දැකිය හැකි විශාලතම ව්‍යායාම මධ්‍යස්ථානය පැවතියේ ද මෙම නැව තුළ ය. ෆිට්නස් සෙන්ටර්, ජිම්, මුහුදු වතුරෙන් සිරුර සම්බාහනය කරන ආකාරයේ තටාකයක්, නවීන තාක්ෂණයේ සම්බාහන ස්ථාන ආදී සුඛෝපභෝගී පහසුකම් රැසක් එහි විය. ඊට අමතරව පිහිනුම් තටාක හතරක්, ජල සම්බාහනය සහිත නාන බේසම් පහක්, ස්පා පහක් ආදී විශේෂ පහසුකම් එහි තිබුණි. ලොව ඕනෑ ම රටකට අයත් ආහාර වර්ග ලබා ගත හැකි අවන්හල් පහකින් සහ මත්පැන්, කෝපි, චොක්ලට් ඇතුළු බිම වර්ග ලබා ගත හැකි බිමහල් 13කින් මෙම නැව සමන්විත විය.

කොස්ටා නැව් සමාගමට අයත් සෑම නැවක් සඳහා ම චිත්‍රපට, සංගීතය, පුරාණ රෝම දෙවිවරුන් ආදී තේමාවන් පවතී. ඒ අනුව, මෙම නැව තුළ ද විනෝදාස්-වාදය සඳහා පහසුකම් රැසක් යොදා තිබුණි. සුපිරි මට්ටමේ රඟහලක්, කැසිනෝ ශාලාවක් සහ රාත්‍රී සමාජ ශාලාවක්, දරුවන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් මෙන් ම අන්තර්ජාල පහසුකම් සපයන ස්ථානයක් (ඉන්ටර්නෙට් කැෆෙ) ඊට අයත් වේ.

කොස්ටා කොන්කෝර්ඩියා නැව මුහුණ පෑ අනතුර හේතුවෙන් කොස්ටා සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ අලාභයක් සිදු වූ බව ඇස්තමේන්තු කර ඇත. මේ වන විට යෝධ තල්මසෙකු මෙන් පැත්ත වැටී සිටින කොස්ටා කොන්කෝර්ඩියා නෞකාව සම්බන්ධයෙන් ඉතාලියානු බලධාරීන් දැන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නැවෙහි ඉන්ධන මුහුදට කාන්දු වීමේ අවදානමක් පැවතීමයි. අනතුර සිදු වන අවස්ථාවේ නැවේ ඉන්ධන ටොන් 2,300ක් ගබඩා කර තිබි ඇත.

Posted by Ravaya on 1:49 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "4000කට වැඩි පිරිසක් පෙරළුණු සුපිරි නැව කොස්ටා කොන්කෝඩියා"

Leave a reply