ජනාධිපතිගේ 13ට වැඩි විසඳුම සන්ධානයේ පක්ෂවල පොදු තීරණයක් නෙවෙයි - ආණ්ඩුපක්ෂ නියෝජිතයෝ කියති

ශ‍්‍රී ලංකාවේ ජාතික ගැටුලවට 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ලබාදෙන බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා හමුවේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය සිදුකර ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව බව ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

ජාතික හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික සන්ධානය යන ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂ කිසිවක් ජනාධිපතිවරයා ලබාදෙන බව ප‍්‍රකාශ කරන 13න් ඔබ්බට ගිය විසඳුමේ ස්වභාවය පිළිබඳ දැනුවත් භාවයක් තමන්ට නොමැති බවද ප‍්‍රකාශ කරති.

මේ පිළිබඳව අප කළ විමසීමේදී ජාතික හෙළ උරුමයේ නීති උපදේශක උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයාට ජාතික ගැටලූව සම්බන්ධයෙන් යම් මතයක් ඇති අතර තමන් ඇතුළු අනෙක් පක්ෂවලටද ජාතික ගැටලූවට ලබාදිය යුතු විසඳුම් සම්බන්ධයෙන් තමන්ගේ මතයක් ඇති බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික සන්ධානයේ නායක වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා 13න් ඔබ්බට ගිය විඳුමක් ලබාදෙන බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. එම්. ක‍්‍රිෂ්ණා මහතා සමඟ ප‍්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡාවක් සිදුනොකළ බවත්ය.

කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ එවැනි ප‍්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදුකළා ද නැද්ද යන්න තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් නොදැනුවත්ව මාධ්‍යයට අදහස් දැක්වීමට තමන් අකැමති බවත්ය.

මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ 13න් ඔබ්බට ගිය විසඳුමක් පිළිබඳ රජය තීරණයක් ගෙන නොමැති බවයි.

ලංකා සමසමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතාගෙන්ද මේ පිළිබඳව විමසූ විට ජනාධිපතිවරයා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනෙකුත් ආණ්ඩුවේ දේශපාලන පක්ෂත් සන්ධීය ව්‍යූහයක් තුළ බලය බෙදීමකට සර්වපාක්ෂික කමිටුවේදී දැඩි සේ විරුද්ධ වූ බව ප‍්‍රකාශ කළ අතර ඔහු තවදුරටත් පැවසූවේ ජනාධිපතිවරයා අදහස් කළ 13න් ඔබ්බට ගිය විසඳුමද ඒකීය රාමුවක් තුළම සිදුවන බලය බෙදීමක් විය හැකි බවයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්.එම්. අස්ලාම් මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා අදහස් කරන විසඳුම කුමක්දැ’යි තමන් නොදන්නා බවත්, ද්‍රවිඩ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාවටද ශ‍්‍රී ලංකාව තුළ සමාජ දේශපාලන ප‍්‍රශ්න තිබෙන බවත්ය.

- රාවය

Posted by Ravaya on 3:02 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ජනාධිපතිගේ 13ට වැඩි විසඳුම සන්ධානයේ පක්ෂවල පොදු තීරණයක් නෙවෙයි - ආණ්ඩුපක්ෂ නියෝජිතයෝ කියති"

Leave a reply