කේ.පී.ට මෙහෙමයි-රැඳවියන්ට එහෙමයි
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන් මහතා ඊයේ (15 ඉරිදා) තෛපොංගල් උත්සවයකට සහභාගී වූ ආකාරය විදහා දැක්වෙන ඡායාරූපයක් යොමුකරමින් දෙමළ බන්ධනාගාර රැඳවියන්ට තෛපොංගල් දිනයේදී සිය නිවසෙන් ගෙනෙන බත්පත පවා ලබාදීමට ඉඩනොදීම පිළිබඳව 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානය යළිත් ප්‍රශ්න කර සිටී.
ඒ සම්බන්ධයෙන් සඳහන් කරමින් පහත සටහන අප වෙත එවා තිබිණි.
"මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී ඊයේ පේදුරු තුඩුවේ දී (2012.01.15) තෛයිපෝංගල් උත්සවයකට සහභාගී වී සිටි ආකාරයයි.
එසේම අප ඊයේ දිනයේදී බන්ධනාගාරයේ සිටි රැදවියන්ට අඩුම තරමේ පොරොන්දු වූ පරිදි තෛයිපෝංගල් දිනයේ දී තම ඥාතීන් බැලීමට හෝ අවස්ථාව ලබා නොදීම පිළිබඳ විරෝධය පල කර සිටියෙමු.
ආණ්ඩුවේ මෙම දෙබිඩි නින්දිත ප‍්‍රතිපත්තිය කුමක්දැයි අප ප‍්‍රශ්න කළ යුතුව ඇත. එක පැත්තකින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉහළම නායකයින්ට අදාළව කිසිඳු නීතියක් ක‍්‍රියාත්මක නොකරන අතර අනෙක් පැත්තෙන් දෙමළ රැඳවියන්ට තම නිවෙස් වලින් ගෙනා බත්පත හෝ ලබා දීමට ඉඩ නොදෙයි.
මේ තත්ත්වය අනුව පෙනී යන්නේ ලංකාවේ නීතිය හා නීතියේ ආධිපත්‍යය බි`දවැටී ඇති ආකාරයයි. ආණ්ඩුවේ ශික්ෂණ ක‍්‍රියාවලියට නතු වේ නම් හා ආණ්ඩුවේ පදේට නැටීමට එකඟ වේ නම් ඕනෑම අයෙකුට නිදහසේ සිටීමට හැකිය. කේ.පී. ගේ මුදල්වලට හා ඔහුට අයත්යැයි කියන නැව් වලට හිලව් වන්නට ආණ්ඩුව ඔහු නිදහස් කොට ඇත. නමුත් දුප්පත් දෙමළ රැඳවියන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ ඊට වඩා වෙනස් තත්ත්වයකටය.
එම නිසා ආණ්ඩුව අද මෙම ප‍්‍රශ්න වලට වහාම පිළිතුරු දිය යුතුය.
01. කේ.පී. ප‍්‍රභාකරන්ගෙන් පසුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයා බව ප‍්‍රකාශ කළ පසු පිටරටකදී අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආවේ වැරදීමකින් ද?
02. අද ඔහු සිටින්නේ අත්අඩංගුවේද නැද්ද? අත් අඩංගුවේ සිටීනම් මේ ආකාරයේ උත්සව වලට යා හැකි, ඒ අත්අඩංගුවේ තබා ගැනීමේ ක‍්‍රියාවලිය කුමක්ද?
03. ඔහු නිදහස් කළානම් ඒ නිදහස් කළේ කවර නීතියක් යටතේ ද? කවර අධිකරණයකින් ද?
04. කිසිම දඬුවමක් නොමැතිව මේ ආකාරයෙන් නිදහසේ හැසිරෙන කේ.පී ට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කිසිම දිනෙක කිසිම සබඳතාවයක් තිබුනේම නැද්ද?"
(මෙම ඡායාරූපය යාපනයේ පළවන උදයන් පුවත්පතෙන් උපුටා ගැනිනි).
0 comments for "කේ.පී.ට මෙහෙමයි-රැඳවියන්ට එහෙමයි"