අමාත්‍ය මර්වින් සිල්වා හීන්සැරය කියවා අතීතය අමතක කරලා

‘පිබිදෙන කැළණිය’ වංචා දූෂන චෝදනාවලට ලක්ව සිටින අමාත්‍ය මර්වින් සිල්වා මේ දිනවල ‘හීන් සැරය’ කියවමින් සිටින බවත්, තමන්ගේ හිතවත්ම නාලිකාව ‘සිරිස’ නාලිකාව බවත් සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාව තමන් පසුගිය කාලයේ කරකී දේවල් හොදින් දන්නා බවත්, තමාගේ කෝපය ඉස්මතු වුවහොත් තමාට විරුද්ධව කටයුතු කරන අයට තිසරන සරණ ප‍්‍රාර්ථනා කරන බවත් අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර,උප සභාපති චමිල දුමින්ද,ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර,ප්‍රා.මන්ත්‍රී හසිත කැලුම් මඩවල,ප්‍රා.මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන මහත්වරුන් පසුගිය 05 වන දින ප්‍රාදේශීය සභාවේ පැවති මාධ්‍ය හමුවකදී මර්වින් සිල්වා අමාත්‍යවරයාට අභියෝග කර තිබිණි.

කැලණිය,කිරිබත්ගොඩ නගරවල කප්පම් ගැනීම,දූෂණ වංචා හා අක්‍රමිකතාවලට මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ සහචරයින් වගකිව යුතු බවත්,ඒ බව තහවුරු කිරීම සඳහා සියලු ලියකියවිලි හා තොරතුරු තමන් සතුව ඇති බවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා එහි දී සඳහන් කළේය.

තමා ඇතුළු මන්ත්‍රීවරුන්ට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් ඊට මර්වින් සිල්වා අමාත්‍යවරයා මුළු මනින්ම වගකිව යුතු බවත්, තමාගේ නිවෙස්වලට මත් කුඩු දමා තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් තිබෙන බවත් සභාපතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා"පිබිදෙන කැලණිය"නමින් මහා පරිමාණ වශයෙන් කප්පම්ගත් බවත්,ඒවා හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත්,එකී දූෂණ,වංචා හා අක්‍රමිකතා පිළිබඳ ඕනෑම කෙනකු හා සංවාද කිරීමට සූදානම් බව ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා පසුගියදා පැවසීය.



අමාත්‍යවරයා මෙම මාධ්‍යහමුවෙදි ඊට පිලිතුරු ලෙස පවසා සිටියේ නොදැනුවත්කමින් දෙව්දත්, මූසිල වැනි පිරිස් තමන් ළඟ සිටි බවත් තමන් දූෂණ, චංචා සිදුකර ඇත්නම් ඒ පිළිබඳව විමසා බලන රහස් පොලිසිය, පොලිස් මූලස්ථානය, අල්ලස් හා දූෂණ කොමිසම වැනි අංශ වෙත පැමිණිලි කරන ලෙස හෙතෙම කියා සි‍ටියේය. එමෙන්ම තමන් වැරදි නම් තමන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත්, තමන්ට එරෙහිව චෝදනා නගන්නේ නම් ඒ චෝදනා ඔප්පු කරන ලෙසත් අමාත්‍යවරයා අභියෝග කර සිටියේය.

තමන් ශක්තිමත් නම්, නිවැරදි නම්, ධෛර්යවන්ත නම් එක් එක් පුද්ගලයින් පිළිබදව විමසා බැලීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔහු අවධාරණය කර සිටියේය.

තමන් කිසිවෙකුටත් බියක් නොමැති බවත්, තවමත් තමන්ගේ කෝපය ඉස්මතු නොවූ බවත්, එසේ කෝපය මතුවුවහොත් තමන්ට එරෙහිව කටයුතු කළ සියලුදෙනා වෙත තිසරණ සරණ ප්‍රාර්ථනා කරන බවත් මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



කෙසේ වෙතත් මෙවනවිට අමාත්‍යවරයාගේ සහචරයන් දිනෙන් දින පැහැරගැනෙමින් පවතී. පෙරේදා (07) වන දා අළුයම දෙකට පමණ ගෙදර යමින් සිටියදී මොරටුව ප‍්‍රදේශයේ සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය   මාලිගාවත්තේ ඩොනල්ඞ් නොහොත් ‘රංජා’ ගේ පැහැරගැනීමත් සමගම මේ වනවිට මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ සියලූම ගෝලබාලයින් සිය ජංගම දුරකථන නිවාදමා ආරක්‍ෂිත ස්ථානවල සැඟවීමට ගොස් ඇති බව වාර්තා වේ.

පැහැර ගැනීමට ලක්වූ එම පුද්ගලයා වාද්දුව ප්‍රදේශයේ ව්‍යාපාරයක නිරතව සිටි අයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

එම ව්‍යාපාරිකයා වාද්දුවේ සිට කොළඹ බලා එමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු ගමන් කළ වාහනය හරස් කර මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

මෙම පැහැරගෙන යාම පිලිබදව ඩොනල්ඩ් මහතාගේ බිරිදගෙන් කල විමසීමකදී ඇය කියා සිටියේ, ඔහු පිලිබදව කිසිදු තොරතුරක් මේ දක්වා ලැබී නොමැති බවයි. කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ වනවිට මර්වින්ගේ සමීපතම ගෝලයින් අතරින් එලියේ ඉතිරිවී සිටින්නේ රංජන් සිල්වා නොහොත් ‘කළුරංජා’ පමණි. පසුගිය (06) ඔහු විසින් බොරැල්ල කොටාපාරේ පවත්වාගෙන යනු ලබන ‘සඳමිරා මෝටර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ඉදිරිපිටට පැමිණි සුදු ඩොල්පින් වෑන් රථයක් විශාල වේලාවක් එම ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට නතර කරගෙන සිට තිබේ.

මෙයින් මහත් භීතියට පත් ‘කළු රංජා’ යායුතු දිහාවක් නොදැන වැසිකිලියේ සැඟවී මර්වින් සිල්වා ඇමතිවරයාට දුරකථන ඇමතුම් ගණනාවක් දී ඇතත් ඇමතිවරයා ඒ එකකටවත් ප‍්‍රතිචාර දක්වා නොමැත. පසුව එම ව්‍යාපාරික ස්ථානයට පැමිණි ගණුදෙනුකරුවෙකුගේ වෑන් රථයේ බිම දිගාවී ඊට උඩින් සැකනොසිතන ආකාරයට විවිධ භාණ්ඩ අසුරා ‘කළු රංජා’ තම කාර්සේල් එකෙන් පැන ගොස් තිබේ.

මිට සති කිහිපයකට පෙරදී මර්වින් සිල්වා ඇමතිවරයාගේ තවත් සම්බන්ධිකරණ ලේකම්වරයකුවන අමල් රොද්‍රිගු නැමැත්තාද සුදුවෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් දින කිහිපයකට පසු මුදාහැර තිබිණ. ඔහු මේවනවිට පවුල පිටින් රටින් පැනගොස් තිබේ.

Posted by Ravaya on 10:43 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අමාත්‍ය මර්වින් සිල්වා හීන්සැරය කියවා අතීතය අමතක කරලා"

Leave a reply