එහෙම නැතුව බෑ

සවස් වරුකවක සෙන්සෙලෙප්පුවේ හිටිය වෙලාවක ජනාධිපතිතුමාට කෝල් එකක් ආවේය. කතා කරපු ගෑනු එක්කෙනා ජනාධිපති කාර්යාලයේ ෆෝන් එක උස්සපු මෑන්ට කීවේ තමන් අනෝමා බවත්, ජනාධිපතිතුමාට ඉක්මනින් කතා කරන්නට  ඕනෑ බවත්ය. ඔෆීස් එකේ හාදයා ඇසුවේ ජනාධිපතිතුමාට එහෙම  ඕනෑ  ඕනෑ වෙලාවට එක එක්කෙනාට කතා කරන්න බැරි බව දන්නේ නැද්ද කියාය. අනෝමා කිව්වාම එතුමා දන්නවා මල්ලී ගිහිං කියන්නකෝ කියා කතා කරපු ගෑනු කෙනා කියපු විදියට මොකක් හරි සීන් කෝන් එකක් වෙන්නැති,  ඕවට බැරියර් දාන්න ගිහිං ඇනගන්නෙ මොකටද කියා සිතූ කාර්යාලයේ හාදයා පිඹගෙන ජනාධිපතිතුමා හිටි තැනට ගිහිං විස්තරය එක හුස්මට කීවේය. ජනාධිපති සමාවක් දෙන්න තියන චාන්ස් එක ගන්න අනෝමා කෙනෙක් කතා කරන තුරු බලා සිටි ජනාධිපතිතුමා ඇසුවේ කොයි අනෝමද ඔය කතා කරන්නේ කියාය. අර හාදයා කීවේ ඒක නම් දන්නේ නැහැ සර් කියාය. මඳක් නිකට අතගගා තමන් දන්න අනෝමලා ගැන කල්පනා කරමින් සිටි ජනාධිපතිතුමා ඇසුවේ කතා කරපු ලේඩි ටිකක් හච පච ගාන කෙනෙක්ද කියාය. ඔව් ඔව් ටිකක් ඒ වගේ සර් කියූ කාර්යාලයේ මෑන්ට ජනාධිපතිතුමා කීවේ හාපෝ අර ළඟදි පොතක් ලියලා බුදු ඇණයක් වෙච්චි එක්කෙනා වෙන්නැති අනේ හොඳ එකා වගේ ගිහිං මං නැහැ කියලා කියපං කියාය. කියන්න නම් පුළුවන් සර් ඒත් ඔය කියන බුදු ඇණේ නෙමෙයි නම් මොකද කරන්නේ කියා ඇසූ අර හාදයාගෙන් ජනාධිපතිතුමා ඇසුවේ එහෙනං ඔය කතා කරන්නේ චිත‍්‍රපටි කරන හීන්දෑරි අනෝමාද කියාය. අර හාදයාට ටික්ක තදවී කීවේ තාම මහතද හීනිද කියා පේන ටෙලිෆොන් ලංකාවට ඇවිත් නැහැ කියාය. අප්පට සිරි එහෙනං එකත් එකටම සමාව ඉල්ලන්න තරම් වරදක් නොකරපු එක්කෙනාගේ නෝනා ටෆ් ප‍්‍රතිපත්ති වෙනස් කරගෙන සමාව ඉල්ලන්නන හිත හදාගෙන ඇති කියා සිතූ ජනාධිපතිතුමා දඩබඩ ගා අර හාදායාවත් පෙරළාගෙන ෆෝන් එක තියන තැනට දිව්වේය. ගොක්කොළ පෙනි පෙනී සිටින එකෙකුට වුණත් විහිළුවකින් සංග‍්‍රහ කරන්න කැමති ජනාධිපතිතුමා ෆෝන් එක උස්සපු ගමන් කීවේ දැන් ෆොනීටත් වඩා ඔබ තුමිය රටේ ජනප‍්‍රියයිනේ කියාය. එහා පැත්තෙන් කතා කළ අනෝමා ඇසුවේ මං ඡුන්දෙ ඉල්ලූවොත් ඔබතුමාත් මනාපයක් දෙනවාද කියාය. නිකං පුරුද්දට වගේ මේ මොනවා කියනවද මං නොදී ඉන්නවද කී ජනාධිපතිතුමාට ඒ කතාවේ අවුල තේරුණේ තමන් ජනාධිපති බවත්, වෙනත් පක්ෂයක නායකයකු බවත් හදිසියේම කල්පනා වූ නිසාය. ජනාධිපතිතුමා දුන් පිළිතුරට කැකිරි පැලූ අනෝමාට එතුමා කීවේ පසුගිය සතියක අපර්ණා දූගේ ඉන්ටර්විව් එකක් මව්බිමේ තිබුණා ඒක ෂෝක් කියාය. අනෝමා කීවේ ඒ පිටුව රී ප‍්‍රින්ට් එකක් ගහලා ඊට පස්සෙ දවසකත් පබ්ලිෂ් වුණා කියාය. අනතුරුව එතුමිය කීවේ ඒ දරුවා ඉන්ටර්වීව් එකේදී ඔබතුමාට අන්කල් කියපු එක ගැන මොකුත් හිතන්න එපා කියාය. පිස්සුද අපර්ණා දුව මට මොකක් කිව්වම මොකද කී ජනාධිපතිතුමා හැබැයි දූගෙන් ප‍්‍රශ්න අහල තිබ්බ පත්තරකාරයත් මට අන්කල් අන්කල් කියලා ඒකේ ප‍්‍රශ්න අහලා තිබුණේ මොකද දන්නෑ කියා කීවේය. දුවට හොඳට ප‍්‍රශ්නය ඒත්තු ගන්නවන්න වෙන්නැති කී අනෝමාගෙන් ජනාධිපතිතුමා ඇසුවේ ඒ වුණාට මං කවදද ඒ යකාගේ අන්කල් වුණේ කියාය.  ඕවා ටිරාංලගෙ වැඩනෙ කී අනෝමාගෙන් ජනාධිපතිතුමා ඇසුවේ ඒ යක්කු ලියන ලිපිවලට තමන්ම ඒ ඒ කටයුතුවල නිරත වන පින්තූර දාන්නෙ මොකද දන්නැහැ කියාය. ඒ කිව්වෙ කියා ඇසූ අනෝමාට ජනාධිපතිතුමා ඒක පැහැදිලි කළේ නෑ.  ඉතිං පිං ළිඳක් ගැන ෆීචර් එකක් කළත් ලියන එකාම පනිට්ටුවෙන් නාන ෆොටෝ එකක් පත්තරේ යනවා කියාය. ඒ කතාවට හිනාවූ අනෝමට ජනාධිපතිතුමා කීවේ මුං කොයිවෙලාවෙ හරි ලිංගික අවබෝධය සම්බන්ධ කරුණු කාරණා ගැන ලිපියක් ලිව්වොත් තමන්ගේම ගෙදර වෙන දේවල් පින්තූර ගහලා පත්තරේ දාගනියි කියලයි මට බය කියාය. ජනාධිපතිතුමා පත්තර ගැනයි, අනම් මනම් ගැනයි ලිහිසි තෙලක් බෙද බෙදා හිටියේ අනෝමා කූල් ඩවුන් කර සමාව ඉල්ලනවා නම් ඉල්ලිය හැකි පසුබිම හදා දෙන්නට වුවත් ඒ ඉල්ලීම ප‍්‍රමාදවන්නේ මොකද කියා කල්පනා කරමින් සිටි ජනාධිපතිතුමා, අනෝමා ට‍්‍රැක් එකට දාගන්න අදහසින් ඇසුවේ ඉතිං ෆොනී ගැන දැන් මොකක්කද කරන්න හිතන් ඉන්නේ කියාය. අනෝමා කීවේ දැනට නම් විශේෂ දෙයක් නැහැ. ඔබාමාට ලියුමක් දාලා, ඊළඟට ජිනීවා හියුමන් රයිට්ස් යන්න හිතන් ඉන්නවා කියාය. යකෝ මුං මං හිතන් ඉන්න ජාතියේ එවුන් නෙමේ කියා කල්පනා කළ ජනාධිපතිතුමා අනතුරුව ටයිම් අරං කීවේ උසාවි ගේන ඩිංගට ෆොනී අපේ රෙදි ගලවනවනෙ කියාය.  ඕවා ගණන් ගන්න එපා අනේ කියා අනෝමා දැමු හිකි හිකියට ජනාධිපතිතුමාට සැකයක් පහළ වුණු අතර මේ අනෝමා නෙමෙයිවත්ද කියා හෙතෙම බරපතළ දෙගිඩියාවකට පත්වුණේය. ඒක නෙවෙයි ෆොනී නිදහස්වුණු දවසක දේශපාලනය කරන්නෙ දෙන්නගෙන් කවුද කියා ඇසූ ජනාධිපතිතුමා අනෝමා කීවේ අපි කාසියක් උඩ දාලා ඒක තීණය කරනවා කියාය. එක පැත්තක ඔයාගේ නමයි අනෙක් පැත්තෙ ෆොනීගෙ නමයි කොටපු එකක්ද කියා ඇසු ජනාධිපතිතුමාට ඇය කීවේ නැහැ දෙපැත්තෙම මගෙ නම කොටපු එකක් කියාය. ඒ පිළිතුරෙන් ජනාධිපතිතුමාගේ නළල ?ලි වූ අතර අනික් පැත්තෙන් ඇහුණු අම්බ හිනාව නිසා මේ නම් ඇත්ත අනෝමා නොව, වෙන පිස්සු හුටං කෙනෙක් බව අවබෝධකරගත් ජනාධිපතිතුමා දඩස් ගා ටෙලිෆෝනය තිබ්බේය.

ජනාධිපතිතුමා මෙතෙක් වේලා ළඟ සිටි ටෙලිෆෝන් ඔපරේටර්ට කීවේ ෆොනීට සමාව දෙන්න නම් ආයෙත් මට ආපස්සට ගිහින් බලන්න වෙනවා කියාය. ඒ කිව්වේ සර් කියා ඇසූ ඔපරේටර්ට ජනාධිපතිතුමා කීවේ දෙදාස් හයේ හතේ ඉඳලා මේ යකා මොනවාද කළේ කියලා නියම නිරීක්ෂණයක් නැතුව සමාව දෙන්න අමාරුයි කියාය. ඒක කරන්නෙ කොහොමද සර් කියා ඇසූ ඔපරේටර්ට ජනාධිපතිතුමා කීවේ කාලය අස්සෙන් දෙදාස් හතටවත් ආපහු යන්න වෙනවා කියාය. අපොයි සර් එතකොට ප‍්‍රභාකරනුයි, උගේ ගෝලයොයි සේරම ඉන්නවනෙ කී ඔපරේටර්ට ජනාධිපතිතුමා කීවේ එහෙම තමයි ඉතිං සේරම එදා හිටපු එවුං හිටපු හිටපු තැන්වලම ස්ථානගත නොකර කොහොමද නියම ගවේෂණයක් කරන්නේ කියාය. අම්මට සිරි සර් එතකොට කේපීත් ආපහු මැලේසියාව වගේ රටකට යවන්න වෙනවනෙ කී ඔපරේටර්ට ජනාධිපතිතුමා කීවේ මිනිහා යවන එක නම් මොකක්ද ඒත් මිනිහගේ සල්ලි ටික දෙන එකනේ මූට්ටු වෙන වැඬේ කියාය. ඇයි සර් ඒවා රජය සතුවූණානෙ. ඉතිං දෙන්න පුළුවන්නෙ කී ඔපරේටර්ට ජනාධිපතිතුමා කීවේ රජය කිව්වට ඉතිං ඒක රජයෙන් අරං ආපහු දෙන එක තමා අමාරු වැඬේ කියාය. සර් තමිල් සෙල්වම්වත් මේ නාට්ටියට ගන්න වෙනවා නේද කියා ඇසූ ඔපරේටර්ට එතුමා කීවේ ඒවිතරක් නෙමෙයි පොට්ටු ඔත්තු අංශයටත්, සුසෙයි මුහුදු කොටි අංශයටත් දමා ඒ අංශ කාර්යක්ෂම කරන්නත් වෙනවා කියාය. එතකොට කොළඹ සිටුවේෂන් එක මොකක්ද සර් කියා ඇසූ ඔපරේටර්ට ජනාධිපතිතුමා කීවේ කොළඹ ඉතිං ෆොනීලා, ගෝඨාලා සෙට්වෙලා එදා වගේ වැඩ කරයි කියාය.

ඒ සමඟ අතීතයෙන් එන බැල් එක වැදී සියල්ලෝ අතීතයට ගියෝය. ෆොනී මෙස් එකේ රාත‍්‍රී කෑම කමින් සිටියේ. තමන්ට කන්න බිත්තර ආප්පයක් අරන් ආපු බඩියෙකුට එතුමා බිත්තර ආප්පයෙන්ම මූණට එකක් දුන්නේය. ජනාධිපතිතුමාත්, ඔපරේටරයාත් සැඟවී සියල්ල නෝට් පොතකට ගත්තෝය. හමුදාවේ රාජකාරි කරන වෙලාවක් නැති තරමට ෆොනීට වෙන වැඩ තිබුණි. ප‍්‍රවීණ නළුවකු වන ශවේන්ද්‍ර යුදබිමේ සියල්ල බලා ගත්තේය. හදිසියේම ලසන්ත වික‍්‍රමතුංග වෙඩි කා මහමග මළේය. තව එකෙක් කකුල් කඩා ගත්තේය. ජනාධිපතිතුමා හිතුවේ මේ යක්කු මාර අප්සට් වැඩනේ කරලා තියෙන්නේ කියාය. මේ වගේ වැඩ කරන එවුන්ට ඇත්ත අනෝමා ඇවිත් ඉල්ලූවත් සමාවක් දෙන්න හොඳ නැහැ කියා සිතූ ජනාධිපතිතුමා මේ යක්කු දෙන්නා තරහ වෙන තැන ඉඳලා ඉන්වෙස්ටිගේෂන් එක කිරීම වඩා යෝග්‍යයැ’යි සිතා සීන් එක පාස් ෆෝවර්ඞ් යැව්වේය. වැඩි පුර ටික්ක ගිය සීන් එක පසුගිය ජනාධිපතිවරණ ඡුන්දය ළඟ නතරවිය. පැවැත්වුණේ කරට කර තරගයකි. ෆොනී, පෝනියා වගේ දිව්වේය. කොම්පියුටර් ජිල්මාට්කාරයා සීන් එකට ආවේ ඔය වෙලාවේදීය. කලබල වූ ජනාධිපතිතුමා සීන් එක තව පාස් ෆෝවර්ඞ් ඇරියේය. යාන්තම් දෙදාස් දොළහේ ජනවාරිය මතුවිය. ඇත්ත අනෝමා සමාව ඉල්ලන්න නාවාට තෑන්ක් කළයුතු බව සිතූ එතුමා ඇගේ දුරකතන අංකය ඩයල් කළේය.

විමලනාත් වීරරත්න
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

Posted by Ravaya on 1:04 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "එහෙම නැතුව බෑ"

Leave a reply