ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් කාර් බෝම්බයකින් මරුට

න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළකරන්න කළ වැඩකැයි සැකයක්
ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානය අසල පුපුරා ගිය කාර් බෝම්බයකින් තරුණ ඉරාන විද්‍යාඥයකු ජීවිතක්ෂයට පත්වූ බව ෆාර්ස් නිව්ස් ඒජන්සිය කියා සිටී.



මියගිය න්‍යෂ්ටික විද්‍යාඥයා මොස්ටාෆා අහ්මඩි - රොෂාන් (32) ලෙස හඳුනාගෙන ඇති අතර, එම බෝම්බය ඔහුගේ වාහනයට සවිකර තිබූ බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

තෙල් කර්මාන්ත කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන මොස්ටාෆා ඉරානයේ ”නටාන්ස්” යුරේනියම් බලාගාරයේ අවශ්‍යතාවයක් සඳහා පැමිණ ආපසු වාහනය වෙත යාමේදී මෙම බෝම්බය පුපුරා ගොස් ඇතැයි වාර්තාවෙයි.

මෙම බෝම්බය චුම්බක වර්ගයේ බෝම්බයක් බවත්, මීට වසරකට පෙර මෙවැනිම ආකාරයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයකු මරා දැමීම ගැන සිහිපත් වන බවත්, ඉරානයේ නියෝජ්‍ය ආණ්ඩුකාර සෆරාලි බරාට්ලූ උපුටා දක්වන ෆාර්ස් නිව්ස් ප‍්‍රවෘත්ති ඒජන්සිය පැවැසීය.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ රියට බෝම්බය සවිකරන අයුරු තමා දුටු බවත්, බිය නිසා ඒ බව වගකිවයුත්තන්ට දැන්වීමට මැලි වූ බව, බෝම්බය පුපුරා යාමේ සිද්ධිය ඇසින් දුටු අයෙකු පැවැසීය.

මෙම වාහනය තුළ සිටි එක් අයෙකු මියගිය අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි වාර්තාවෙයි.
මෙම බෝම්බ සිද්ධිය ගැන ඊශ‍්‍රායලයේ, බි‍්‍රතාන්‍යයේ හා ඇමෙරිකාවේ බුද්ධි අංශවලට, ඉරානය චෝදනා කර සිටී. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ප‍්‍රධාන පුද්ගලයන් මරා දැමීම  ඔවුන්ගේ අරමුණ වී ඇතැයි ඉරානය එම රටවලට දොස් පවරයි.

Posted by Ravaya on 1:18 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් කාර් බෝම්බයකින් මරුට"

Leave a reply