මහින්ද, නායකත්වයට මහේලව තෝරගෙන

ශ‍්‍රී ලංකා පිලේ නව නායකයා ලෙස මහේල ජයවර්ධනව පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් ක‍්‍රීඩා අමාත්‍යවරයාට දැනුම්දි තිබේ. ඒ අනුව ඉදිරි ඔස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස මහේල ජයවර්ධනව අද (24) දිනයේ නිළවශයෙන් ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බව ක‍්‍රීකට් ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග කියා සිටී.
ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වත්මන් නායක ටී.එම්. ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පිලේ ටෙස්ට්, එක්දින හා 20-20 තරග සඳහා නව නායකයා ලෙස මහේල ජයවර්ධන පත්කර තිබේ.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කුමාර් සංගක්කාර නායකත්වයෙන් ඉවත් වීමත් සමගම ටී.එම්. ඩිල්ෂාන් නායකත්වයට පත් කිරීමට දුලිප් මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කළේය.

ඩිල්ෂාන් නායකත්වයට පත්වීමෙන් පසු පැවැති එංගලන්ත, පාකිස්තානු, ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලි පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, එම එක්දින තරගාවලි සියල්ලමද පරාජයට පත් විය.
ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 11කට සහභාගි වූ අතර, ඉන් එක් තරගයක් ජය ගෙන තරග 5ක් පරාජය වී තරග 5ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එක්දින තරග 21කට සහභාගි වූ අතර, ඉන් 13ක් පරාජය වී තරග 8ක ජය හිමි විය. අවසන් වරට පැවැති දකුණු අප්‍රිකානු තරගාවලියේදී ප්‍රථම වරට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමත් වුවද, ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජය විය.

ඉන් පසු පැවැති එක්දින තරගාවලියේදී ප්‍රථම තරග 3 පරාජය වී තරගාවලිය පරාජය වුවද අවසන් තරග දෙකේදී ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා යමින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මේ අනුව ඉදිරි ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම් කමිටුව නම් කළ අතර, එයට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමි වී තිබේ.

මෙම කණ්ඩායමේ උප නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇති අතර, දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කළ කෝසල කුලසේකර වෙනුවට ෆර්වීස් මහරුෆ් ද, දිල්හාර ප්‍රනාන්දු වෙනුවට චානක වෙලගෙදරද නම් කර තිබේ.

ඕස්ට්‍රේලියානු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම

මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, ටී.එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්වීස් මහරුෆ්, රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙලගෙදර, ධම්මික ප්‍රසාද්
අතිරේක ක්‍රීඩකයා - තිලාන් සමරවීර

Posted by Ravaya on 4:43 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

1 comments for "මහින්ද, නායකත්වයට මහේලව තෝරගෙන"

  1. තේරුවේ නියම නායකයව නිසි කලට
    එක්වුනේ යොවුන් පල බර හදවත් එකට
    පෙන්නමි එලිය යන්නට ජයගෙන පෙරට
    එක්වෙමු දැයම අත්පොලසන් දෙමු ඔහුට

Leave a reply