උසස් පෙළට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති

උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අර්බුද පැනනැගුණු සියලූම අවස්ථා අභියෝගයට ලක්කරමින්, මෙම සතිය තුළ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමට 2011 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් කටයුතු කරන බව වාර්තා වෙයි.

2011 වර්ෂයේ අගෝස්තු මස පැවති උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල දීර්ඝකාලීන ප‍්‍රමාදයකින් පසුව පසුගිය දෙසැම්බර් 25 වනදා නිකුත් කළ අතර නිකුත් කළ ප‍්‍රතිඵල සම්පූර්ණයෙන් අවුල්සහගත වී තිබුණි. ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා වගකිවයුතු බවට ගුරු සංගම්, ශිෂ්‍යයන් හා විපක්ෂයේ දේපාලන පක්ෂ චෝදනා කළ අතර එම අර්බුදය සිදුවූයේ කෙලෙසදැ’යි සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරයාද, විදුහල්පති වරයෙක්ද නියෝජනය වන පරිදි කමිටුවක් පත් කළ අතර එම කමිටුව තීන්දු කළේ ප‍්‍රතිඵල පරිගණක ගතකිරීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හැරුණු කොට විභාග ප‍්‍රතිඵලයේ කිසිදු දෝෂයක් නොතිබුණු බවයි.

මෙවර Z අගය සකස් කිරීමේදී බරපතළ දෝෂසහගත තැන් තිබූ බව ශ‍්‍රී ලංකාවට Z ලකුණු ක‍්‍රමය හඳුන්වා දුන් මහාචාර්ය ආර්. ඕ. තටිල් මහතා පෙන්වා දීමත් සමඟම ප‍්‍රතිඵලය දෝෂසහගත බවට නැවත වරක් කතාබහට ලක්විය.

Z අගය ලංකාවට හඳුන්වා දෙන කාලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටුප ලේකම්වරයා මාධ්‍යයට අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ප‍්‍රතිඵලය දෝෂසහගත බවත්, මේ වසරේ නිර්මාණය කර තිබූ Z- score සූත‍්‍රය නිවැරදි නොවන බවත්ය.

මේ අතර 2011 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වු අර්බුදයත් සමඟින් ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් එක් ලක්ෂ හතළිස් දහසක් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.

2011 වර්ෂයේ උසස් පෙළ විභාගය සඳහා නව විෂය නිර්දේශය යටතේ එක් ලක්ෂ හතළිස් දහස් හත්සිය හැට එකක්ද, පැරණි විෂය නිර්දේශය යටතේ එක් ලක්ෂ හතළිස් හත්දහස් පත්සියයක්ද වන ලෙස අයදුම්කරුවන් දෙලක්ෂ අනූ හතරදහස් අටසිය හැට එකක් විභාගයට පෙනී සිටියහ.

2010 වර්ෂය සඳහා නැවත සමීක්ෂණය සඳහා ලැබී ඇත්තේ අයදුම්පත් 60,000ක් පමණක් වුවත් මෙවර එම ප‍්‍රමාණය දෙගුණකයටත් වැඩි බව වාර්තා වේ.

ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා එක් විෂයයකට රුපියල් 250ක මුදලක් අයදුම්කරුවකු විසින් දැරිය යුතු වූ අතර ඉන් රජයට ලැබුණු ආදායම රුපියල් මිලියන 35කි.

-    රාවය

Posted by Ravaya on 10:58 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "උසස් පෙළට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති"

Leave a reply