සිසිරගෙ තරම් ලස්‌සන හදවතක්‌ වෙන කාටවත් නැහැ.. - ඉන්ද‍්‍රානී විජේබණ්ඩාර

'සිසින්ද‍්‍රා' ප‍්‍රසංගය මෙම 20 වැනිදා සවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. 'රන්පියවර' ඉන්ද‍්‍රාණි විජේබණ්ඩාර ලියූ කෘතියද... සිසිර ඉන්ද‍්‍රානි යුවළගේ ගීත ඇතුළත් 'ඉරේෂා' සංගීත තැටියද එම අවස්‌ථාවේදී එළි දැක්‌වේ.
පොඩිපුතා චිත‍්‍රපටයෙන් ගායන ලොවට පිවිසි නවක ගායකයා වූ සිසිර සේනාරත්න සමග එයාර් සිලෝන් ගුවන් යානයකින් මදුරාසිය බලා පිටත් වූ මොහොත අදත් මැවී පෙනෙයි. මගේ පළමු ගුවන් ගමනද එයයි. ගමන අරඹා මඳ වෙලාවකට පසු ගුවන් යානයේ සිටි හැම මගියෙකුටම කාඞ් පතක්‌ ලැබිණි. මෙය පිරවීමට මගේ දැනුම මඳ නිසා අසල සිටි සිසිර සේනාරත්නගේ සහාය පැතීමි. නිහතමානීව ඔහු එය ඉටුකර දුන්නේය.

අපි දෙදෙනාගේ මුල්ම හමුවීම එයයි. දෙදෙනා පිළිබඳ තොරතුරු දෙදෙනාම හුවමාරු කර ගත්තෙමු. දුටුවන් සිත් ඇදගන්නා ආකර්ශනීය කඩවසම් බවක්‌ පළකළ ඔහු තැන්පත් ගති ඇත්තෙකු විය. යෞවනයෙකු වූ ඔහුගේ ඇසුර යෞවනියක වූ මම ප‍්‍රිය කළෙමි. ගීත පුහුණුව අතරදී ඇතිවන කතාබහට ආදරය සම්බන්ධ දැ ඇතුළත්වීම අනිවාර්යයෙන්ම සිදුවිණි. එය මගේ මවගේ උකුසු ඇස්‌වලට නොපෙනෙන පරිදි කිරීමට අපි දෙදෙනාම පරෙස්‌සම් වීමු.

සුදු සඳ එළියේ නළමත පොපියන
හිරිමල් කැකුලක රොන් කෙමියේ
මුලූ මල් වන ලොවැ ඉරණම සැතැපේ
කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ....
ඔවුන් දෙදෙනාම අද වියපත්ය. ඒත්, අවුරුදු පනස්‌ පහකට පෙර බැඳි ඒ ආදරය... අදත් වෙනසක්‌ නැත.
ඔහුට උවටැන් කරමින් ඈ ඔහුගේ සෙවනැල්ල මෙන් සිටින්නීය.
ඔබගේ සෙවනැල්ල ලෙසේ
එන්නෙමි සැමදාම මෙසේ
මේ දෛවේ තීරනේ...
මතු අනාගතේ....

මේ නම් සංසාරගත බැඳීමකි... කිසිදා නොවෙනස්‌වන පේ‍්‍රමයකි.... සිසිර සේනාරත්න... ඉන්ද‍්‍රානි විජේබණ්ඩාර... අවුරුදු පනස්‌ පහක්‌ පුරාවට ගී ගයමින් අපේ සංගීතය සිනමාව උසස්‌ තැනකට ගෙන ඒමට කළ කැප කිරීම අගයන මොහොතට අපි පැමිණ සිටින්නෙමු.

සිසින්ද‍්‍රා ප‍්‍රසංගය... සමග සිසිර ඉන්ද‍්‍රාණි යුවළ ලෝකය පුරා සංචාරය කළේ එතෙර සිටින ශ‍්‍රී ලාංකිකයන්ට ඉහළ රසවින්දනයක්‌ ගෙන දෙන්නටය. දැන් ඒ අවස්‌ථාව ශ‍්‍රී ලාංකීය ගීත ලෝලීන්ට ලැබී ඇත.
'සිසින්ද‍්‍රා' ප‍්‍රසංගය මෙම 20 වැනිදා සවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. 'රන්පියවර' ඉන්ද‍්‍රාණි විජේබණ්ඩාර ලියූ කෘතියද... සිසිර ඉන්ද‍්‍රානි යුවළගේ ගීත ඇතුළත් 'ඉරේෂා' සංගත තැටියද එම අවස්‌ථාවේදී එළි දැක්‌වේ.

ඔවුන්ගේ වසර පනස්‌පහක කලා ජීවිතය ගැන තොරතුරු ඇතුළත් රන්පියවර කෘතියට ඉන්ද‍්‍රාණි ලියා ඇති කොටසකිනි අපි මෙම සටහන ආරම්භ කළේ.

''බොහෝ දෙනෙක්‌ මගෙන් ඉල්ලීම් කළා ජීවිත කතාව ලියන්න කියලා.... ආර්. ආර්. සමරකෝන් වගේම ධර්මසිරි ගමගේ කියන අද අප අතර ජීවතුන් අතර නැති කලාකරුවන් පවා ඒ කාලේ මට කිව්වා ජීවිත කතාව ලියන්න කියලා. ඒත් මට හිතුනා ජීවිත කතාවට වඩා අවුරුදු පනහක කලා ජීවිතය ගැන ලියන්න  ඕනෑ කියලා... එහෙම හිතලා තමයි මේ පොත ලියුවේ... රන්පියවර කියලා නම තැබුවේ අරිසෙන් අහුබුදු මහත්තයා... පොත කියවලා ඔහු කිව්වා මේකට හොඳයි ඉන්ද‍්‍රාණි 'රන්පියවර' කියන නම කියලා. පියවර කියන්නේ ඉන්ද‍්‍රාණි ආ ගමන... ඒ ගමන රත්තරන් හා සමානයි කියලාත් ඔහු මට කිව්වා..." වසර ගණනකට පසු ශ‍්‍රී ලාංකිකයනට ලබාදෙන තිළිනයක්‌ ගැන ඉන්ද‍්‍රාණි විජේබණ්ඩාර පැවැසුවාය.

මේ ප‍්‍රසංගය කරන්නේ සිසින්ද‍්‍රා පදනමෙන්. ප‍්‍රධාන අනුග‍්‍රහය සරසවි ප‍්‍රකාශන අධිපති එම්. ඞී. පේ‍්‍රමසිරි මහතාගෙන්. සංවිධායක මණ්‌ඩලයේ බණ්‌ඩාර ඇහැළියගොඩ, කුලරත්න ආරියවංශ, පේ‍්‍රම් දිසානායක, මහින්ද කල්පගේ කියන මහත්තුරු ඉන්නවා. අපි එදාට සිංදු දහඅටක්‌ ගායනා කරනවා. අපේ පුතා සමීරත් සිංදු කියනවා. අපිට දැනගන්න ලැබුණා. එදාට ගුවන් විදුලි සංස්‌ථාව, ජාතික චිත‍්‍රපට සංස්‌ථාව, සංස්‌කෘතික අමාත්‍යාංශය අපිට උපහාර පුදකරන බව. මෙතෙක්‌ කලක්‌ අපිට එවැනි රාජ්‍ය ඇගයීමක්‌, උපහාරයක්‌ ලැබී නැහැ. මේ අවස්‌ථාව ගැන අපිට හරිම සතුටුයි. අපි අවුරුදු පනස්‌ පහක්‌ම මේ ක්‍ෂේත‍්‍රයේ හිටියා. හරිම තෘප්තිමත්.... ගත වූ අවුරුදු පනස්‌ පහ තුළ අපිට කිසිවෙකුගෙන් වරදක්‌, සිත් රිදීමක්‌ සිදුවී නැහැ... අපෙන් කාටත් හිරිහැරයකුත් නැහැ... ඒත් පහුගිය දාක එක්‌තරා රූපවාහිනී නාලිකාවක ප‍්‍රවෘත්තියක්‌ දැම්මා සිසිරට කරදරයක්‌ වුණා කියලා... හැම කෙනෙක්‌ම ඒකෙන් කලබල වුණා. හුගක්‌ අය ගෙදරට දුවගෙන ආවා. ඒත් කිසිම කරදරයක්‌ වුණේ නෑ. අපි එදා ප‍්‍රසංගයට ගීත පුහුණුවීම් කරමින් හිටියේ... සොයා නොබලා මේ වගේ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වරදක්‌. අපිට හානියක්‌ නොවුනත් එකෙන් දැඩි සිත් වේදනාවක්‌ ඇති වුණා.

සිසිර කියන්නේ හරිම නිවුණු ගති තියෙන... නිහතමානි කෙනෙක්‌... හරියට පොඩි ළමයෙක්‌ වගේ... හරිම සංවේදී හිතක්‌ තියෙන්නේ...  ඕනෑම කෙනෙක්‌ කෙරෙහි ආදරය, කරුණාව දයාව සිසිරගේ හිතේ උපදිනවා... සිසිරගේ හදවත තරම් ලස්‌සන හදවතක්‌ මම නම් දැකලා නැහැ....

තිබේ පියකරු දසුන් අපමණ
අනන්තයටම මෙදියතේ
ඔබේ හදවත තරම් ලස්‌සන
හදවතක්‌ මා දැක නැතේ

ගීත කොල්ලය ගැනද අදහස්‌ දැක්‌වූ  ඕ... මෙසේ කීවාය.

හරිම වැරදියි... අපි ගීයක්‌ නිර්මාණය කරලා එළියට දාන්න කොතරම් මහන්සි වෙනවද.... ජනප‍්‍රිය වුනාට පස්‌සේ ඒක අරගෙන වෙන වෙන අය පල ප‍්‍රයෝජන ගන්නවා. උපහාර ප‍්‍රසංගයකට ගායනා කරන එක වරදක්‌ නෑ. ඒත් හම්බ කිරීමේ චේතනාවෙන් කෙනකුගෙ දෙයක්‌ ප‍්‍රයෝජනයට ගැනීම හොරකමක්‌.

එදා ගීතයේ උසස්‌ බවත් අද තියෙන සංගීතයේ බංකොලොත් බවත් ඉන් පෙන්නුම් කරනවා. අද ඉන්න අලූත් ළමයින් හරිම කලබලකාරියි. හැම දෙයක්‌ම ඉක්‌මනට කරන්න  ඕනෑ තරගයක්‌ තියෙන්නේ. හැම දෙයක්‌ම කඩා බිඳ දමමින් ඉදිරියට එන්න හදනවා.... ඉවසීමක්‌ නැහැ.... ඇය කීවාය.

සිසින්ද‍්‍රා ප‍්‍රසංගය ආරාධිතයන් සඳහා පමණක්‌ ප‍්‍රදර්ශනය කෙරේ. ඒ පිළිබඳ ඉන්ද‍්‍රාණි විජේබණ්ඩාර සිය රසිකයින්ට කනගාටුවද පළ කළාය.

අපේ රසික රසිකාවියන් වෙනුවෙන් ආයෙත් අපි සිසින්ද‍්‍ර, ප‍්‍රසංගය කරනවා... සිසිර මේ ක්‍ෂේත‍්‍රයට විශාල සේවයක්‌ කළ කෙනෙක්‌... අද ඔත්පල වෙලා... ඒ නිසා අලූත් නිර්මාණ කරන්න විදිහක්‌ නැහැ. ඒත් සිසිර තවමත් රසික රසිකාවියන් අතර ජීවත්වෙන්නේ ඔහු කලින් කළ නිර්මාණ නිසා... සිසිර එදා වගේම අදත් සංගීතය සමගයි ජීවත්වෙන්නේ....

ඉන්ද‍්‍රාණි... සිසිරගේ සෙවනැල්ල බඳුය. සංසාරගත බැඳීමක්‌ බව අපි කලින්ද සඳහන් කළෙමු. ආත්ම ගණනාවක්‌ ඈ පෙරුම් පුරන්නේ ඔහු පතාය.... ඒ ආදරය... අවංකය.... සදාකාලිකය... සිසිරද එසේමය... ඔහුගේ සදාකාලික පැතුම ද ඇයමය.

සිත සැබෑ වන්න මෙසේ
පෙරුම්පුරා ආවෙදෝ
මා උපන්නෙ පේ‍්‍රම ලොවේ
ඔබ පතා ප‍්‍රියේ....
ඔබ නිසා ප‍්‍රියේ....

සටහන - දිවයින පුවත්පත ඇසුරෙනි

Posted by Ravaya on 8:13 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සිසිරගෙ තරම් ලස්‌සන හදවතක්‌ වෙන කාටවත් නැහැ.. - ඉන්ද‍්‍රානී විජේබණ්ඩාර"

Leave a reply