ක‍්‍රිකට් නිලවරණය නීති විරෝධී බවට ක‍්‍රිකට් සභාවට හෂාන්ගෙන් පැමිණිල්ලක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව නිලධාරීන් තෝරා ගැනීම සඳහා පසුගිය 3 වැනිදා පැවැති නිලවරණය (2012-13) එම ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පවත්වා තිබෙන බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස එහිදී විනිසුරු කමිටුවට තරග කිරීමට සූදානම්ව සිටි හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
තිලකරත්න මහතා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල පෙරේදා (07) විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්) අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සභාපතිවරයාට යොමු කර ඇති බව වාර්තා වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සිය සාමාජික රටවලට උපදෙස්දී තිබුණේ නිලවරණ පැවැත්වීමේදී දේශපාලන බලපෑම් වලින් තොරව පැවැත්වීමට වගබලාගතයුතු බවය.
මෙවර පැවැති ක‍්‍රිකට් නිලවරණය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පවත්වන බවටත්, සිය පාර්ශවයේ සාමාජිකයන්ට එහිදී බලපෑම් එල්ල වී ඇති බවටත් චෝදනා කරමින් මොහාන් ද සිල්වා පාර්ශවය නිලවරණය කැඳවූ අවස්ථාවේදී විරෝධය පළ කරමින් සිය නාමයෝජනා ඉවත්කර ගත්තේය. පැමිණිල්ල කළ හෂාන් තිලකරත්න මහතා එම පාර්ශවයෙන් විනිසුරු කමිටුවට තරග වැදීමට නියමිතව සිටියේය.
ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නුසුදුස්සන් ඡන්දයට ඉදිරිපත්වීම, ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සන්ට අවස්ථාව ලබාදීම සහ ඡන්දය ප‍්‍රකාශ කරන ලැයිස්තු පසුව වෙනස් කර ඒ සඳහා දේශපාලනඥයන් කැඳවීම යන කරුණු පිළිබඳව තිලකරත්න මහතාගේ පැමිණිල්ලේ සඳහන් බව ද වාර්තා වේ.
බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයකු ද වන හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා මීට පෙර අවස්ථාවකද මුදලට තරග පාවාදීම පිළිබඳව කළ හෙළිදරව්වක් රටතුළ දැඩි කතා බහට ලක්විය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධූරයට උපාලි ධර්මදාස මහතා නිතරගයෙන් පත්විය.












0 comments for "ක‍්‍රිකට් නිලවරණය නීති විරෝධී බවට ක‍්‍රිකට් සභාවට හෂාන්ගෙන් පැමිණිල්ලක්"