ඉඩම් පොලිස් බලතල නොදෙන්නේ ඇයි? - කේ.ඩබ්ලිව්. ජනරංජන

2011 වසර ගෙවීයන්නේද ජාතික ගැටලූවට සාධනීය පිළිතුරක් ලැඛෙන බවට කිසිදු සලකුණක් නොතබාය. මේ දෙසැම්බරය අවසන්වන විට යුද්ධය අවසන්වීමෙන් වසර දෙකහමාරක කාලයක් සපිරෙයි.
ඒ අතර රාජපක්ෂ ආණ්ඩුව ජාතික ගැටලූව ගැන දරන අදහස දැන දැන් හොඳින් පැහැදිලි වෙමින් පවතියි. ඒ කුමක්ද? පළමුව, ආණ්ඩුව' මේ ගැටලූව ජනවාර්ගික ප්‍රශ්නයක් ලෙස නොදකින බවය. දෙවනුව, එල්ටීටීඊ නැමැති හුදු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් රජයට එරෙහිව කරන ලද නීති විරෝධී කැරැල්ලක් ලෙස පමණක් එය දකින බවය. දැන් ආණ්ඩුව ඒ ම්ලේච්ඡ කැරැල්ල විජයග්‍රහණය කොට ඇත. එනයින්ම, දෙමළ ජනතාවට සිටියාට වඩා යහපත් ජීවිතයක් ලැබී ඇත. ඒ නිසා පරාජිතයන්, පරාජිතයන් ලෙස පමණක් සිටිය යුතුය. දකුණේ ආණ්ඩුව දෙන්නට කැමති දේ පිළිගෙන සෑහීමට පත්විය යුතුය. ඔවුන් දැන් ඉල්ලන වෙනත් අයිතිවාසිකම්, විනාශවූණු ත්‍රස්තවාදීන්ගේ අදහස් පුනරුච්චාරණය කිරීමකි. ඒ අයිතිවාසිකම් දීම ලබාගත් විජයග්‍රහණය පාවාදීමකි.

මේ අදහස මැනැවින් පැහැදිලි කරන ප්‍රකාශයක් ජනාධිපතිතුමා කර ඇත්තේ පසුගිය මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදීය. පසුගිය 21 වැනි බදාදා දිවයින පුවත්පත් වාර්තාකරන අන්දමට එහිදී ජනාධිපතිතුමාගේ වචනය මෙසේය. 'දෙමළ සන්ධානය තවමත් ප්‍රභාකරන්ගේ මානසිකත්වයෙන් තමයි හුඟක් වෙලාවට මේ ප්‍රශ්නය දිහා බලන්නේ. අද ඒ අය භුක්තිවිඳින නිදහස එදා තිබුණාද? කට වහගෙන හිටියා මිසක් එල්ටීටීඊ ඝාතනවලට විරුද්ධ වුණාද? තොන්ඩමන් ඇමතිවරයාත් අහනවා මොකටද ඒ (පළාත් සභාවලට පොලිස් හා ඉඩම්) බලතල කියලා. එහෙම දුන්නොත් මටත් ගමට යන්න ඒ පොලිසිවලින් අවසර ගන්න වෙයි. දෙමළ ජනතාවට නෙවෙයි ඒවා ඕනෑ. අර ජාතිවාදයෙන් ඈත් වෙන්නබැරි අයටයි. මේ රට එකක් ලෙස පැවතීමට හානිවන යෝජනා මෙම පිළිගන්නේ නෑ. මොකද මේ ජයග්‍රහණය උදෙසා මොනතරම් ජීවිත, වෙනත් දේවල් අපි පරිත්‍යාග කරලා තියෙනවාද? ඒ පරිත්‍යාගය ජාතියේ අනාගතයට රැකදීම මගේ වගකීම. රජයේ වකීම, ටීඑන්ඒ එක ආණ්ඩුව සමඟ කරන සාකච්ඡා හිතාමතාම කඩාකප්පල් කරන්නයි හදන්නේ.'

13වැනි සංශෝධන

ඒ අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මාධ්‍ය හමුවකදී කියා තිබුණේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත වරක් සංශෝධනය කොට ඉන් පළාත් සභාවට හිමිකර දී ඇති පොලිස් හා ඉඩම් බලතල ඉවත් කිරීම ගැන ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බවය. එවැන්නක් සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය මේ ආණ්ඩුවට තිබේ.

කවර ජාතිකවාදියකු හෝ ජාතිකවාදී පක්ෂ හෝ සන්ධාන ආණ්ඩුවේ සිටියත් රාජපක්ෂ ජනාධිපතිතුමා ජාතිකවාදියකු හෝ අන්තවාදියකු නොවේයැ'යි ද, තම ආණ්ඩුව තුළ ඒ සියලූ අන්තවාදී බලවේග නිවැරදිව පාලනය කරගනිමින්. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ඔහු ජනවාර්ගික ගැටලූවට අදාළ මූලහේතූන්ට පිළිගත හැකි විසඳුමක් දෙනු ඇතැ'යි ද විශ්වාස කරමින් රාජපක්ෂ ආණ්ඩුවේ ජනඝාතක යුද්ධයට සහාය පළකළ පිරිස්ද දුර්මුඛ කරමින් දැන් ආණ්ඩුව ජයග්‍රාහකයාගේ චරිතය පමණක් රඟපායි. ජනාධිපතිතුමා කියන්නේ ජීවිත, වෙනත් දේවල් පරිත්‍යාග කරමින් ලබාගත් ජයග්‍රහණය අනාගතය සඳහා රැකගතයුතු බවය. ඇත්ත වශයෙන්ම මේ කියන ජයග්‍රහණයෙහි යටිපෙළ අරුත කුමක්ද? දෙමළ ජනතාව මුළුමනින්ම ආයුධ බලයෙන් ඛෙලහීනකොට ඔවුන් පාලනය කිරීමේ අවසාන බලයත්, ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමියේ සම්පූර්ණ ආධිපත්‍යයත් දකුණේ සිංහල ආණ්ඩුව විසින් තමන් වෙත පවරාගත් බව නොවේද?

එහෙත්, යුද්ධයෙන් පසු ආණ්ඩුව අපේක්ෂා නොකළ පරිදි දෙමළ ජනතාව පාර්ලිමේන්තුව තුළත්, පළාත් පාලන ආයතන තුළත් තමන් නියෝජනය කිරීම සඳහා තෝරාගත්තේ ආණ්ඩුව හා සන්ධානගත දෙමළ ප්‍රතිරූප නොව, දෙමළ ජාතික සන්ධානයයි. ඒ නිසා ආණ්ඩුවට බලාපොරොත්තු නොවූ අනෙකෙක් මුහුණට මුහුණ හමුවිය. ඇත්ත වශයෙන්ම එවැන්නක් සඳහා අවංක වුවමනාවක් නැතිවුණත්, වාර්ගික ගැටලූවට විසඳුමක් ලබාදෙන්නට උත්සාහ ගන්නේය යන්න ඉන්දියාව ඇතුලූ පිටත ලෝකයාට පෙන්වන්නට ආණ්ඩුව කළේ දෙමළ ජාතික සන්ධානය සමඟ දේශපාලන විසඳුමක් සඳහා වූ ද්වීපාර්ශ්චික සාකච්ඡා ඇරඹීමයි. දැන් යළිත් ඒ සාකච්ඡා තීරණාත්මක තැනක තිබේ. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමක්ද, පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල පැවරීමක්ද දෙමළ සන්ධානය විසින් ඉදිරියට ගෙනැවිත් ඇති ඉල්ලීම් අතර තිබේ. ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් කෝපයට පත්වී ඇති බවක් පෙනෙන්නේ මේ ඉල්ලීම් සම්බන්ධයෙනි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම මෙන්ම, පොලිස් හා ඉඩම් බලතල ලබාදීමද දැනටමත් ආණ්ඩුව ප්‍රතිෙක‍ෂ්ප කොට තිඛෙන බව මාධ්‍ය වාර්තා කළේය. රඹුක්වැල්ල ඇමතිවරයාට අනුව, අනාගතයේදී පොලිස් හා ඉඩම් බලතල පිළිබඳ නීතිමය ප්‍රතිපාදනද මකා දැමෙනු ඇත. ආණ්ඩුවේ අපේක්ෂා ජාතික සමගිය සඳහා වූ පාර්ලිමේන්තු කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය කෙසේ හෝ ඇතුළු කරගන්නටය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළ දෙමළ සන්ධානය නැතිවුහොත් කාරක සභාවේ සුජාතභාවයට එය බාධාවක් වන බව ආණ්ඩුව දනියි.

ජයග්‍ර්‍රාහකයාගේ අධිපත්‍යය

යුද්ධය ජයග්‍රහණයකළ දා සිට, පරාජිත දෙමළ ජනතාව සමඟ ඔවුන්ගේ දුක්ගැනවිලි ගැන සම්මුතිකාමීව ආණ්ඩුව සලකාබලාවියැ'යි බොහෝ දෙනා බලාපොරොත්තු වූවත් එවැන්නක් සිදුවූයේ නැත. (ඇත්ත වශයෙන් එවැන්නක් සිදුවීමට ඉඩක් නැත්තේ යුද්ධයක් විසින් ඇතිකරන ගිනිබලයේ ආධිපත්‍යය ඒ සඳහා ඉඩක් නොතබන නිසාය.) පරාජිත පාර්ශ්වයද මේ රටේම පුරුවැසියන්ය. ඔවුන් යුද වැදුණේ කිසියම් සාධාරණ හේතු ගණනාවක් මතය යන්න ආණ්ඩුව මුළුමනින්ම නොසලකාහරිමින් සිටියි. ආණ්ඩුව දෙමළ ජනතාවට දෙන්නේ තමනට වුවමනා දේමිස එම ජනතාවට වුවමනා දේ නොවේ. පාර කාපට්කිරීම, පාරට බස් දැමීම, ගොඩනැගිලි සෑදීම, බැංකු, ආයෝජකයන් හා වෙළෙඳ ව්‍යාපාර උතුරට රැගෙන යෑම, සැණකෙළිවලින් සිත සතුටු කරවීම හරහා දෙමළ ජනතාව සෑහීමට පත්විය යුතු බවට ආණ්ඩුව සිතන බවක් පෙනෙයි. ආණ්ඩුව කියාසිටින්නේ ජාතියක් වශයෙන් තමන් මුහුණ දෙන දුක්ගැනවිලිවලට විසඳුම් ලෙස අයිතිවාසිකම් ඉල්ලීම දෙමළ ජනතාවගේ වුවමනාවක් නොව, දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන්ගේ වුවමනාවන් පමණක් බවය. ආණ්ඩුව වෙනත් ආකාරයකින් කියන්නේ, දෙමළ ජනතාව හා දෙමළ ජාතික සන්ධානය වනාහී එකක් නොව දෙකක් බවය. එහෙත්, දෙමළ සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත්ව ඇති බව සියල්ලෝම දනිති. ඔවුන් දෙමළ ජනතාව නියෝජනය නොකරන්නේය යන තර්කය පිළිගතහොත්, මහින්ද රාජපක්ෂ මහතාටවත්, සන්ධාන ආණ්ඩුවටවත් මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන්නට හැකියාවක් නැති බවද ඒ සමඟ අප පිළිගතයුතුය.

දෙමළ සන්ධානය ඉල්ලන දේ බැරෑරුම් ලෙස සාකච්ඡාවට නොගෙන කෙවිටෙන් පහර දී බැහැර කළහොත් ආණ්ඩුව එයින් නැවත වරක් පෙන්වා සිටින්නේ zකිසිවක් දෙන්නට නොහැකියැZයි මීට පෙරද දකුණේ ආණ්ඩු අනුගමනය කළ ප්‍රතිපත්තියමය. මෙම තීරණාත්මක අවස්ථාවේදී ප්‍රශ්නයට තුඩු දී ඇති උතුරු නැගෙනහිර පළාත් එක්කිරීම හා ඉඩම් පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම ගැන ආණ්ඩුව කල්පනා කළ යුත්තේ එම සන්දර්භය මත සිටිමිනි.

ඉඩම් හා පොලිස් බලතල

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සංකීර්ණ කාරණයක් බව සැබෑය. ඒ සම්බන්ධයෙන් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් සංකීර්ණ තර්ක මතු කළ හැකිය. දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමියත්, ජාතික අනන්‍යතාවත් ගරුකරන හා ඔවුන්ගේ ස්වයංපාලයක් ගැනත් එක්වරම වෙන්ව හා එක්සත්ව සිටීම ගැනත් විශ්වාසය තබන පිරිසක් උතුරු නැගෙනහිර ඒකාබද්ධයකට විරෝධයක් නැතිවුවත්, එවැන්නක් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන දුරදර්ශීභායක් හෝ ජාතිකවාදීන්ගේ වසඟයෙන් ගැලවීමේ ආත්ම ශක්තියක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට නැති බව පැහැදිලිය. එහෙත්, අඩුම ගණනේ පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට පැවරීම සඳහා එවැනි තරම් හෝ ආත්ම ශක්තියක් අවශ්‍ය නැත. දැනටමත් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිගත කොට තිඛෙන ආකාරයට පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම වනාහී ආණ්ඩුව විසින් මවා තිඛෙන ආකාරයේ යක්ෂයෙක් නොවේ. එය ජනාධිපතිතුමා කියන ආකාරයේ 'රට එකක් ලෙස පැවැතීමට හානිකරන තීරණයක' ද නොවේ.

13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිගත කර ඇත්තේ රටේ ජාතික පොලිසිය හා පළාත්බඳ පොලිසිය යනුවෙන් අංශ දෙකක් පැවතිය යුතු බවය. එහෙත් සිටින්නේ එකම පොලිස්පතිවරයෙකි. එකම පොලිසියකි. එපමණක් නොව තිඛෙන්නේ එකම නිල ඇඳුමකි. ජාතික හා පළාත්බඳයැ'යි වෙනස් වන්නේ උරහිස් පළඳනාවෙන් පමණකි. පළාත්බදව සිටින්නෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හා ඊට පහළ නිලධාරියෝය. රටටම බලපාන ජාතික ආරක්ෂාව හා ජාතික සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීම පළාත්බද පොලිසියේ විෂය පථයට අයත් රාජකාරියක් නොවේ. ජාතික පොලිසිය හා පළාත්බද පොලිසිය සම්බන්ධයෙන් බඳවාගැනීම් ආදීකටයුතු කිරීමට ජාතික හා පළාත්බද පොලිස් කොමෂන් සභා දෙකක් පිහිටවිය යුතුය. පළාත්බද පොලිසියට අවශ්‍ය ගිනි අවි, වෙඩි ද්‍රව්‍ය හා අනිකුත් උපකරණවල ස්වභාවය, වර්ගය, ප්‍රමාණය තීරණය කරන්නේද (පළාත්බද කොමිෂන් සභාවෙන් විමසා) ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනි. වඩා බරපතළ අපරාධ විමර්ශන කටයුතු පැවරෙන්නේද ජාතික පොලිසියටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය විචාර බුද්ධියෙන් නිරීක්ෂණයකර බලන්නකුට, පළාත් සභා සම්බන්ධ අනෙක් ඕනෑම විෂයයක් මෙන් පොලිසිය සම්බන්ධ අවසාන බලයද (එය බලය ඛෙදීම පිළිබඳ හොඳ ලක්ෂණයක් නොවන නමුත්) මහ ආණ්ඩුව වෙත පවරා තිඛෙන බව පැහැදිලිව පෙනෙයි. ඇත්ත වශයෙන්ම දෙමළ සන්ධානය මේ ඉල්ලන්නේ, එවැනි ඛෙලහීන බලයකි.

ඉඩම් බලතල සම්බන්ධයෙන් කිවහැක්කේද එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ඉඩම් සම්බන්ධ සුපිරි බලය හිමිව පවතින්නේ මහා ආණ්ඩුවටය. පළාත් සභාවට අවශ්‍ය පරිදි ඉඩම් ලබාදිය යුත්තේ මහ ආණ්ඩුව විසිනි. රජයේ ඉඩම් පාවිච්චිය හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පත්කරන්නේද මහ ආණ්ඩුව විසිනි. පළාත් සභාවලට පැවරෙන ඉඩම් සම්බන්ධ බලතල ක්‍රියාත්මක කිරීමේදී පළාත් සභා, ජාතික ඉඩම් කොමිෂන් සභාව විසින් සකසන ලද ප්‍රතිත්ති අනුව කටයුතු කළයුතුය.

එසේ නම්, පළාත්වලට පොලිස් හා ඉඩම් බලතල දෙන්නට ආණ්ඩුව අකමැති වන්නේ ඇයි? උතුරු නැගෙනහිර භූමිය පිළිබඳ අයිතිය මුළුමනින්ම යුද ක්‍රියාමාර්ගයක් ඔස්සේ තමන් ඩැහැගෙන ඇති නිසාත්, ඒ සඳහා විශාල වන්දියක් ගෙවා ඇති නිසාත්ය. පොලිස් හා ඉඩම් බලතල පැවරීම හරහා එය නැවතත් (සතුරාට) දීමට සිදුවේයැ'යි මේ යුද්ධය සකලවිධ ආකාරයෙන් සාධාරණීකරණය කළ සිංහල මහජාතිය සිතන ආකාරය ඊට පළමු හේතුවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද මෙහෙයැවෙන්නේ එම චින්තනයෙනි. පසුගිය යුද්ධය මුළුමනින්ම පැවැතුණේ භූමිය අල්ලා ගැනීමේ මෙහෙයුමක් ලෙසිනි. දැන් ඒ භූමිය (නිසි බලතල රහිතව පවා) නැවත්ත ඒවායේ මුල් අයිතිකාරයන්ට ලබාදීම මහජාතිකවාදීන් අකමැති දෙයකි.

පොලිසිය මුල් කාලයේ රජයේ අනෙකුත් සාමාන්‍ය දෙපාර්තමේන්තු මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවක් වූ නමුත් දැන් එය පොලිස් හමුදාවකි. 13වැනි සංශෝධනයේදී පොලිසිය හැඳින්වෙන්නේද පොලිස් හමුදාව ලෙසිනි. ඉතින් ප්‍රශ්නය පැහැදිලිය. හමුදාවක්. (උතුරු නැගෙනහිර) සතුරන්ට තිබීම කරදර ඇතිවීමට හේතුවක් වෙයි. මේ පොලිස් හමුදාව මහ ආණ්ඩුවේ සිංහල ආධිපත්‍යයට එරෙහිව යොදාගත හැකිය. ජනාධිපතිවරයාම කියන පරිදි, එසේ දුනහොත් තමාට ගමට යන්නටද පළාත් පොලිසියෙන් අවසර ගන්නට සිදුවනු ඇත.

පළාත් පොලිස් හා ඉඩම් බලතලවත් සංහිඳියාවේ, සහෝදරත්වයේ නාමයෙන් දෙන්නට බැරිනම් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?.

- රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Posted by Ravaya on 5:17 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඉඩම් පොලිස් බලතල නොදෙන්නේ ඇයි? - කේ.ඩබ්ලිව්. ජනරංජන"

Leave a reply